දිවිතුරා ටෙලි නාට්‍යයේ ජෙනීව ඔබට මතකද?. ඒ තමයි ඇයගෙ පළමු රංගනය. මේ දිනවලනම් ටෙලි නිර්මාණ දෙකකින්ම ඇය ඔබට දැකගන්නට පුළුවන්. පෙනුමින් විදේශීය කාන්තාවක් හා සමාන නිසා මුල් කාලයේ ඇයත් එක්ක බොහෝ දෙනෙක් කතාකරන්නත් බය වුණාලු. මේ, අකීරා හානිම් එක්ක මීවිත කළ කතාබහයි.
අකීරා මේ දවස්වල ජුරාලියා සහ SEAසෝ ටෙලි නාට්‍යවලින් දකින්න ලැබෙනවා?
ජුරාලියා ටෙලි නාට්‍යයේ මම රඟපාන්නෙ බිස්නස්මන් කෙනකුගේ චරිතයක්. නමුත් විදෙස්ගතවෙන්න සූදානමක් තිබුණ නිසා චරිතයේ දිගටම රැඳෙන්න ලැබුණෙ නැහැ. SEAසෝ ටෙලි නාට්‍යයේ චරිතය නම් වෙනස්ම එකක්. ඒ මොන වගේද කියල ප්‍රේක්‍ෂකයන්ටම දැකබලාගන්න පුළුවන්.
වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ?
SEAසෝ ටෙලියේ චරිතය දිගටම තියෙන නිසා ඒ වෙනුවෙන් වැඩි ප්‍රතිචාරයක් ලැබෙනව.
ඇයි විදෙස්ගත වෙන්න අදහස් කළේ?
මගේ පුද්ගලික වැඩකට විදෙස්ගතවෙන්නයි වුවමනා වුණේ.
රංගන ශිල්පිනියක් වීම අකීරාගේ හීනයක්ද?
ඔව්, පුංචි කාලෙ ඉඳන් නිළියක් වෙන්න මට කැමැත්තක් තිබුණා. නමුත් මගේ පසුබිම මුස්ලිම් නිසා පවුලෙන් ඒකට කැමැත්තක් තිබුණෙ නැහැ, සහයෝගයක් තිබුණෙත් නැහැ. කාලයක් යද්දි මට ඒ වෙනුවෙන් අවස්ථාවක් ලැබුණම මට හිතුනා කරල බලන්න ඕන කියල. ඒ අවස්ථාවෙන් පස්සෙ හොඳ ප්‍රතිචාර ලැබුණ වගේම චරිත සඳහා ආරාධනා ලැබෙන්න පටන්ගත්තා.
ක්‍ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන කතා කළොත්?
මුලින්ම මට ආරාධනය ලැබුණෙ දිවිතුරා ටෙලි නාට්‍යයේ ජෙනීගේ චරිතයට. ඔවුන් කිව්වෙ දවසක වගේ පොඩි චරිතයක් තියෙනව කියල. නමුත් ඒක ටිකක් දුරට ගියා. මේ අතරතුර කෝලංකුට්ටම ටෙලි නාට්‍යයෙන් මට ආරාධනයක් එනව. ඔවුන්ට මාව ඕනෑ වුණේ විදෙස් ජාතිකයකුගේ චරිතයකට. ඒකෙ එමා, සහ එමලි කියන චරිත දෙකකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ඔබේ බාහිර පෙනුමට ලැබෙන්නෙ විදේශීය ජාතිකයන්ගෙ චරිත?
ඔව්, ගොඩක් දුරට ලැබෙන්නෙ විදේශීය ජාතික කාන්තාවන්ගේ චරිත. නමුත් වෙනත් චරිත කරන්නත් මම කැමතියි.
අකීරාට විදේශීය සම්බන්ධතාවක් තියෙනවද?
ඔව්, මගේ තාත්තා අරාබි ජාතිකයෙක්. මගේ අම්මා ලංකාවේ. ඇයගේ තාත්තා, මගේ සීයාත් අරාබි ජාතිකයෙක්.
ඇතැමුන් ඔබ විදේශීය කාන්තාවක් කියල රැවටුණ අවස්ථා තියෙනවද?
අනිවාර්යයෙන් තියෙනව. ගොඩක් දෙනෙක් හිතනව මම ෆොරිනර් කෙනෙක්, සිංහලත් බැහැ කියල. ඒ වුණාට මට සිංහල, දමිළ, හින්දි වගේ භාෂා කිහිපයක්ම පුළුවන්.
