අපි හැමදේම කරන්නේ රසිකයෝ වෙනුවෙන් - ආලෝකා ගයාත්‍රි

gossiplanka image 1
නෙළුම් කුලුන කියන්නේ මේ දවස්වල වැඩිම ප්‍රේක්ෂක අවධානයට ලක්වෙලා තිබෙන චිත්‍රපටය. සිංහල සිනමාවේ බොහෝ වාර්තා බිඳ හෙළමින් අති සාර්ථකව තිරගත වෙන මේ චිත්‍රපටයේ එන හැම චරිතයක් ගැනම ප්‍රේක්ෂකයන් බොහොම උනන්දුවෙන් සොයා බලනවා. අති දක්ෂයන් ගොඩක එකතුවක් වුණු නෙළුම් කුලුනට එකතු වෙලා ඉන්න තවත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ආලෝකා ගයාත්‍රි කියන්නේ. වේදිකාවේ වැඩ පෙන්නපු ඇය පහුගිය දවස්වල අමුතු දොස්තර නිසාත් බොහොම ජනප්‍රියත්වයට පත් වුණා. දවසක මේ රටේ කලා ඉතිහාසය ඇතුළේ ඉහළින්ම බැබළෙන්න පුළුවන් තරම් විභවයක් සහිත මේ රංගන ශිල්පිනියව හදගැස්මට සම්බන්ධ කරගත්තේ ඇයගේ අලුත්ම තොරතුරුත් විමසන අදහසින්.


නෙළුම් කුලුන අති සාර්ථකව තිරගත වෙනවා ඒ ප්‍රතිචාර ගැන කියලම ආරම්භ කරමු?


ඇත්තටම නෙළුම් කුලුනට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා මේ දිනවල. ඒ චිත්‍රපටයට දායක වුණු හැමෝටම අඩුවක් නැතුව ප්‍රේක්ෂක ආදරය හිමි වෙනවා. ප්‍රේක්ෂකයන් ඒ නිර්මාණය මේ තරම් වැලඳගැනීම ගැන ඇත්තටම සතුටුයි.


නෙළුම් කුලුනෙන් මතු කරන්නට උත්සාහ කළ එහි යටිපෙළ අරුත ප්‍රේක්ෂයන් හරි හැටි ග්‍රහණය කරගෙනද ඉන්නේ?


ඒක එකිනෙකා දකින විධිය අනුව වෙනස් වෙනවා. අපිට කියන්න බැහැ මේක බ්ලැක් කොමඩි එකක්. මේක මේ විධියට, මේ අදහසින් බලන්න කියලා. ඒක ප්‍රේක්ෂකයන්ගේ සහකම්පනය සහ ඔවුන් තේරුම් ගන්න විධිය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. අපිට යෝජනා කරන්න බෑ මේක මේ විධියේ කතාවක් ඒ නිසා ඒ කතාව ඔළුවෙ තියාගෙන බලන්න කියන එක. ඇත්තටම චිත්‍රපටය ගැන කතා කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා. එතැනදි ප්‍රේක්ෂක අදහස් එළියට දෙන ආකාරය අනුවත් ඒක වෙනස් වෙනවා.


ලංකාවේ වගේ රටක තිබෙන ආකල්ප එක්ක නෙළුම් කුලුන වගේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවලට දායක වෙද්දි බය හිතුණේ නැද්ද?


ඇත්තටම එහෙම බයක් තියාගෙන මගේ වෘත්තිය කරන්න අමාරුයි. ඇත්තටම එහෙම දෙයක් මගේ ඔළුවේ වැඩ කළේ නැහැ. නිර්මාණය හොඳ නම්, මම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. අපේ ප්‍රේක්ෂකයන් විවෘත නැහැ කියන්නත් බැහැ. ඔවුන් විදෙස් නිර්මාණ රස විඳිනවා. ලංකාවේ හොඳ නිර්මාණ හැදෙනකම් බලාගෙන ඉන්නවා. එහෙම බලද්දි ඔවුන් ගැන එහෙම හිතන්න බැහැ. අපි හොඳ නිර්මාණයක් කරනවා නම් ඔවුන් ඒක වැලඳගන්නවා. හොඳ නිර්මාණ කිරීම තමයි අපේ වගකීම.


