මේකප්වල ‘අ’ යන්න ඉගෙන ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් – ප්‍රියන්ත දිසානායක

gossiplanka image 2
අපි හැමදාම කතාබහ කළේ රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙන් දකින චරිත එක්ක. එහෙමත් නැතිනම් ඒ චරිත තිරයට ගෙන එන නියමුවත් එක්ක. අපි ඔය කතාබහ කරන තිරයේ වැඩකාරයෝ වගේම තිරයෙන් පිටුපසත් හොඳ හොඳ වැඩකාරයෝ ඉන්නවා. ඔවුන් වැඩි සද්ද බද්දයක් නැතිවම තිරයෙන් පිටුපස්සේ හැමදාමත් වැඩ කරනවා. ඔවුන් කරන ඒ වැඩ හින්දයි තිරයේ රඟන චරිත අපට වැඩකාරයෝ වගේ පෙනෙන්නේ. තිරයෙන් පිටුපස ඉන්න වැඩකාරයෝ අපිට දකින්න හම්බවෙන්නේ ලංකාවේ අවුරුද්දකට පාරක් පවත්වන ටෙලි – සිනමා සම්මාන උලෙළවලදී. එහෙම නැතිනම් මේගොල්ලන්ගේ වැඩබලන්න අපිට දර්ශන තලවලට යන්නම වෙනවා. මොකද මේගොල්ලෝ වැඩිය කරළියට එන්නේ නැති චරිතනේ. අද දවසෙත් අපි කතාබහ කරන්න හදන්නේ අන්න ඒ වගේ චරිතයක් එක්ක. මෙයාගේ නම ප්‍රියන්ත දිසානායක. තිරයෙන් පිටුපස මෙයා කරන වැඩේ මොකක්ද කියලා දැනගන්න නම් මේ කතාව කියවලා බලන්නකෝ


ප්‍රියන්ත දිසානායකයන් ක්ෂේත්‍රයේ අය හඳුන්වන්නේ දක්ෂ වේශනිරූපණ ශිල්පියෙක් විදිහට?


ඔව්. මාව කලා ක්ෂේත්‍රය ඇතුළේ ගොඩක් දෙනෙක් දන්නෙ හඳුනන්නේ වේශනිරූපණ ශිල්පියෙක් විදිහට.


මේකප්වල ‘අ’ යන්න ඉගෙන ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් - ප්‍රියන්ත දිසානායක

ඔබ මේ වෙනකොට චිත්‍රපට කීයක විතර වේශනිරූපණය කරලා තියෙනවාද?


මම ඇත්තටම චිත්‍රපට 31ක විතර වේශනිරූපණය කරලා තියෙනවා.


මේකප්වල ‘අ’ යන්න ඉගෙන ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් - ප්‍රියන්ත දිසානායක

මුලින්ම කරපු චිත්‍රපටය මතකද?


මම මුලින්ම වේශනිරූපණය කරපු චිත්‍රපටය තමයි බෙනට් රත්නායක මහත්මයාගේ ඉර හඳ යට චිත්‍රපටය. දමින්ද මඩවල තමයි මට මුලින්ම කතාබහ කළේ චිත්‍රපටයක් කරන්න තියෙනවා කියලා. මට හිතට මහත් සන්තෝසයක් ගෙන දෙන කාරණාවක් වුණා. මොකද මම ටෙලි නාට්‍ය වැඩ කර කර තමයි හිටියේ.


මේකප්වල ‘අ’ යන්න ඉගෙන ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් - ප්‍රියන්ත දිසානායක

ටෙලි නාට්‍ය වේශනිරූපණ කලාවට පොඩ්ඩක් හැරුණොත්?


මටම කියලා මුලින්ම වැඩ කරන්න ලැබුණේ සුමිත් කුමාරගෙ ‘පතොක් පාලම’ කියන ටෙලි නාට්‍යයේ. එතකොටත් මම ප්‍රියන්ත සිරිකුමාර කියන අංගරචනා ශිල්පියාගේ ගෝලයෙක් විදිහට තමයි මුලින් වැඩ කළේ. මම මේකප්වල ‘අ’ යන්න ඉගෙන ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් තමයි. එයා තමයි මට ඒ දේවල්වල විනය, වැඩක් ගැන හිතන විදිහ, මිනිස්සුත් එක්ක ඉන්න විදිහ සහ ශිල්පියෙක් විදිහට ප්‍රගුණ කරන්න ඕනෑ ගුණාංග ටික කියලා දුන්නේ. ඇත්තටම මම අගය කරන ගුරුවරයෙක්.


මේකප්වල ‘අ’ යන්න ඉගෙන ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් - ප්‍රියන්ත දිසානායක

ඔබ වේශනිරූපණ කලාව විෂයක් විදිහට හදාරලා තියෙනවද?


