මනිරත්නම් වගේ විශිෂ්ටයොත් මගෙ රඟපෑම් අගය කළා-මහේන්ද්‍ර පෙරේරා

 



ඔහු ලාංකේය සිනමාව තුළ තම අනන්‍යතාව තහවුරු කළ කෘතහස්ත රංගධරයෙකි. එකිනෙකට වෙනස් විසල් පරාසයක් පුරා විහිදෙන චරිත රැසකට තම රංගන දායකත්වය සැපයූ ඔහු ලාංකේය සිනමාව තුළ ප්‍රේක්ෂක සන්තානය වෙනත් මානයකට රැගෙන ගිය කලාකරුවෙකි. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා.


ඔබ 2025 වසරේ ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ පැරඩයිස් චිත්‍රපටයේ සාජන් බණ්ඩාරගේ චරිතය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස නිර්දේශ ලබා තිබෙනවා. මේ ගැන කතා කරමු?


මෙම සම්මානය සඳහා නිර්දෙශ වීම සම්බන්ධයෙන් මට විශාල සතුටක් තිබෙනවා. මම හීනෙකින්වත් හිතුවෙ නැහැ එතැනට යන්න පුළුවන් වෙයි කියලා. මේ චරිතය පිළිබඳව විචාරකයන්ගෙන් මට බොහෝ පැසසුම් ලැබුණා. මනිරත්නම්, අනුරාග් කාශප් වැනි විශිෂ්ටයන් පවා මගේ රඟපෑම ගැන කතා කරලා තිබුණා. මේ සඳහා නිර්දේශ නාමයන් තෝරා ගෙන තිබෙන්නේ චිත්‍රපට විශාල ප්‍රමාණයකින්. සමස්ත ඉන්දියාවෙම සිනමාපට අතුරින් තමයි


මේ තෝරා ගැනීම සිදු කර තිබෙන්නේ. ඉතින් ඒක ඉතා වටිනවා. මේ විධියට නිර්දේශ වීමම මට සම්මානයක් ලැබුණා හා සමානයි. මාව මේ චරිතයට තෝරා ගැනීම සහ මා කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ප්‍රසන්න විතානගේට සහ දමයන්ති ෆොන්සේකාට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ බස් එකක්, බයික් එකක්  පෙරළුණත් නිවුස් එකක් වෙනවා. හැබැයි මේ ගැන නම් කවුරුත් තාම දන්නේ නැහැ.


ප්‍රවීණ රංගන ශිල්පියකු ලෙස සහාය නළුවාගේ භූමිකාව දෙස ඔබ බලන්නේ කෙසේද?


සමස්ත නිර්මාණය තුළ ප්‍රධාන නළුවා හා සමානව සිනමාපටයේ බර ක‍රේ තබා ගන්නා භූමිකාවක් ලෙස සහාය නළුවාගේ භූමිකාව අර්ථ දක්වන්න පුළුවන්. ඉන් අදහස් වන්නේ ප්‍රධාන තේමාවට ඒ චරිතයෙන් කෙතරම් සහයෝගයක් ලබා දෙනවාද කියන දෙයයි. සහාය නළුවාගේ භූමිකාව ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ප්‍රධාන නළුවාගේ භූමිකාව වගේම සහාය නළුවාගේ භූමිකාවත් එක්තරා අතකින් සමානයි. මම ලංකාවේ හොඳම සහාය නළුවා සඳහා සම්මානය කිහිපවරක්ම ජයග්‍රහණය කරලා තිබෙනවා.


ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් ‍යනු යම් ආකාරයක මලයාලම් සිනමාවේ හැඩය තිබෙන සිනමාපටයක්. මේ පිළිබඳව ඔබේ අදහස?


නිව්ටන් සිනමා කියන ඉන්දීය ආයතනය තමයි මේ සිනමාපටය නිෂ්පාදනය කළේ. ඇත්තටම මේක මලයාලම් සිනමාපටයක් තමයි. හැබැයි අපිට සිංහල සිනමාපටයක්. අපේ රට පමණක් නෙවෙයි ඉන්දියානු සිනමාවම දැන් මලයාලම් සිනමාව විසින් ආක්‍රමණය කරලා. ඔවුන් සිනමාව තුළට ගෙන එන වස්තු බීජ ගැන සිතා ගන්නවත් බැහැ. ලංකාවට මලයාලම් සිනමාව හරිම සමීපයි. ඒ නිසාම අපේ ප්‍රේක්ෂකයන් මලයාලම් සිනමාවට බොහෝ කැමැතියි.


වසර ගණනාවක් පුරාවට ඔබ රංගන ක්ෂේත්‍රයට අවශ්‍ය රංගන ශිල්පි ශිල්පිනියන් බිහි කරනවා. මහේන්ද්‍ර පෙරේරා ඇක්ටින් ස්‍ටූඩියෝව ගැනත් කියමු?


මම උත්සාහ කරන්නේ ගුරුවරයෙක් වෙන්න නෙවෙයි. මම දන්න දෙය, මම ඉගෙනගත් දෙය, මම සොයාගත් දෙය, මට දැනෙන දෙය  ඊළඟ පරම්පරාවට ලබා දෙමින්, ඔවුන් සමඟ එක්ව රඟපෑම සොයා යෑමක් තමයි මේ හරහා සිදු වන්නේ. රඟපෑම කියන විෂය පිළිබඳව සොයා යන්න මම ඔවුන්ට කියා දෙනවා. එහෙම නොවුණොත් මේ විෂය එක තැන පල් වෙන, මියැදෙන විෂයක් බවට පත් වෙනවා. මේක හරිම අමාරු, නමුත් රසවත් වැඩක්. මම වසර 27ක් විතර මේ දෙය කරනවා. ඊළඟ පරම්පරාව මේ තුළ පෝෂණය කරන්නේ කොහොමද කියන එක ගැන මම නිතර සිතනවා.


