දුහුළු මලෙන් මා වසඟ කළ සිනමා කුසුම -නීටා ප්‍රනාන්දු

 


මා දැරිවියකව කන්‍යාරාමයේ උගනිමින් සිටි කාලයේ දුහුළු මලක් මා බැලුවා මට මතකය. මක්නිසාදැයි අදටත් නොදනිමි. දුහුළු මලක් මටත් නොදැනීම, මගෙන් නොඅසාම හදවතේ ඉඩහසරක් එදා වෙන්කර ගත්තාය. දුහුළු මලක් නිරූපා හා හුස්ම ගනිමින් ඈ හා බැඳි ඒකාත්මික රංග ස්වරය එදා මගේ ළය ලෙයටම දැනුණු තත්ත්පරයෙන් බොහෝ තත්ත්පර අසංඛ්‍යයක් ගෙවාලූ ඉනික්බිති මම ඇය ගැන ලියමින් හිඳිමි.


විජය ධර්මශ්‍රීගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූ දුහුළු මලක් නිරූපා මා සිත මේ මොහොතේත් ප්‍රේමණීය ඉසව්වක් කරා කැටුව යයි.

“බොඳ මීදුම් කඳු රැල්ලේ

සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්

සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී

මටත් වාසනා

මටත් වාසනාවන්”

(ගී පද : අජන්තා රණසිංහ, සංගීතය : සරත් දසනායක, ගායනය : අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක)

නිරූපා ගෙත්තම් කරලූයේ ප්‍රේමය ගැන අමුතුම ප්‍රේමණීය කතාන්දරයකි.

මට මතකයි නීටා ප්‍රනාන්දු වරක් දුහුළු මලක් සිනමා රූපකාරකය ගැන මෙසේ කීවාය.

ඒ චිත්‍රපටයේ කතා කරන්නේ අසම්මත ප්‍රේමයක් ගැන...

එහෙත් දුහුළු මලක් කිසිදින ප්‍රේමයේ සොඳුරුතම කතාන්දරයක් මිස ඉවතහල හැකි ප්‍රේමයක විසල් මාත්‍ර හෝ අංශුමාත්‍රක කතාන්දරයක් නොවූවාය.

ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද?

ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද?

සැබැවින්ම ප්‍රේමයට වර්ගීකරණයක් ඇයි?

ප්‍රේමය යනු කොන්දේසි විරහිත ප්‍රේමයම ශුද්ධමූල වූ හැඟීමක් මිස අන් කවරක්ද?

“රන් කෙන්ඳෙන් බැඳ

අතැඟිලි එක් කළ ආදරයයි

පෙම් රැහැනින් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි

කිරිලිය සේ දුර පියාසලාලා

අත්තටු රිදුණා පමණයි

දෑල විදාහල දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැගේ

කළුවර ඇයි විජිතයම මගේ

කනාටු සුළඟේ දුහුල් මලකි අද

වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ

මා හෙට දින සමුගන්නේ”

(ගී පද : අජන්තා රණසිංහ, සංගීතය : සරත් දසනායක, ගායනය : නන්දා මාලිනී)


ඒ ගී පද මසිත ඇති කළ භාව කම්පනයේ ප්‍රකම්පනීය ලීලා අදටත් මේ මොහොතේත් හදවතේ සියුම් අක්මුල් පවා ප්‍රේමණීය චමත්කාරයක සංධ්වනියකින් ප්‍රමුදිත කරවයි.

ආදරය යනු, ප්‍රේමය යනු සීමාවන් තුළ සංකේන්ද්‍රගත කළ හැකි භාවයක් නොව හදවතේ සියලු බන්ධන සීමා සුන්නද්ධූලි කොට උපදින්නා වූ මානව භාවයකි.

ඩබ්ලිව්.ඒ.පී. ද සිල්වා සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ රජගෙදර පරවියෝ ඇගේ සිනමා දිවියේ තවත් මතක පුරාණයකි. රජගෙදර පරවියෝ හා යාවුණු ගාමිණී ෆොන්සේකා ගැන මතකය සහ බැඳීම නීටා පසු කලෙක මතකාවර්ජනයකට ප්‍රස්තුතයක් කරගත්තේ මේ අයුරිනි.


රජගෙදර පරවියෝ රඟපාන කාලේ මම ගාමිණීට ඇත්තටම බයයි. හැබැයි ගාමිණී එක්ක ඒ රඟපාන අත්දැකීම මට හුඟාක් වටිනවා. මම ගාමිණීට එදා වගේම අදටත් හදවතින් හුඟාක් ගරු කරනවා. මම හරි බයයි කඳු නගින්න. ඉතින් ගාමිණී එක්ක රඟපාද්දී නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සනසාලා ගීතයට අනුව කාර් එකේ කන්ද උඩටම යනවා. කන්ද උඩකට යද්දි මට හිතෙන්නෙම මාව කන්දෙන් පහළට වැටෙයි කියලා. ගාමිණී හිටපු ගමන් කන්ද පල්ලටම වගේ කාර් එක අරන් යනවා. ඒ දවස්වල ගාමිණීට තිබුණු බය නිසා අනේ එහෙම කරන්න එපා කියලා කියන්න මම බයයි. ඇඟ හීතල වෙද්දිත් ඉතින් මම නිශ්ශබ්දව හිටියා.


