විජය කුමාරණතුංග කලාකරුවා මියගොස් වසර තිස් හතක් ගත වෙනවා. නමුත් තවමත් මේ රටේ ආදරණීය මිනිසුන්ට ඔහුව මතකයි?
“මේ අහසට පොළොවෙන් නැගෙන්නේම එක දුමාරයයි
උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානයයි”
මෑත කාලයේදී එහෙම ගීතයක් හරි ජනප්‍රිය වුණා. නමුත් විජය කුමාරණතුංග මහත්තයා ඒ සින්දුවත් බොරු කරලා තියෙනවා. ගීතයේ මතකය තියෙන්නෙ සුමානයක් කියලා කිව්වට අවුරුදු තිස් හතක් ගතවෙලා තිබුණත් තාමත් මිනිස්සුන්ට ඔහුව මතකයි. ජනතාවට ඇත්තටම ආදරය කළොත්, ජනතාව ඒ ආදරය කවදාවත් අමතක කරන්නෙ නැහැ. මේ ලෝකයේ හරිම සුවිශේෂී, හරිම දුර්ලභ පුද්ගලයෙක් විදිහට මම ඔහුව හඳුනනවා. ඔහු 1945 වසරේ නොවැම්බර් නව වැනිදා උත්පත්තිය ලැබුවා. දැන් හිටියා නම් ඔහුට වයස අවුරුදු 80 යි. නමුත් ඔහු වයස හතළිස් තුනේදී මිය ගියා. ඔහු ඉතාම සුන්දර මිනිසෙක්. සිංහල සිනමා ඉතිහාසයේ රංගධරයන් බොහෝ දෙනා ඉඳලා තියෙනවා. නමුත් මෙච්චර විශේෂ ආදරයට ලක්වුණු නළුවෙක් නැති තරම්. එය ඔහු පතාගෙන ආපු, රසිකයන් මෝහනයට පත් කරපු, සුවිශේෂී වාසනාවක්. ගීතයෙන්, තමන්ගේ රූපයෙන්, කටහඬින්, රංගනයෙන්, අවංකව කරපු දේශපාලනයෙන් සහ ජනතාවගේ ප්‍රශ්නවලට ඍජුවම සම්බන්ධ වුණු ඔහු ඇත්තටම සැබෑ මනුස්සයෙක්. කවුරුවත් යාපනයේ යන්නෙ නැති කාලයක, භයානක යුද්ධයක් තියෙන කාලයක, ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැති කාලෙක, තමන්ගේ ජීවිතය පරදුවට තියලා සොල්දාදුවන් හතර දෙනෙක් වෙනුවෙන් යාපනයේ ගිය ඔහු සැබෑ තරුණ වීරයෙක්. ඒ නිසා පරම්පරා කිහිපයක් ගියත් අදටත් මිනිස්සු ඔහුට ආදරෙයි. මරණයට පත්වුණත් හැමදාමත් අමරණීයම චරිතයක් ඔහුට සොබාදහමෙන් ලබලා දීලා තියෙනවා.
ඔහුට හරි අපූරු කොණ්ඩයක් තිබුණා. උසට සරිලන පෙනුමක් තිබුණා. ඒ කාලේ ඔහු වගේ කොණ්ඩය හදපු, ඒ විදිහට ඇවිදපු තරුණයන් අනන්තවත් හිටියා. ඔබට ඒ කාලේ මතකය කොහොමද?