ඉලංගෝ රාම්ගේ පෙරුසු චිත්‍රපටය නෙට්ෆ්ලික්ස්හි ලංකාවේ වගේම ඉන්දියාවෙත් ටොප් 10 අතර තිබෙනවා. මේ ගැන ඔබේ අදහස?


ඒක අපේ සිනමා කර්මාන්තයටම හොඳ අවස්ථාවක්. අපේ චිත්‍රපට රී-මේක් වෙන එක වගේම, අපේ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් ජාත්‍යන්තර ප්‍රේක්ෂක අවධානයට නතුවීම කියන කාරණා දෙකම කර්මාන්තයක් විධියට ශ්‍රී ලංකේය සිනමාවට ඉතාමත් හොඳ දෙයක්.


කොහොමද මේ දිනවල වේදිකාවේ වැඩකටයුතු?


මම මේ දවස්වල වේදිකාවේ එක නිර්මාණයකට විතරයි දායක වෙලා ඉන්නේ. මේ දවස්වල වේදිකාවත් එක්ක ලොකුවට කාර්යබහුල නැහැ මම.


මේ දවස්වල සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍යය, සංගීතය මේ හැම කලා මාධ්‍යයකටම ප්‍රේක්ෂක අවධානය වැඩි වෙලා මිනිස්සු නැවතත් කලාව වෙත ඇදී එන බවක් පේනවා?


ඇත්තටම ඔව්. ඒකෙන් පේන්නේ මිනිස්සු දේවල් විඳින්න කැමැති බව. රසිකයාගේ රසවින්දනය එකිනෙකට වෙනස්. ඔවුන්ගේ රසඥතාවට ගැළපෙන විවිධ වර්ගයේ නිර්මාණ බිහි වුණාම ඔවුන්ට පුළුවන් වෙනවා ඒ නිර්මාණ රස විඳින්න. ඇත්තටම අපි මේ හැමදේම කරන්නේ රසිකයන් වෙනුවෙන්. ඔවුන් නැත්නම් මේ නිර්මාණ කිසි එකකින් වැඩක් නෑ, චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නේ, ගායකයෝ ගීත කියන්නේ මේ හැමදේම රසිකයො නිසා. ඒ දේවල් රස විඳින හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා කියන්නේ එහි ප්‍රතිලාභය ලැබෙන්නේ මේ සමස්ත කලා ක්ෂේත්‍රයටමයි.


ඔබ දායක වුණු හැම චිත්‍රපටයක්ම වගේ ජාත්‍යන්තර ඇගයීම්වලට පවා පාත්‍ර වුණා. පිටපත් තෝරා ගැනීමේදි විශේෂ සැලකිල්ලක් දක්වනවද?


මම නිර්මාණයකට දායක වෙද්දී ඒ නිර්මාණයට සම්මාන ලැබෙයිද, ඇගයීමට ලක් වෙයිද වගේ දේවල් නම් හිතලා නැහැ. ඇත්තටම ඒ දේවල් සම්බන්ධයෙන් ඒ නිර්මාණවල සමස්ත කණ්ඩායමටම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඔවුන්ගේ කැපවීමට තමයි එහෙම ඇගයීමට ලක් වෙලා තියෙන්නේ. පිටපත් තෝරා ගැනීම ගැන කතා කරද්දී මට ලැබෙන්නේ සීමිත පිටපත් ප්‍රමාණයක්. මම ඒ ලැබෙන ඒවාට දායක වෙනවා. ඉතින් ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන් වැලඳ ගැනීම ගැන, ඇගයීමට පාත්‍ර වීම ගැන සතුටුයි.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ ගැනත් මතක් කරමු?


ඉදිරියේදී තිසර ඉඹුලානගේ මෝඩ තරිඳු චිත්‍රපටය එන්න තිබෙනවා. ඒ වගේම අනුර සිල්වා මහත්මයාගේ චිත්‍රපටයක් වගේම, උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ තංගමලේ ඩයරිස් එන්න තිබෙනවා. ඔය නිර්මාණ තමයි ඉදිරියේදී එන්න තිබෙන්නේ.

gossiplanka image 2
Previous Post Next Post