ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ විශිෂ්ට හා ජනප්‍රිය ගීත පසු පරපුරේ ඇතැමුන් සාහසික ලෙස පැහැර ගනිමින්, ප්‍රසිද්ධ වේදිකාවල ඒවා තමාගේ මෙන් ගයමින් මුදල් ඉපයීම අද සුලබ ය. කලාකරුවන් දිවා රෑ නිදිවරා වෙහෙසී කළ නිර්මාණ ගීත මේ අයුරින් මංකොල්ලාකෑම සහ විකෘති කිරීම මුල් නිර්මාණකරුවන්ගේ සිත් වේදනාවට තුඩු දී ඇත.
“පරවුණු මල්වල
සුවඳ අතීතේ
පරසතු මල් ළඟ
විසිර ගියාවේ….”
මේ ගීතය ද ඒ අතීත සුවඳ අපගේ මතකය ප්‍රකම්පය කරවන්නකි. එයින් ආවර්ජනය කෙරෙන අතීතය “මීදුම් වලාවන් ගලාලා…, ඔංචිල්ලා තොටිලි කොයින්දෝ… , දුනුකෙයියා මලක් වගේ.. , ආගන්තුක කුරුල්ලා.. , අද හවසට මා..” ආදි වශයෙන් දශක ගණනක ගුවන්විදුලි, සිනමා, සරළ ගී පන්දහසකට වැඩි ප්‍රමාණයක් අපගේ සවනත පෙළ ගැසෙනුයේ ඒ සම්භාවනීය ගායන ශිල්පිනියගේ ප්‍රභාමත් මියුරු ගී හඬින්මය. කවුරුන් කෙසේ ඒ ගී ගැයුවත් මුල් ගීයේ මිහිර ශ්‍රාවක මනසින් අකාමකා දෑමීමට හැකි නොවේ. ඒ ඇයගේ සුගායනීය හඬට විකල්ප නොමැති බැවිනි.
පරසතු මල් චිත්‍රපටයට ඇය ගැයූ “පරවුණු මල්වල..” ගීය වෙනුවෙන් ඇය හොඳම ගායිකාව ද වූ නමුත් එම චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් නිසි ඇගයීමක් නොකළ හෙයින් ඇය තමාට හිමි සම්මානය ප්‍රතික්ෂේප කළාය. එක් දිනයක් තුළ චිත්‍රපට හතරක පසුබිම් ගීත හතරක් පටිගත කිරීම ඇය චිත්‍රපට සංගීතය වෙනුවෙන් තබන ලද වාර්තාවකි. 1956 දී “සොහොයුරෝ” චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්ව සිංහල චිත්‍රපට තුන්සිය පනහකට වැඩි සංඛ්‍යාවක පසුබිම් ගී ගැයූ ඇය භාෂා නවයකින් ගී ගයා ඇත. උතුරු හා දකුණු ඉන්දියානු (දෙමළ හා හින්දි) චිත්‍රපට සඳහා පසුබිම් ගීත රැසක් ගයා ඇති ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂවරිය ද වන්නීය. ඇය සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වන්නේ “හරියට හරි” චිත්‍රපටය යි. පසුව “සඳ කිඳුරු” චිත්‍රපටයේ ද සංගීත අධ්‍යක්ෂණය ඇය විසින් සිදු කරන ලදි.
1950 වසරේ ඔක්‌තෝම්බර් 05 දින ඇය ප්‍රථම වතාවට, ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ සජීව ලෙස විකාශය වුණු “විචිත්‍රාංගය” වැඩසටහනට “මල් සේ දිලේවා..” ගීතය ගයද්දී වයස අවුරුදු අටකි. ගුවන් විදුලිය ඔස්සේ එම ගීතය සජීව ලෙස ප්‍රචාරය වූ නමුත් ඇය තුළ වූ විශ්වසනීයත්වය ගීතයේ සජීව බව ආරක්ෂා කළේ එක් ස්වරයකුදු එහා මෙහා නොවන්නටය. එයින් සිව් වසරක ඇවෑමෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ “ආධුනික පැය” වැඩසටහනට ගී ගයා ඇය ප්‍රථමයා බවට පත් වූවාය. චන්ද්‍රසේන වීරසේකර නැතහොත් ගිල්බට් මාස්‌ටර් විසින් පද රචනය කරනු ලැබූ “සාධු දන්තදා” ගීතය ඇය ගායනා කළේ “ජයග්‍රාහක පෙළපාලිය” වැඩසටහනේ ඉදිරිපත් කිරීමක් ලෙස මැදිරි අංක 06හි සිටය. මේ ගීතය එකල නිරතුරුව ම ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වීම නිසා අතිශය ජනප්‍රිය විය. ශ්‍රී ලංකාවේ ගීත කැසට් සියයකට වැඩි සංඛ්‍යාවක් එළි දක්වා ඇති ඇය ඉන්දියාවේ ඒක පුද්ගල ගී ප්‍රසංගක් පැවැත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික ගායිකාව ද වන්නීය. මහාචාර්ය දේවදර් මහතා පැවැත් වූ සංගීත පර්යේෂණයෙන් ඇය විශිෂ්ට ශ්‍රේණියට සමත් වූ අතර 1979 වසරේදී ඉන්දියානු සංගීත මහාචාර්ය දීපාල් නාග් මහත්මිය පැවැත්වූ සංගීත පරීක්ෂණයෙන් ලකුණු 96ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලැබුවාය. රජයේ සංගීත විද්‍යාලයේ ගායනය හා වාදනය (සිතාර්) සය අවුරුදු පාඨමාලාව සම්පූර්ණ කළ ඇය ගායනය හා සිතාර් වාදනය පිළිබඳ විශාරද උපාධිය ලැබුවේ 1968දී ඉන්දියාවේ ලක්නව් භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයෙනි. පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් ද ඉදිරිපත් කළ ඇය එහි සිංහල සහ දමිළ යන අංශ දෙකෙහි ම විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක වූවා ය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කර ඇති ගායිකාව ලෙස ඇය වාර්තාගත වන්නී ය. එහෙත් මේ වනවිට එම ගීත අතරින් බොහොමයක් සංරක්ෂිතව නොමැති බව ඇය පවසන්නී ය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස රාජ්‍ය සේවයට අවතීර්ණ වන ඇය පසුව අධ්‍යාපන නිලධාරී (සංගීත) ද අනතුරු ව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (සංගීත) යන තනතුරු ද හෙබවූවා ය. මෙරට සංගීත ක්ෂේත්‍රය උදෙසා ඇය ඉටු කළා වූ ශාස්ත්‍රීය මෙහෙවර අගයනු පිණිස 2019 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී සම්මාන ආචාර්ය ගෞරව උපාධියක් එතුමිය වෙත පිරිනැමිණි. එසේ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ද කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ද හිරු මාධ්‍ය ජාලය ද ඇයගේ සංගීත මෙහෙවරට උපහාර පිදීම් සිදු කර ඇත.
එදා මෙදාතුර ඇය ලද සම්මාන රැස අතර ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන සුමති සම්මානය, රණතිසර සම්මානය හා ජනාධිපති සම්මානය ද වේ. හොඳම ගායිකාව ලෙස 1965 වසරේ ස්වර්ණ සංඛ, 1966 වසරේ සරසවිය හා ස්වර්ණ සංඛ, 1972 වසරේ කුමරතුඟු අනුස්මරණ හා දීපශිකා සම්මාන, 1974 වසරේ හොඳම හා ජනප්‍රියම ලෙස සරසවිය හා ජනාධිපති සම්මාන ඇයට හිමි විය. ශ්‍රී ලංකා මුස්ලිම් කලා පදනමෙන් “පන්මායි කෝකිලම්” ගෞරව නාමය ඇයට පිරිනැමූ අතර 1994 වසරේදී වෙදමුල්ල මහා විද්‍යාලයයෙන් ‘සුධීර මාතා’ උපහාර, 2009 වසරේදී විද්‍යාලංකාර උපහාර, 2010 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා ගෞරව උපහාර, 2012 වසරේදී කල්‍යාණි ප්‍රසාදිනී හා මන්චි ගෞරව උත්තමාචාර, 2013 වසරේදී ශ්‍රී ලංකා යුධ හමුදා ගෞරව ප්‍රසාද සන්නස හා ටවර්හෝල් රඟහල පදනම ගෞරව උපහාර, 2014 වසරේදී සුමති අනුස්මරණ, සුවඳ පද්ම, අචාර්ය ලයනල් එදිරිසිංහ ගෞරව උපහාර (උත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශය – සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය), ලංකා බැංකු උපහාර හා විදුලිපුර ගෞරව, 2015 වසරේදී සුසර ප්‍රණාම හා ජනතා ගෞරව ආදි සම්මාන රැසක් ද 2016 වසරේදී සරසවිය රණතිසර, ශ්‍රී ලංකා පොලිස් ගෞරව ආදි සම්මාන මෙන් ම එම වසරේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී සුනිල් ශාන්ත අනුස්මරණ සම්මානය ද ඇයට පිරිනැමිණි. 2017 වසරේදී ඒ. ඩී. ටී. එෆ්. (ADTF) ගෞරව සම්මාන, ශ්‍රී ලංකාවේ ගායක ගායිකා නළු නිළි සංගමය පිරිනමන (OSCAR) ප්‍රණාම සම්මානය ද 2018 දී නිදහස් කලාභූෂණ, 2020දී කලාභිමානි ආදි වශයෙන් සම්මාන ගණනාවක් ඇය වෙත පිරිනමා ඇත. එම සම්මාන වෙන්දේසියේ විකිණීමටත්, එයින් ලැබෙන මුදල් පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමටත් ඇය දැනටමත් පියවර ගෙන ඇත.