නීල බිඟු කැල තාම රස පෙළ

ආදරෙන් සනසාලා

තිසර තුඩු මුදු තඹර පහසින්

මෝහනය වීලා

මාරුතේ මකුරා යතේ

සුරඟුන් නැඟූ මුකුළු

මාවතේ අතුරා ඇති

සුරඟුන් නෙළු කැකුළු


(ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන, ගායනය : වික්ටර් රත්නායක) වික්ටර්ගේ ගී සංධ්වනිය ඈත කඳු මුදුනේ සුළං කැරලි හා පාව යද්දී බිය හා සම්මිශ්‍රණය වී විඳි හැඟුම් චමත්කාරයන්හි රන්වන් රස රේඛා මේ මොහොතේත් හදවත සලිත කරන්නේදැයි ඇසුවොත් නීටා ප්‍රනාන්දු අප්‍රමාණ රංගවේදිනියගේ උත්තරය ‘ඔව්’ වනු ඇත.


හිනැහෙන්න රෝමියේ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී නයනේ වෙළී

මා දෑස භාවනා කරයි


(ගී පද : සුනිල් ආරියරත්න, සංගීතය : වික්ටර් රත්නායක, ගායනය : වික්ටර් රත්නායක, ලතා වල්පොළ)

රජගෙදර පරවියෝ සිනමා රූපකාරකය වෙනුවෙන්ම නුවරඑළිය උද්‍යානයක ඒ ගීය පටිගත කරද්දී ගාමිණී ෆොන්සේකා ඇගේ කුළුපඟ හිතෛෂියෙකි.

හදවත් - හදවත් යා කරන මනුෂ්‍ය බැඳීම්හි වර්ණය එයයි. දැනෙන්නට දැනෙන්නට ඒ බැඳීම හා හදවත පදම් වන අපූරුව...

මගේ ජීවිතයේ මගේ පසුබිම් රංගනයකදි ගැයුණු මම ආසම වාසනාවන්තම සින්දුවක් තමයි පොකුරු පොකුරු මල් සැණකෙළි ගීතය.

ප්‍රවීණ ගී පද රචක අජන්තා රණසිංහ විසින් ලියූ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කළ, සුගායනවේදී ලතා වල්පොළ විසින් ගැයූ ඒ ගීය මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන්ගේත්, චිත්‍රපට රසාස්වාදීන්ගේත් ගී මනදොළ පූරණය කළ ගීයකි.

කේ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ වාසනා චිත්‍රපටයට ගැයුණු එම ගීයට අනුභූතික වූ රංගනය සිත්තම් වූයේ අඹේවෙල ගොවිපොළකය.


ඒ ගොවිපොළේ සතුන් පවා මට හුඟාක් හිතවත් වුණා. යාළු වුණා. අධ්‍යක්ෂවරයා මාව සීමාවන් තුළ හිර කළේ නෑ. ඒ සින්දුවට මට ඕනෑ විදිහට නටන්න දුන්නා. මම පුදුම නිදහසකින් මට ඕනෑ විදිහට නැටුවා. ඒ සින්දුවේ පාවි පාවී මම යනවා හිත සැහැල්ලුවෙන් කියන පදයට මම හරිම ආසයි. ඇත්තටම එදා නටද්දි මම පාවෙනවා වගේ මට දැනුණා. මම හිතන්නෙ මගේ ඇඟේ, හිතේ තිබුණු විසේකාර ගති ඔක්කොම ඒ නැටුමේදි මම පුදුම හිතේ නිදහසකින් මුදාහැරියා. ඒ ඇගේ අතීත මතකාවර්ජනයකි.


ගුම් ගුම් ගුම් නගනා මල් බඹරෝ

මල් පැණි වාරේ ආවාදෝ

පොකුරු පොකුරු මල් සැණකෙළි

ඔමරි ලතාවයි

නුහුරු හැඟුම් මා වටකර

රඟන ලතාවයි

බිංදු බිංදු පිනි මුතු වැල්

මඟ සරසනවා

මට නොදැනිම හෙමි හෙමිහිට

පියා සලනවා

කුරුල්ලනේ රෑන් රෑන්

කොහේ යන්නෙදෝ

අරන් මටත් ඉගිල්ලෙන්න

කියා දෙන්නකෝ

මට මතකයි මට මතකයි

පුංචි කාලේ මං

රෑ හීනෙන් දේදුන්නෙන්

නැගී ගියා මං

ඒ පෙනිච්ච මිහිරි සිහින

දැන් සැබෑ වුණා

රිදී කාසි හැලෙන හඬින්

සිත සිනාසුණා

මිටියාවත සුදු මිහිදුම්

හිම සිහිල් සුවේ

පාවි පාවි මං යනවා

හිත සැහැල්ලුවේ

කවුරුන් හෝ මට කියන්න

කනට කොඳුරලා

ආදරේද මේ දැනෙන්නෙ

සුවඳ ගල ගලා


ඕ.සී.අයි.සී., සරසවි, ජනාධිපති සම්මාන මෙන්ම 1998 Singapore International Film Festival හි හොඳම නිළිය ඇතුළු සම්මාන රැසකින් තම රංග සුවිසැරිය පුරා සම්මානනීය වූ නීටා ප්‍රනාන්දු නිළියක ලෙස තම රංගන සුවිසැරිය සරා තැබූ ස්වර්ණවත් මුද්‍රා රැසකි.


චිත්‍රපට නිළියක ලෙස මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසද ලාංකික සිනමාව තුළ තම අනන්‍යතාව සලකුණු කළ නීටා ප්‍රනාන්දු රංගවේදිනියගේ සිනමා දිවියට හැට වසරක් සපිරෙන මේ මොහොතේ සිංහල සිනමාව සුගන්ධවත් කළ ඒ සුන්දර සියුමැලි සිනමා කුසුමට හදසර ආදරයත් සුබාශිංශනයත් පිරිනමමු.


• සංජීවිකා සමරතුංග



Previous Post Next Post