ඒක ඔහුටම ආවේණික වුණු පෙනුමක්. ඔහු හරිම ආකර්ෂණීය චරිතයක්. ඒ කාලේ අපි පොඩියි. සීදුවේ පැත්තේ එක ළමයෙක් හිටියා. මට තාම මතකයි ඒ ළමයා අපේ ගේ ඉස්සරහින් යද්දී අපේ අම්මා, අපේ නැන්දලා “අන්න ලෝකල් විජේ යනවා” කියලා කියනවා. ඒ කාලේ සැලොන්වල කොණ්ඩය විජය මාමාගේ වගේ ‘කර්ල්’ කළා. විජය මාමාගේ කොණ්ඩය ‘කර්ල්’ නිසා කොල්ලෝ සැලොන්වලට ගිහින් කොණ්ඩය කර්ල් කර ගත්තා. ඒ විතරක් නෙවෙයි. විජය මාමා වගේ මල් මල් අත්දිග ෂර්ට් පවා තරුණයන් මහගත්තා. ඒ කාලේ විජය මාමාගේ ලොකු උන්මාදයක් තිබුණා. සමහරු විජය මාමා වගේ ඇවිද්දා. එතුමා ජීවතුන් අතර ඉන්න කාලයටත් වඩා ඔහු මිය ගියාට පස්සේ ඇතැම් අධ්‍යක්ෂවරුන් “විජය මහත්තයා වගේ රඟපාන්න” කියලා කියපු අවස්ථා තිබුණා. මට මතකයි විජය මාමා “ඔබටයි ප්‍රියේ ආදරේ” චිත්‍රපටයේ ඇඳපු ෂර්ට් එකම ‘ටේලර් ශොප්’ වලට කියලා මහගත්ත තරුණයන් හිටියා. ඒ කාලේ ඒ ‘ටේලර් ෂොප්’ වල වැඩ වැඩි වුණා. ඇත්තටම විජය මාමා තරුණයන්ගේ ලොකු උන්මාදයක් වුණා.
රන්ජන්... ඔබ විජය කුමාරණතුංගගේ ජීවිතයට හරි සමීපයි. මුලින්ම ඔහුව දැකපු, ඔහු හා කතා කරපු මතකයන් මොනවද?
ඔව්... එහෙම මතකයක් තියෙනවා. මගේ අම්මාගේ අම්මාගේ (ආච්චි) නම ලිලියන් කුමාරණතුංග. එයාගේ මල්ලි මයිකල් කුමාරණතුංග. එයාගේ පුතා ලලිත් කුමාරණතුංග. එයාගේ නෝනා මානෙල් කුමාරණතුංග. ඉතින් ලලිත්ගෙත් මානෙල්ගෙත් විවාහය මට හොඳට මතකයි. ඒ කාලේ මම ගොඩක් පොඩියි. අපිටත් ඒ කාලේ විවාහ උත්සවයක් කිව්වොත් ඊට වඩා සතුටක් නැහැ. අනික මේ විවාහය ඉහළින්ම ගත්ත එකක්. අම්මලා අපිට තියෙන හොඳම ඇඳුම ඇන්ඳුවා. මම විවාහ උත්සවයට ගිහින් එළියේ තව ළමයි ටිකක් එක්ක සෙල්ලම් කරමින් හිටියා. එදා ඒ මංගල්‍යයට මුළු ගමම ආවා. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාවේ කට්ටියක් පවා ඇවිත් හිටියා. එකපාරටම රතු පාට ලොකු කාර් එකක් ගෙදර මිදුලේ නැවැත්තුවා. ටික වෙලාවකින් කළු ‘ෂර්ට්’ එකක් (අත් ටිකක් නවලා) ඇඳපු කළු කලිසමයි සපත්තු දෙකයි දාගත්ත විජය මාමා කාර් එකෙන් බැස්සා. එකපාරටම “අන්න විජේ ආවා” කියලා හැමෝම එයාගේ ඉස්සරහට ගියා. එදා හැමෝම එක්කම විජය මාමා කතා කළා. ඒ කාලේ සෙල්ෆි ගන්න දුරකතන තිබුණේ නැහැ. හැබැයි හිටපු ඡායාරූප ශිල්පියාට වැඩ ගොඩයි. ඒ දිහා මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා. අනිත් කාටවත් නැති ආකර්ෂණයක්, ආදරයක් මාමාට ලැබෙද්දි මමත් ඒ විදිහට නළුවෙක් වෙන්න ආසා කළා. කවදාවත් විජය මාමා ඒ ආදරයෙන් හිස උදුම්මවා ගත්තෙ නැහැ. මට තාම මතකයි එදා විජය මාමා විවාහ උත්සවයේ එයාට ඒ සුපුරුදු නර්තන ඉදිරිපත් කළා. ඒ තරමට ඔහු හරිම නිහතමානී චරිතයක්.
එදා ගෙදර ආපු රන්ජන්ගේ හිතේ විජය මාමා ගැන තිබුණු ආසාව ආදරය වැඩි වුණාද?
මගේ විතරක් නෙවෙයි. ගෙදර ආපු හැමෝම ඔහු ගැන කතා කළා. “විජය ඇවිත් ගියා. හරි ලස්සනයි” කිය කියා හැමෝම කතා කළා. ඒ නිසා විජය මාමා ගැන මොකක්දෝ පැහැදීමක්, ආකර්ෂණයක්, ආදරයක් මගේ හිතට ආවා. ඔහු වගේ කලාකරුවෙක් වෙන්න මම ආසා කළා.