මම අපොස උසස් පෙළ කරන කාලයේ නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරලා තියෙනවා. ඒත් එක්කම තමයි වේදිකා නාට්‍ය කලාවට යොමුවුණේ. වේශනිරූපණය මම විෂයක් විදිහට හදාරලා නැහැ. මුලින්ම මම ක්ෂේත්‍රයට ආවේ ප්‍රවීණ කොණ්ඩා සැකසුම් ශිල්පී සෑම් පෙරේරාගේ සහායකයෙක් විදිහට. ඒ 1997 වර්ෂයේදී. සෑම් අයියත් එක්කත් අවුරුදු ගණනාවක් කොණ්ඩා සැකසුම් සහායක ශිල්පියෙක් විදිහටත් වැඩ කළා. ඒ කියන්නේ සුදෝසුදු, කුලවිලෝකන, අන්තස් ස්වරයෝ, ඉංගම්මාරුව වගේ දීර්ඝ නිෂ්පාදනවල සහායකයෙක් විදිහට වැඩ කළා.


මේකප්වල ‘අ’ යන්න ඉගෙන ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරගෙන් - ප්‍රියන්ත දිසානායක

ඔවුන් එක්ක වසන්ත විට්ටහච්චි මහත්මයා එහෙම වැඩ කරනකොට මට වේශනිරූපණයට හරි ආසා හිතුණා. මේකප් එක හරි මැජික් එකක්. මම සෑම් අයියට කිව්වා ‘මම ආසයි මේකප් ටිකක් ඉගෙන ගන්න කියලා’ ප්‍රියන්ත සිරිකුමාරව මට මුණගස්සවන්නේ ගිහාන් රෝහණ කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා.


එතකොට වේශනිරූපණයේදී ඔබේ ගුරුවරයා ප්‍රියන්ත සිරිකුමාරද?


ඔව්. මේකප්වලදී මගේ ගුරුවරයා ප්‍රියන්ත සිරිකුමාර අයියා. ඊට පසුවත් මම සමරසිරි කඳනගේ ගෙන් ඉගෙන ගත්තා. මට කටපුරා ප්‍රියන්ත සිරිකුමාරගේ ගෝලයෙක් කියලා කියන්න පුළුවන්. මොකද ඔහුත් එක්ක තමයි මට ඒ හැදෑරීම කරන්න පුළුවන් වුණේ. ආදරයට ප්‍රියන්ත අයියා කිව්වට ඔහු මගේ ගුරුවරයා. සමරසිරි කඳනගේ සමගත් මම සහායකයෙක් විදිහට වැඩ කළා. ඉතින් ඔය දෙන්නගේම අංග රචනා කලාවේ සුවිශේෂ ලක්ෂණ තිබෙනවා. මොකද ඔවුන්ට හොඳ ප්‍රවීණ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මුණගැසුණා.


ඉස්කෝලේ යන කාලේ ඉඳලා කලාවට සම්බන්ධ වෙන්න අදහසක් තිබුණද?


ඕනෑම අංශයක දෙයක් දැක්කොත් කරන්න පුළුවන් හැකියාව මට පුංචි කාලෙ ඉඳලම තිබුණා. මම සංගීතයට ගොඩක් ආසයි. උසස් පෙළට හැදෑරුවෙත් සංගීතය. හැබැයි ඒ වුණාට උසස් පෙළින් අවුරුදු පහකට පස්සේ තමයි සෞන්දර්ය විශ්වවිiාලයට යන්න අයැදුම් පත්‍ර ආවේ. හැබැයි ඒ වෙනකොට ඒ අවුරුද්දේ තීරණයක් තිබ්බා ප්‍රායෝගික පරීක්ෂණයකින් තොරව ලකුණු මට්ටම අනුව ශිෂ්‍යයන්ව තෝරාගන්නවා කියලා. මට ලකුණු 4ක් මදි හින්දා සෞන්දර්ය විශ්වවිiාලයට යන්න බැරි වුණා. හැබැයි මම ඒ වෙනකොටත් මේ ක්ෂේත්‍රයට යොමුවෙලා ඉවරයි. මම පාසල් ජාතික මට්ටමේ වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙලා වැඩ කළා.


ඉන්දික රුක්ෂාන් කියන මගේ මිත්‍රයකුගේ


මාර්ගයෙන් තමයි සෑම් පෙරේරාව මුණගස්සවන්නේ. ඒ ආපු ගමනේදී තමයි විවිධ ඉසව් කරා පියමං කළේ. මම අවුරුදු හතක් අටක් විතර කාලයක් ගොඩක් නිෂ්පාදනවලට සම්බන්ධ වෙලා යම්කිසි දැනුමක් ලබාගත්තා.


