රැයක් දවාලක් නැතුව දාන සුදික්ෂාගේ අමුතු නැටිල්ල

 


මේ දිනවල විකාශය වන ‘මායාවි’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයක් කා අතරත් කතාබහට ලක්වෙලා. ලතා මංගේශ්වරී ලෙසට ඉතාමත් තාත්වික රංගනයක යෙදෙන ඇය, නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන සුදික්ෂා සමාධි. සුදික්ෂාගේ කලා දිවියේ නවතම තොරතුරු දැනගන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා. 


සුදික්ෂා ආදරවන්තයන්ගේ දිනය සැමරුවද?

මට ඉතින් හැමදාම වැලන්ටයින් තමයි.

ඒ කියන්නේ ආදරණීය පෙම්වතියක්?

අනිවාර්යයෙන්ම. මම ආදරය විඳිනවා. පවුලේ අයගේ ආදරයත්, මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ ආදරයත් හොඳට ලැබෙනවා. ඒ ආදරයත් එක්ක මම ජීවිතය උපරිම විඳිනවා සතුටින්.

ඔබේ ආදරණීය පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්ද?

නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. මම හිතන්නේ මාව තේරුම් ගත්ත හොඳම ආදරණීය පෙම්වතෙක් මට ලැබුණා කියලා. ඒ ගැන මට සතුටුයි.

ඉතින් මේ දවස්වල කොහොමද වැඩකටයුතු?

මේ දවස්වල රැයක් දවාලක් නැතුව නටන එක තමයි.

ඒ කියන්නේ මේ දවස්වල හොඳට නටනවා වගේ?

ඔව්. මේ දවස්වල ඒ පුහුණුවීම් කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. හිරු මෙගා ස්ටාර්වලට මම පළමුවතාවට තමයි සම්බන්ධ වෙන්නේ. එය මට වෙනස්ම අත්දැකීමක්.

මේ තරම් හැඩට නටන්නේ සුදික්ෂා නර්තන ශිල්පිනියක්ද?

අම්මෝ නැහැ. මම කවදාවත් නර්තනය හදාරලා නැහැ. පාසල් යන කාලේ මම නාට්‍ය හා රංග කලාව තමයි හැදෑරුවේ. අඩු තරමේ මම මැන්ඩියටවත් ඉන්න දන්නේ නැහැ. හිරු මෙගා ස්ටාර් තරගාවලියේ මට පුහුණුවීම් කටයුතු කරන්නේ රසික ප්‍රභාත්. ඔහු තමයි මගේ ගුරුවරයා. ඒ වගේම මගේ පාට්නර් විදියට මම සමග ඉන්නේ ප්‍රවීන්. ඔහුත් ඉතා දක්ෂ නර්තන ශිල්පියෙක්. මට මහන්සි දැනුණත් මාව ඇදගෙන ගිහින් පුහුණුවීම් කටයුතු කරනවා. මට ප්‍රවීන්ගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. ඉතින් අපි සියලු දෙනාගේ උත්සාහය කැපවීම මත ඉදිරියට යනවා. විනිශ්චය මණ්ඩලය අපේ අඩුපාඩු පෙන්වා දෙමින් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙනුත් මනාප ගොඩක් ලැබුණා.

මොනවද ලතා මංගේශ්වරීට ලැබෙන ප්‍රතිචාර?

‘මායාවි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ ලතා මංගේශ්වරී චරිතය. මග තොටදී ඒ ප්‍රතිචාර හොඳට ලැබෙනවා. මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැනෙනවා.

සුදික්ෂාට ලතා මංගේශ්වරී දැනුණු විදිය ගැන කිව්වොත්?

‘මායාවි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා, ලලිත් වසන්ත, මහේෂ් රත්සර මද්දුමආරච්චි චරිතය ගැන මට හොඳට පැහැදිලි කරලා දුන්නා. මට උපරිම නිදහස දුන්නා චරිතය තුළ ජීවත් වෙන්න. ඒ අනුව අඩු මානසික මට්ටමේ දරුවන් කිහිප දෙනෙක් මම ඒ චරිතය වෙනුවෙන්ම ඇසුරු කළා. ඔවුන් සමග කාලය ගතකරමින් චරිතයට අවශ්‍ය මෙවලම් උපයෝගී කරගෙන, තාත්විකව මම ඒ චරිතය නිරූපණය කළා. ඇත්තටම මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඒ කියන්නේ සම්මානයකුත් ලැබෙයි වගේ ලතා වෙනුවෙන්?

සම්මාන බලාගෙන මම චරිත නිරූපණය කරන්නේ නැහැ. මග තොටදී ජනතාවගෙන් ලැබෙන ආදරය, ගෞරවය මට සම්මානයකට වඩා වටිනවා. ඒ තමයි මට ලැබෙන හොඳම සම්මානය.

ආපු ගමනත් එක්ක ආපසු හැරිලා බැලුවොත්?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර 10ක් වෙනවා. මම වේදිකාවෙන් තමයි කලා ශිල්පිනියක් වුණේ. මේ වනවිට මම විවිධ චරිත රඟපාලා තියෙනවා. ඒ අතර බලද්දී ‘මායාවි’ ටෙලිනාට්‍යයේ ලතා මංගේශ්වරී චරිතයට තමයි හොඳම ප්‍රතිචාර ලැබුණේ. අද වනවිට මම සිනමාවටත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ වසරේ මම සම්බන්ධ වුණු චිත්‍රපට තුනක් විතර තිරගත වීමට නියමිතව තිබෙනවා.


වසන්ත විතාරණගේ



Previous Post Next Post