මනරම් රංගනයක් සමඟින් වේදිකාව මත ගැයෙන ඇගේ හඬ දශක කිහිපයක් අප සිත් අතීතයට ගෙන යන්නේය. දෝන කතිරිනා වේදිකා නාට්‍යයේ දෝන කතිරිනා වූ කෞෂල්‍යා ප්‍රනාන්දු නම් වන ඇය මේ දිනවල ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා සිටින්නේ හවුස්ෆුල් ලේබලය යටතේ තිරගත වන නෙළුම් කුළුණ සිනමා නිර්මාණයේ ප්‍රහසනාත්මක රංගනය උදෙසාය. වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරයේ ද හොඳම අංශය යටතේ සම්මානිත වෙමින් අතිදක්ෂ රංගනයක යෙදෙන ඇය ප්‍රහසනාත්මකව ප්‍රේක්ෂකයා වෙත එන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
නෙළුම් කුළුණ මේ දිනවල අතිශයින්ම සාර්ථකව තිරගත වෙනවා. කොහොමද ඔබට අවස්ථාව ලැබෙන්නේ?
නෙළුම් කුළුණ අධ්‍යක්ෂ වගේම තිරපිටපත් රචක ඉලංගෝ රාම් මාව දන්නවා. මීට කලින් මං ඔහුගේ චිත්‍රපටයක වැඩ කරලත් තියෙනවා. නිළියක් වශයෙන් ඔහු මාව අගය කළ අවස්ථා තිබුණා. තිරපිටපත ලිව්වට පස්සේ ප්‍රධාන චරිතයට මාව ගන්න ඕන කියන අදහස ඔහුගේ ඔළුවට ඇවිත් තිබුණා. ඒ විදිහට තමයි මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම ප්‍රියන්තසිරි කුමාර, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, චමිලා පීරිස්, තුසිත ලක්නාත්, ආලෝකා ගයාත්‍රී, රංජිත් පනාගොඩ, සුලෝචනා වීරසිංහ, සමන් කෝරළගේ කියන්නේම වේදිකාවේදි හමුවෙන, එකිනෙකා ගැන අවබෝධයක් තියෙන පිරිසක්. මේ වගේ පිරිසක් කාස්ට් වීමත් මෙහි සාර්ථකත්වයට හේතුවක් විදිහටයි මං දකින්නේ.
මෙය බ්ලැක් කොමඩි ශානරයේ සිනමාපටයක්. ඔබ මෙවන් නිර්මාණයකට සමබන්ධ වුණු පළමු අවස්ථාව වෙන්නෙත් මේකද?
ඔව්. බ්ලැක් කොමඩි ශානරය කියන්නේ යම්කිසි බැරෑරුම් තත්ත්වයක් හමුවේ මතුවන හාස්‍යය. ඒකට මුහුණ දෙන අයට ඒක ලොකු ප්‍රශ්නයක්. අපේ රටේ සංස්කෘතියට අනුව සමහර දේවල් ප්‍රශ්නයක් වන අවස්ථා තිබුණත් අපි ඒ ගැන විවෘතව කතා කරන්නෙ නැතුව හංගගෙන ඉන්නවා. මෙතැනදිත් ඒ වගේ බැරෑරුම් ප්‍රශ්නයක් හංගන්න යාමෙන් තමයි මේක ලෝකයට එළි වෙන්නේ. නමුත් ඒ තුළිත් මතුවෙන්නේ හාස්‍යයක්. අමුතුවෙන් විහිළු නොකළත් හාස්‍යජනක දේවල් නොකීවත් ඒ තුළින් හාස්‍ය මතුවීම තමයි මෙහි විශේෂත්වය. මීට කලින් මං බ්ලැක් කොමඩිවල රඟපාලා නැහැ. ඉදිරියට එන්න තියෙන තිසර ඉඹුලානගේ කොමඩි චිත්‍රපටයක මං රඟපානවා. ඒත් ඒක බ්ලැක් කොමඩි නොවෙයි. මම කලින් ඇප්‍රොඩයිට් මල්කොල්ලය කියල වේදිකා නාට්‍යයක රඟපාලා තියෙනවා. ඒකත් ටිකක් මේ වගේ. මේ වගේම බැරෑරුම් ප්‍රශ්නයකදී සාමාන්‍ය විදිහට මුහුණදෙන විදිහ තමයි ඒකෙත් තියෙන්නේ. ඒ තුළින් තමයි හාස්‍යය මතුවෙන්නේ. ඒත් ඒක නෙළුම් කුළුන තරම්මත් නැහැ.
මෙහි ප්‍රස්තුතය වන්නේ අලුත්ම සංකල්පයක්. මෙතෙක් සංකීර්ණ චරිත ඔස්සේ ප්‍රතිරූපය ගොඩනඟාගත්ත කෙනෙක් විදිහට මේ තිරපිටපත දකිද්දි ඔබට මොකද හිතුණේ?