අද කාලෙ වගේ එක නිෂ්පාදනයකින් මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්න ගියේ නැහැ. අත්තිවාරම හොඳට දාගන්න ඕනෑ හින්දා ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරලා වෘත්තීය අත්දැකීම් එක්ක තමයි මම ආර්ටිස්ට් කෙනෙක් විදිහට තනියම වැඩකරන්න පසුබිම හදාගත්තේ. මේක ප්‍රායෝගිකව ඉගෙන ගන්න දෙය තමයි වටින්නේ.


වේශනිරූපණයට යොමුවෙලා දැන් අවුරුදු කීයක් විතර වෙනවාද?


දැන් අවුරුදු විසිහතක් විතර වෙනවා. මම හැමෝගෙම ප්‍රසාදය සහ ආදරය දිනාගෙන හිටපු හින්දා හැමෝගෙම වැඩ මට හම්බ වුණා.


මුලින්ම වේශනිරූපණය කරන්න හම්බවුණු නිළියෝ එහෙම මතකද?


මුලින්ම නිෂ්පාදනයක වැඩ කරනකොට රෙබෙකා නිර්මලී, වීණා ජයකොඩි මුණගැසිලා තියෙනවා. ඒ කියන්නේ මම වැඩ නොකරපු නිළියක් නැති තරම්. මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහගේ ඉඳලා හැම නිළියක් එක්කම වැඩ කරලා තියෙනවා. මට මුලින්ම පය තියන්න හම්බවුණේ විශාල නිෂ්පාදනවලට. සහායකයෙක් විදිහට අවුරුදු හයක් හතක් වැඩ කරපු කාලයේ හොඳ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු රැසක් මුණගැසුණා.


ඇගැයීමට ලක්වුණු අවස්ථා එහෙමත් ඇතිනේ?


මම මුලින්ම වැඩ කළේ බෙනට් රත්නායක මහත්මයාගේ ඉර හඳ යට චිත්‍රපටයේ. ඒ වසරේ හොඳම අංගරචන ශිල්පියාට හිමි සම්මානය සිග්නීස් සම්මාන උළෙලේදී මට හිමිවුණා. මට ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා. ඒ වෙලාවේදී මගේ හිතට ලොකු බයක් දැනුණා. ඒ බය අදටත් තිබෙනවා. මොකද ජූරියත් හොඳයි කියලා ඇගැයීමක් කරලා සම්මානයක් ලබාදුන්නහම ඒක දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.


ඊට පසුව හම්බවුණු සම්මාන මොනවාද?


මට ටෙලි නාට්‍යවලට මුලින්ම හම්බවුණේ ජයලත් මනෝරත්න මහත්මයාගේ ‘තුන්පත් රටාවක ලස්සන’ ටෙලි නාට්‍යයට. දැවෙන විහඟුන්, කවුරුත් දන්නෑ, ගාමිණී වගේ චිත්‍රපටවලටත් සම්මාන ලැබිලා තිබෙනවා. අවුරුද්දකට හෝ දෙකකට වතාවක් ප්‍රධාන වශයෙන් පවත්වනු ලබන සම්මාන උළෙලකදී නිර්දේශිත නාම ගොන්නට හරි මගේ නම නිර්දේශ වෙලා තිබෙනවා.


මෙච්චර කාලයකදී කරපු අමාරුම වැඩේ මොකක්ද?


මෑතකදී මම කරපු මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ ‘බුද්ධ මාතා’ තමයි අමාරුම වැඩේ. එක වතාවකදී තට්ට රැසක් දාන්න තියෙනවා. ඒත් සමගම ආපහු ඔවුන්ගේ ගිහි ජීවිතයේ දර්ශනවලටත් සූදානම් කරන්න ඕනෑ.


වේදිකා නාට්‍ය කලාවටත් වේශනිරූපණයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා නේද?


මම මුලින්ම රාජිත දිසානායක අධ්‍යක්ෂවරයාගේ නාට්‍යයකට එන්නේ සහාය අංගරචනා ශිල්පියෙක් විදිහට. ඒ වීරයා මැරිලා කියන වේදිකා නාට්‍යයට. ප්‍රියන්ත සිරිකුමාර කියන අංගරචනා ශිල්පියාගේ සහාය අංගරචනා ශිල්පියෙක් විදිහට තමයි වැඩ කරන්න එන්නේ. එතැනින් පසුව මම රාජිත දිසානායකගේ හැම නිෂ්පාදනයකම අංගරචනා ශිල්පියා විදිහට වැඩ කළා.


අශෝක හඳගමගේ ගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ හි වැඩ කළා. ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේ ෆෙරොන් කමල්ඩීන්, ජෙරොම් ද සිල්වා වගේ රැසකගේ වැඩ කරලා තියෙනවා. වර්තමානයෙන් ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රැසක වැඩ කරන්න ලැබෙනවා.