ඔබේ භාෂා දැනුම ගැන කතා කළොත්?
අපේ තාත්තානම් ගෙදරදි කතා කළේ අරාබි සහ ඉංග්‍රීසි භාෂාව. එයාට සිංහල බැහැ. අම්මටත් සිංහල සහ දමිළ භාෂා කතාකරන්න පුළුවන්. ඒ දේවල් එක්ක තමයි මටත් මේ භාෂා කතාකිරීමේ හැකියාව ලැබිල තියෙන්නෙ.
අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?
මම පාසල් ගියේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලට. සාමාන්‍ය පෙළ සඳහා නුගේගොඩ පෞද්ගලික පාසලකට ඇතුළත් වුණා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වලින් මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් තියෙනව. මොඩ්ලින්, ඇක්ටින් වගේ දේවල් මම කරන්න ගත්තෙ හොබී එකක් විදිහට.
පවුලේ විස්තර?
මගේ පවුලේ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි හිටියෙ. නමුත් තාත්තා නැතිවෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනව.
අකීරා දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක්?
මුල් කාලෙ රසිකයො මාව මගතොටකදි දැක්කත් කතාකරන්න බය වුණා මම සිංහල දන්නෙ නැහැ කියල. ඉන් පස්සෙ ඉන්ටර්විව් දෙකතුනක් යද්දි ඔවුන් දැනගත්තා මට සිංහල පුළුවන් කියල. මමත් ඔවුන්ට කිව්වා ඕන වෙලාවක ඇවිත් කතාකරන්න කියල. මට ලැබෙන මේ ආදරය ෂතුටින්, නිහතමානීව පිළිගන්නව.
ගෙදරින් විරුද්ධ වුණ නිසා රඟපෑම අතහරින්න හිතුනද?
නැහැ.. නැහැ.. කවදාවත් මම විශ්වාස කරන දේ අතහරින්නෙ නැහැ. මට කරන්න පුළුවන් කියල හිතුනොත් කොහොම හරි කරනව. ඒක මම ගෙදර අයටත් කියල තියෙන්නෙ. එයාල මගේ හැටි දන්නව. නමුත් මුල් කාලෙනම් එපා කිව්වා. ආරංචි වෙලා තිබුණ විදිහට එයාල හිතුවෙ මේ ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්න බැහැ, ගැහැනු ළමයකුට සේෆ් නැහැ කියල. නමුත් පස්සෙ ඔවුන් ඒක තේරුම් ගත්තා.
ඒ කතා ගැන අද ඔබට දැනෙන්නෙ කොහොමද?
මේ ක්‍ෂේත්‍රය බොහොම හොඳ තැනක්. සීනියර් ජූනියර් කියල නැහැ, එකිනෙකාට උදව් කරගෙන සහයෝගයෙන් නිර්මාණවලට දායක වෙනව.
සිංහල රංගන ශිල්පිනියන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
තවමත් මම ක්‍ෂේත්‍රයේ බාගෙට බාගයක් දෙනාව දන්නෙ නැහැ. මෙතෙක් මට හමුවුණ හැමදෙනාම බොහොම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම ගොඩක් මට උදව් කළා.
ඔබ ගැන කොහොමද හඳුන්වා දෙන්න පුළුවන්?
මම ගැන කෙටියෙන් කිව්වොත් හොඳට හොඳයි, නරකට නරකයි.
ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා එහෙමත් එනව ඇති?
ඔව්, එහෙම යෝජනා එනව. නමුත් කලින් මට සම්බන්ධයක් තිබුණා. ක්‍ෂේත්‍රයට මීට කලින් එන්න අවස්ථාව තිබුණත් මම එහෙම නොකළෙ ඔහු අකමැති වුණ නිසා. ඒ සම්බන්ධය බිඳවැටුණට පස්සෙ තමයි මම රංගනයට යොමු වෙන්නෙ. එතැන ඉඳන් මම අවධානය දුන්නෙ මගේ ඉලක්ක වලට. වෙන සම්බන්ධතා ගැන මට කැමැත්තක් තිබුණෙ නැහැ. ඉදිරියේදී හරි කෙනෙක් ලැබුණොත් මම කැමති වෙයි, නැත්නම් නැහැ.
මහේෂ් එදිරිසිංහ