“මේ එක සම්මානයක්වත් මට ලැබුණේ මට සම්මාන ලැබිය යුතුම අවස්ථාවලදි නෙවෙයි. ඒ නිසා මේ සම්මාන මට එතරම් වටින්නේ නැහැ. මගේ පුතාගේ වියෝවෙන් මම වැඩි වැඩියෙන් පුණ්‍ය කටයුතුවලට යොමු වුණු නිසා මේ සම්මාන අලෙවියෙන් ලැබෙන මුදලින් පුණ්‍ය කටයුතු කරන එක හොඳයි කියලා මට සිතුණා.” ඇය කීවා ය.
පොලිස් නිලධාරී එම්. එම්. ඩී. පෙරේරා සහ ටවර් හෝල් රංගන හා ගායන ශිල්පිනි විමලාකාන්තා යුවළගේ ආදරණීය දියණියක වන ඇය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වු නවරත්න අත්තනායකයන් සමඟ විවාහ වීමෙන් පුතුන් තිදෙනෙකු ලැබුවාය. වැඩිමල් පුතු හේලි සජීව අත්තනායක වන අතර දිවිපිදූ රණවිරු කපිතාන් චානක සංජීව අත්තනායක (යුධ හමුදාව) දෙවැනි පුතු විය. ගුවන් කපිතාන් සමින් අත්තනායක බාල පුතුය. 1992 වර්ෂයේදී ඇය හදිසියේම කිසිදු ගීයක් නොගයා සුදුවත අඳින්නට පටන් ගත්තාය. තම රණවිරු කපිතාන් චානක සංජීව අත්තනායක පුතු රට දැය වෙනුවෙන් දිවි පිදූ පුවත ඇයගේ දෙසවන් අතරින් උගුරු තල බිඳ හද පෑරවූ පුවතින් ඇයගේ හඬ නිශ්චල වුණි. පුරා වසර විස්සක් පුත්‍ර වියෝගයෙන් නිහඬ වූ ඇය මෙරට කුරිරු යුද්ධය නිමාවත්ම නිර්මාණය වූ ශ්‍රී ලංකා පොලිස් හා පොලිස් විශේෂ කාර්ය සාධන බලකායේ තේමා ගීත දෙක සඳහා සංගීත අධ්‍යක්ෂණය කළාය. වසර තිහක යුද්ධයෙන් බැටකමින්, හද සුසුම් විඳවමින් සිට එහි නිමාවෙන් පිබිදුණු රසික සහෘද මහා ජන ඉල්ලීම මත 2012 වර්ෂයේදී “ජීවන විල මැද” ගී ප්‍රසංග මාලාව ඇය පැවැත්වූවාය. සිය ජීවන ගමනේ අසූ දෙවැනි ඉම පසුකරමින් සිටින ඇය මේ වනවිට කොළඹ සහ අනුරාධපුරයේ සංගීත පන්ති පවත්වමින් අනාගත පරපුර නිසි සංගීත මංපෙතට අවතීර්ණ කරමින් සිටින්නීය. ඇයගේ සියලු ගීතවල අයිතිය තම පුතුන්ට හා මිණිබිරිය වෙත පවරා ඇති ඇය වර්තමානයේ අසීමිතව සිදු වන ගී මංකොල්ලයන් පිළිබඳ මෙසේ පැවසුවා ය.