මේ වගේ සංකල්පයක් මෙතෙක් බිහිවෙලා තිබුණේ නැති නිසා මේක මටත් අලුත් අත්දැකීමක්. මෙතනදි කාස්ට් එක තමයි හරිම වැදගත්. ටයිමින්, රිද්මය වගේ දේවල් හොඳින් සංවිධානය වෙන්න ඕන. මේව පුහුණුවීම් කරලා කරන දේවල් නොවෙයි. අපි අපි අතරේ තියෙන අවබෝධය නිසා ඒ ඒ අවස්ථාවට කතාබහ කරගෙන කරන දේවල්. තිරපිටපතේ තියෙන දේවල්වලටම තම තමන්ගේ අත්දැකීම්, හැඟීම් එකතු කිරීමක් තමයි සිදුවෙන්නේ. නිර්මාණාත්මක අදහස් තියෙන අය එකතු වුණහම නිර්මාණය තවත් නිර්මාණාත්මක වෙනවා. ඒක සාර්ථක වෙන්නත් හේතුවක් වෙනවා. මේ හැමදේම එක්ක මටත් චරිතයට ප්‍රවිෂ්ට වෙන්න පහසු වුණා.
නෙළුම් කුලුණ සිනමාපටය තවත් භාෂාවලට පරිවර්තනය කරන්න ආරාධනා ලැබිලා තියෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. ඉලංගෝට දැනටමත් මේ තිරපිටපත තවත් භාෂා කිහිපයකින් කරන්න කියලා ආරාධනා ලැබිල තියෙනවා. ඉන්දියාවේ දමිළ සහ හින්දි භාෂා දෙකෙන්ම කෙරෙනවා. දමිළ භාෂාවේ අධ්‍යක්ෂණය ඔහුගේ. ඒක මේ වෙද්දිත් කරල ඉවරයි. ඊට අමතරව ඉතාලි සහ ස්පාඤ්ඤ භාෂාවලින්, අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ඉංග්‍රීසි භාෂාවෙන්, ප්‍රංශ සහ බෙල්ජියම් භාෂාවලින් මෙය ප්‍රතිනිර්මාණය කරන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඉලංගෝගේ තිරපිටපතම තමයි ඒ ඒ රටේ නිර්මාණකරුවන් කරන්නේ. මීට කලින් අපි ඉන්දියාවේ පිටපත් කොපි කළා වගේම දැන් ඉන්දියාව අපේ පිටපතක් කොපි කරනවා කියන්නේම අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. මේ ඒ වගේ දෙයක් වෙන පළමුවැනි අවස්ථාව. මිනිස්සු මේ විදිහට චිත්‍රපට බලනවා කියන්නේ අපේ කර්මාන්තයටත් ලොකු ශක්තියක්. නිර්මාණකරුවන් අලුත්, නැවුම් ප්‍රස්තුත අරගෙන ගුණාත්මක නිර්මාණ බිහි කරන්න පෙලඹෙනවා කියන්නෙත් අපේ කර්මාන්තය ලබන ජයග්‍රහණයක්.
නෙළුම් කුළුණට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්?
ගොඩක් සතුටුදායකයි. පහුගිය දවස්වල අපි චිත්‍රපට ශාලා දෙකකට ගියා. අපි යද්දිත් හවුස්ෆුල් ලේබලයෙන් චිත්‍රපටය දුවනවා. ඊළඟ එකටත් එහෙමම සෙනඟක් හිටියා. ඒ අපි ඇස් දෙකෙන්ම දැක්ක දේ. චිත්‍රපටය බලලා එළියට ආව ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේක මෙතෙක් කවුරුත් නොකළ කන්සෙෆ්ට් එකක් නිසා ගොඩක් අය කුතුහලයකින් බලලා තිබුණා. පුදුම රසයක් වින්දා ඔළුවෙ තිබුණු ප්‍රශ්නත් අමතක වුණා කියලා සමහරු කිව්වා. කවදාවත් සිංහල චිත්‍රපට නොබලපු අයත් මේක බලලා තිබුණා. ප්‍රේක්ෂකාගාරය විවිධයි. ඒ නිසා හැම ශානරයේම චිත්‍රපට හැදෙන්න ඕන. මේක චිත්‍රපට කර්මාන්තය ලබපු ජයග්‍රහණයක් විදිහටයි මං දකින්නේ.
නෙළුම් කුළුණ මේ වනවිටත් අන්තර්ජාතික වශයෙන් සම්මානිත වුණු සිනමාපටයක් නේද?