ඔබ හොඳම නළුවා සඳහා සම්මානය දිනූ සුදු කළු සහ අළු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අද ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. නව දේශපාලන වෙනස සමඟ සිනමාවේ දිශානතිය කිනම් ආස්ථානයක් කරා ගමන් කරයිද?


සුදත් මහදිවුල්වැව එතැනට පත්වීම පිළිබඳව මට විශාල සතුටක් තිබෙනවා. ඔහු සිනමාව කියන විෂය පිළිබඳව හොඳින් දන්නා දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගෙන් චිත්‍රපට කර්මාන්තයට විශාල සේවයක් සිදු වෙයි කියලා මම සිතනවා. පසුගිය කාලය පුරාවට චිත්‍රපට සංස්ථාවෙන් එතරම් සේවයක් වුණා කියා මම සිතන්නේ නැහැ. දැන් සිනමාව තුළ හොඳ දැක්මක් සහ නව්‍ය භාවයක් තිබෙනවා. ඔහු සිනමාවට විශාල යමක් සිදු කරයි කියා මම සිතනවා.


වත්මන් ක්ෂේත්‍රය තුළ සිටින රංගන ශිල්පීන් බොහෝ පිරිසක් ඔබේ රංගනයෙන් ආභාසය ලැබූ බව පවසනවා. ඔබව ඔවුන් හඳුන්වන්නේ කාගෙත් ලොකු අයියා කියලා. මේ ගැන ඔබේ අදහස?


මගෙන් අභිප්‍රේරණය වුණා නම් ඒක ලොකු දෙයක්. ඒ වගේම ඔවුන් ඒ විෂය තුළ සොයා යෑම කරගෙන යනවා නම් මම ඒ අයට අත හිත දෙනවා. ලංකාවේ වර්තමාන ක්ෂේත්‍රයේ තුළ සිටින බොහෝ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මා සමඟ රංගනය හදාරමින් රංගනය සොයා යමින් සිටිනවා. මට හැමෝම ආදරෙයි. මම මේ විෂය තුළ හැසිරෙන ආකාරය නිසා තමයි ඔවුන්ට යම් කිසි දෙයක් දැනෙනවා ඇත්තේ. ඒ ආදරය ලොකු ආශීර්වාදයක්.  ඔය අතර මට බනින අයත් ඇති. කෙනෙහිලිකම් කරන අයත් නැතුවා නෙවෙයි.


මහේන්ද්‍ර පෙරේරා කියන්නේ වාණිජ, කලාත්මක, විකල්ප හෝ විවිධ ශානරයන්ට අයත් සිනමාපට ආදී ලෙස තෝරා බේරා ගැනීමක් සිදු නොකරන රංගන ශිල්පියෙක්. මේ ගැන කියනවා නම්?


රංගන ශිල්පියෙක්ට වාණිජ නම් වාණිජ, කලාත්මක නම් කලාත්මක, ඇබ්සර්ඩ් නම් ඇබ්සඩ්, ඇබ්ස්ට්‍රැක් නම් ඇබ්ස්ට්‍රැක් ආදී ලෙස රංගනයේ යෙදෙන්න පුළුවන් නම් ඒ දෙය හොඳයි. තමාගේ කැපවීම සහ සොයා යෑම මත තමයි ඒ හැකියාව ලැබෙන්නේ. ඕනෑම ශානරයක රඟපෑමට හැකියාවක් තිබෙනවා නම් ඒක ඉතා වටිනවා. නමුත් මමත් තෝරා බේරා ගැනීමක් සිදු කරනවා. මම කිසිම දෙයක් තෝරා බේරා ගැනීමකින් තොරව කරනවා කියන අන්තවාදී තැනක නැහැ. මේ ක්ෂේත්‍රය තුළ හොඳම විධියට පවතින්න නම් හොඳම නිර්මණවලට විතරක් අපි තේරෙන්න ඕන, හොඳම නිර්මාණ බිහිවෙන්න ඕන, නිර්මාණයට හොඳම විධියට ගෙවන්නත් ඕන. නමුත් හොඳම තත්ත්වයෙන් පවතින්න හැමදාම ලැබෙන්නෙ නැහැ. නමුත් ඒ තත්ත්වයෙන් වැඩ කරගෙන යන්න අපිට පුළුවන්. පසුගිය කාලයේදී මම චිත්‍රපට කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා. ඇත්තටම කියනවා නම් ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා.


වර්තමානයේදී සිනමා මණ්ඩල සහ නාළිකා පවත්වාගෙන යන ඒකාධිකාරිය පිළිබඳව ඔබේ අදහස?


ඇත්තටම මේ ගැන ගොඩක් සිතන්න වෙලා තිබෙනවා. නමුත් සිනමාව තුළ මේ ඒකාධිකාරිය බිඳීගෙන යන බවක් පෙනෙන්න තිබෙනවා. සිනමා කර්මාන්තය වගේම ලංකාවේ දේශපාලනය සහ සංස්කෘතියත් දැන් අලුත් වෙලා. දැන් නව සිනමාශාලා ලංකාවේ බිහිවෙලා. ඒ නිසාම මේ කර්මාන්තය වෙනත් මානයකට ගමන් කරයි කියා මම සිතනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post