ටෙලි නාට්‍යවලින් ගත්තහම අමාරුම වැඩේ මොකක්ද?


මෑත කාලයේ මම අවුරුදු දහයකින් දොළහකින් පූර්ණ වශයෙන් දායකවෙලා ටෙලි නාට්‍යයක් කරලා නැහැ. ඒ කාලේ කරපු ටෙලි නාට්‍යවලින් ජයලත් මනෝරත්න මහත්මයාගේ ‘තුන්පත් රටාවක ලස්සන’ ටෙලි නාට්‍යය. මොකද මනෝරත්න අයියාව චරිත තුනකට වෙස් ගන්වන්න තිබුණා. මනෝ අයියාගේ නිෂ්පාදන පහක හයක මම වැඩ කරලා තියෙනවා.


රඟපාන්න අදහසක් ආවේම නැතිද?


නැහැ. ඒක ගොඩක් අමාරු වැඩක් කියලා තේරෙනවා. අපි නිතරම මිනිස්සුන්ගේ හැඟීම් එක්කනේ වැඩ කරන්නේ. මිනිස්සු හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන කාරණාව අපි නිතරම දකිනවා. මම ඒක දැනගන්න දැනගන්න රඟපාන එක මට අමාරුයි කියලා දැනෙනවා. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ පුංචි පුංචි දර්ශනවලට ඉඳලා තියෙනවා. කැමරාව ඉස්සරහට ගිහිල්ලා ඇක්ෂන් කිව්වහම මම වෙව්ලයි. ඒ තරමට මම ඒකට බයයි. රඟපෑම කියන එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් අමාරු දෙයක්.


රඟපාන අය ඕනෑ විදිහකට වේශනිරූපණය කරලා දෙන්න පුළුවන්?


ඔව්. ඒක පුළුවන්. ඇත්තටම නළුවකුට හෝ නිළියකට වැඩක තියෙන ප්‍රධානම දෙය තමයි අංගරචනා ශිල්පියාගේ සහයෝගය.


දේශපාලන චරිත එහෙම වේශනිරූපණය කරන්න හම්බවෙලා තියෙනවාද?


නිර්මාණවලදිත් දේශපාලන චරිතවලට වෙස් ගන්වලා තියෙනවා. මට පුද්ගලිකවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වගේ චරිතවලටත් මේකප් කරන්න හම්බවෙලා තියෙනවා. මම වැඩිහරියක් මේකප් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති වෙලා ඉන්න කොට. ගොඩක් ප්‍රචාරක දැන්වීම්වලදී මාව තමයි මේකප් එකට ගත්තේ. නළු නිළියන් වගේම අපිට හිටපු දැවැන්ත දේශපාලන චරිතවලටත් මේකප් කරන්න හම්බවෙලා තියෙනවා. යම් යම් අවස්ථාවලදී ආරක්ෂක අංශවලටත් කොහොමද ස්වරූපය වෙනස් කරගන්නේ කියලා උගන්වලා තියෙනවා.


ජනාධිපතිවරු තුන්දෙනාට අමතරව මන්ත්‍රිවරුන්ව එහෙමත් මේකප් කරලා තියෙනවාද?


කරලා තියෙනවා. අපි හිතමු දැන් යම්කිසි මැතිවරණ ප්‍රචාරණ වැඩවලදී ඒ අවස්ථාව මට ලැබිලා තියෙනවා. දැනට අවුරුදු තුන හතරකට කලින් මැතිවරණ ප්‍රචාරණ වැඩවලදී පාර්ලිමේන්තුවෙන් භාගයකට වැඩිය මේකප් කරන්න හම්බවෙලා තියෙනවා. ලංකාවේ ඉන්න දැවැන්ත ව්‍යවසායකයන්ගේ පවා මේකප් කරලා තියෙනවා.


ඔබ වේශනිරූපණයෙන් දායකවුණු චිත්‍රපට කීයක් විතර එන්න තියෙනවාද?


තව අටක්, නවයක් විතර තියෙනවා. හෙට අනිද්දාම තිරගත වීමට නියමිත ලක්මාලි ධර්මරත්නගේ වාලම්පුරි චිත්‍රපටය. ඊට අමතරව මහේෂ් මුණසිංහගේ සූර්යා, අනුරුද්ධ ජයසිංහගේ ධාරා, පාලිත පෙරේරාගේ මායා, ලලිත් රත්නායකගේ රිවස්ටන්, සම්පත් ශ්‍රී රොෂාන්ගේ එම්ලි වගේ චිත්‍රපට.


දිනේෂ් විතාන

gossiplanka image 1


Previous Post Next Post