ඔව්. Special Jury Award – Black Nights Film Festival – Tallinn, Estonia ජයග්‍රහණය ලැබුණා වගේම Glasgow Film Festival – Scotland, UK Asian Film Festival – UK, Karawan Film Festival – Italy, Sao Paolo Film Festival – Brazil, AFRIFF African Film Festival – Nigeria, Fribourgh International Film Festival – Switzerland, Winner – Best Picture; Cinema of Tomorrow – Derana Film Festival, Eikhoigi International Film Festival – Imphal India කියන අන්තර්ජාතික සම්මාන උලෙළ නියෝජනය සඳහා තේරීලා තියෙනවා. ඒ වගේම ස්විට්සර්ලන්තයේ Fribourgh International Film Festival හි New Territory අංශය නියෝජනය කරන්නත් නෙළුම් කුළුණ (Tentigo) චිත්‍රපටය තේරීලා තියෙනවා. මෙම වසරේ New Territory අංශයේ අවධානය ශ්‍රී ලංකාවේ සිනමාව වෙත යොමු කර තිබීම විශේෂයක්. එහෙම බලද්දි නෙළුම් කුළුණ ශ්‍රී ලාංකේය සිනමාවේ ජාත්‍යන්තර හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි.
ඔබේ මව සෝමලතා සුබසිංහ කියන්නෙත් ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක්. ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙත් ඇගේ සහායෙන්ද?
ඇගේ සහායෙන් කියනවට වඩා ඇය තමයි මම අද ඉන්න තත්ත්වයට හේතුව වුණේ කිව්වත් හරි. ඒ වගේම මගේ පියාත්. ඔවුන් දෙන්නම මට අවශ්‍ය උපදෙස්, ගුරුහරුකම්, අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකාව හරහා. මුලින්ම අම්මත් එක්කම ළමා නාට්‍යවල රඟපෑවා. ඊට පස්සේ තමයි අම්මගේ විකෘති කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණේ. ඊට පස්සේ පින්ලන්ත ජාතික අධ්‍යක්ෂවරයෙකුගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ සුගතපාල සිල්වාගේ මරාසාද් වගේම ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවන භීෂණ නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. ඒත් එක්කම මට රඟපාන්න පුළුවන් කියන විශ්වාසය අධ්‍යක්ෂවරුන් අතර ඇතිවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දිගින් දිගටම මට වේදිකාවට ආරාධනා ලැබුණා. ඒ අතරේ අම්මගේ නාට්‍යවලත් රඟපෑවා.
එතකොට පුංචි තිරයට යොමු වුණේ කොහොමද?
මුලින්ම මං තිස්ස අබේසේකර සහ ධර්මසේන පතිරාජ යන අධ්‍යක්ෂවරුන්ගේ කෙටි නාට්‍ය දෙකකට රංගනයෙන් දායකවුණා. ඊට පස්සේ අශෝක හඳගම කියන අධ්‍යක්ෂවරයා තමයි මාව මුලින්ම දුන්හිඳ අද්දර කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ කර ගත්තේ. ඒක පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා. මගේ කුලුඳුල් ටෙලි නාට්‍ය අත්දැකීම වුණත් අදටත් ඒ චරිතය මිනිස්සුන්ගේ මතකයේ රැඳිලා තියෙනවා. ඊට පස්සේ දිගටම පුංචි තිරයටත් ආරාධනා ලැබුණා.
මේ දිනවල පුංචි තිරයේ දකින්න ලැබෙන ටෙලි නිර්මාණ ගැන කතා කළොත්?
මේ දිනවල සති අන්තයේ විකාශය වන ‘රීකන්ඩිෂන් කෙල්ල‘ ටෙලි නාට්‍යයේ කුසල්ගේ මවගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ලලිත් රත්නායකගේ ‘ඩෙල්ෆ්‘ ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඒකෙ රූගත කිරීම් දැන් ඉවරයි. ඉදිරියේ දී විකාශය වේවි. ඊට අමතරව මහාචාර්ය ඉන්දික පර්ඩිනැන්ඩෝගේ ‘රහසිගතයි පුද්ගලිකයි‘ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල ඒකෙත් පුහුණුවීම් කරනවා.
පුංචි තිරයේ ඔබ දකින්න ලැබෙන්නෙම වංශවත් පවුලක නපුරු ගැහැනියකගේ චරිතයෙන්මයි. අහිංසක චරිතයක් ලැබිලම නැද්ද?
මං හිතන්නේ මගේ අහිංසක පාටක් පේන්නෙ නැතුව ඇති. මගේ මතකයේ හැටියට මට එහෙම චරිතයක් ලැබිලම නෑ. මට ලැබෙන්නෙම ඉතින් දුෂ්ට, නපුරු අනෙක් අයව පාලනය කරන්න යන චරිතම තමයි.