“අද හැම නාලිකාවකම ගී තරු තෝරන තරගවල දරුවෝ මුලින්ම ඒ තරගවලට ඉදිරිපත් වෙද්දී අපේ පැරණි ගී එයාලාගේ මට්ටමට එයාලාට ඇහෙන විදිහට, බොහොම චාම් ඇඳුම් ඇඳගෙන ඇවිත් වේදිකාව මත ගායනා කරනවා. නමුත් තරග වට දෙකතුනක් යද්දී ඔවුන්ගේ ඇඳුම, පෙනුම විතරක් නෙවෙයි ඔවුන් ගයන ගීතත් ඒ එ් නාලිකාවල ඒවා මෙහෙයවන පිරිස විසින් විකෘති භාවයට පත් කරවනවා. තරගයක් දිනනතුරු අනුන්ගේ ගීතයක් ගැයුවත් තරුවක් බවට හංවඩු ගහලා ඔවුන්ට ඔටුනු පලඳවලා සමාජගත කළාම ඒ දරුවෝ මේ මුළු සංගීත කලාවත්, සංස්කෘතියත්, සාදාචාරයත් විනාශ කරමින් පැරණි ශිල්පීන්ගේ ගීත ඒවායෙහි අනන්‍යතාවයවත් හෙළි නොකර තමන්ගේ ගීත වගේ ගයමින් ලක්ෂ ගණන් උපයනවා. තනිකරම මේ අපරාධය සිදු කරන්නේ මාධ්‍ය විසිනුයි. ඉන්දියාවෙත් ඔය වගේ ගායන තරු තෝරන තරග තියෙනවා. ඒවායේදී වයස අවුරුදු හතේ අටේ දරුවෝ වේදිකාවට ඇවිත් ලතා මංගේෂ්කාර්ගේ ගීත එක ස්වරයක්වත් වෙනස් නොකර ඒ අයුරින්ම ගයනවා. ඒ තරගයි, මේ තරගයි අතර තියෙන ලොකුම වෙනස ඒකයි. කවුරු වුණත් හරියට ගයනවා නම් අපි කැමතියි. ඒ අයට අපි ආශිර්වාද කරනවා. නමුත් අපේ රටේ සිද්ධ වෙන්නේ මුල් ගීතය විකෘති කරවීමයි. තරග තෝරන්න ගෙන්වන විනිසුරුවන් කියන අයත් කරන්නේ මුදලට යටවෙලා මාධ්‍ය නාලිකාවලින් සිදු කරගෙන යන සමාජ, සංස්කෘතික විනාශයේ හවුල්කරුවන් බවට පත්වීමයි. අපි ඒ කාලේ මේ ගීත නිර්මාණය කරන්න දිවා රෑ අප්‍රමාණ වෙහෙසක් දරමින් පුරුදු පුහුණුවීම් කරලා පටිගත කිරීම් කළා. ගීතයක අයිතියෙන් සියයට විස්සක් පද රචකයාටත්, ඉතිරි සියයට හතළිහ බැගින් සමව සංගීතඥයාටත්, ගායන ශිල්පියාටත් හිමිවිය යුතුයි. පද මාලාවක් තිබූ පමණින් ගීයක් බිහි වෙන්නේ නැහැ. නාදමාලාව මොනතරම් ඉහළ මට්ටමක තිබුණත් සුගායනයක් නොවුණහොත් එවැනි ගීයක් ජනප්‍රිය වෙන්නේ නැහැ. මේ සංස්කෘතික විනාශය හා අසාධාරණය ගැන මේ රජය බලයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත් වනු ඇතැයි මං සියලු ම ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, පදරචකයින් වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ආධුනික බවින් මිදුණාට පස්සේ තමන්ගේ ගීත ඉදිරිපත් කරමින් ගමනක් යා යුතුයි. වෙනත් ශිල්පීන් දුක් විඳලා නිර්මාණය කළ ගීත ප්‍රසිද්ධ තැන්වල ගයනවා නම් මුල් ශිල්පීන්ගෙන් අවසර ගැනීම අත්‍යවශ්‍යයි . මට නම් කිසිකෙනෙක් අවසර ගැනීමක් තියා දැනුම්දීමක්වත් මේ දක්වා කර නැහැ. මේ වගේ තරගවලට ඇවිත් තරු බවට පත් වුණාට පස්සේ ප්‍රසංගවලදි තමන්ගේ ම ගීත ගයන අයත් ඉන්නවා. එයාලාට අපි ආශිර්වාද කරනවා. මතු පරපුර හරි විදිහට මේ ගමන යාමයි වියයුතු වන්නේ. අනුන් රිදවලා, අනුන්ගේ දේ මංකොල්ලකාලා බැබළීම නොවෙයි. මං වගේ ම මගේ යුගයේ, මට පසු යුගයේ ශිල්පීන් මේ ඛේදවාචකය ගැන දැඩි කළකිරීමකින් සිටින බව කිවයුතුමයි. මේ විනාශය නවත්වන්න දරුවනේ. ක්ෂේත්‍රයට පිවිසෙන හා පිවිස සිටින සැමගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලනවා.”
ඒ යුග ගණනාවක් අපේ ගී රසවින්දනය වෙනුවෙන් අප්‍රමාණ දුක් පීඩා විඳිමින් අපූරු නිර්මාණ අති විශාල ප්‍රමාණයක් අපට අසන්නට විඳින්නට දුන් ආදරණීය කලාකාරිනිය, ආචාර්ය, විශාරද සුජාතා අත්තනායක ප්‍රවීණාචාර්යවරියයි. අපට සැනසීම ගෙන දෙන ගීත දායාද කළ ඇය හා ඇයගේ පරපුරට සැනසීමේ සැඳෑසමයගත කරන්නට සියලු ඉඩ සැලසීම මෙරට සියලු ප්‍රජාවගේ යුතුකම වන බව මෙයින් සිහිපත් කරමු.
තුෂාරී කළුබෝවිල