ඒ ආසාව ගැන ඔබ දවසක විජය කුමාරණතුංග එක්ක කිව්වද?
ඔව්... මගේ එකම හීනය වුණේ ඔහු වගේ නළුවෙක් වෙන්නයි. ඔහු හොඳ මහත්මා ගතිගුණ තියෙන මහත්තයෙක්. හැබැයි කට්ටිය ඉස්සරහ අපේ නෑදෑකම් පෙන්නන්න “විජය මාමා” කියලා කෑගහපු වෙලාවලුත් තිබුණා. එතකොට කට්ටිය මම දිහා බැලුවා. අපේ ආච්චිගේ මරණය දවසේ විජය මාමාත් එන බව මම දැනගෙන හිටියා. මම වේලාසනින්ම ලෑස්තිවෙලා බලාගෙන හිටියා. මුලින්ම “මම නළුවෙක් වෙන්න ආසයි” කියලා අම්මට කියලයි තිබුණේ. අම්මත් ඒකට කැමති වුණා. මට තාම මතකයි ආච්චිගේ මළ ගෙදර දවසේ මම විජය මාමා එන නිසාම මූණේ පවුඩර් ගාගෙන, කොණ්ඩය පොල්තෙල් ගාලා ලස්සනට පීරගෙන, සුදු කොට කලිසමයි සුදු ෂර්ට් එකයි ඇඳගෙන මළ ගෙදරට වෙලා බලාගෙන හිටියා. විජය මාමා පරක්කු වෙලා ඇවිත් තරුණයන් එක්ක කතා කර කර හිටියා. මාව එහෙම ගණන් ගත්තෙ නැහැ. මම එකපාරක් ඇඟේ හැප්පීගෙන ගියත් මම දිහා බැලුවෙවත් නැහැ. ටික වෙලාවකින් මම වේගයෙන් දුවගෙන ඇවිත් එයාගේ කකුලේ වැදිලා වැටෙන්න ගියා. ඒ කළේ ඕනෑකමට. හැබැයි විජය මාමා ඒක දැනගෙන හිටියේ නැහැ. විජය මාමා ටග්ගාලා මාව අල්ලගත්තා. මට තාම මතකයි මම දිහා බලපු විජය මාමා “අම්මට සිරි... මේ බ්‍රිජට්ගේ පුතා නේද? (රන්ජන්ගේ මව) මූ දැන් නළුවෙක් වගේනේ” කියලා කිව්වා. මට හිතාගන්න බැරි වුණා. නළුවෙක් වෙන්න ආසා කරපු මටම විජය මාමා එහෙම කියද්දි මගේ හිතේ මල් පිපුණා. විජය මාමා යද්දි මම පස්සෙන් ගිහින් “අනේ මාමේ මටත් නළුවෙක් වෙන්න ඕනෑ” කියලා කිව්වා. මම දිහා බලාගෙන හිටපු ඔහු “කොළඹ ඇවිත් මාව හම්බවෙන්න” කියලා ලිපිනය දුන්නා. එදා ඉඳන් විජය මාමාට මාව පුදුම හිසරදයක් වුණා. මම සල්ලි හොයාගෙන කොළඹ ගිහින් එයාගේ ගේ ඉස්සරහ හිටගෙන හිටියා. එතකොට මගේ වයස අවුරුදු දාහතක් වගේ ඇති.
ඉතින් චරිත ලැබුණද?
ඔව්... පොඩි පොඩි චරිත රඟපෑවා. විජය මාමා රඟපාපු “ක්‍රිස්තු චරිතය” මම රඟපෑවා. හැබැයි තාමත් ඒ චිත්‍රපටයෙන් මම මාව හොයනවා. ඒ වගේ පොඩි පොඩි චරිත රඟපෑවා. ඔය අතරේ සුනිල් සෝම පීරිස් මහත්තයාගේ “ඔබටයි ප්‍රියේ ආදරේ” චිත්‍රපටය වෙනුවෙන් “ඔබව චරිතයකට තෝරගෙන තියෙනවා, ඇවිත් මුණගැහෙන්න” කියලා ගෙදරට පෝස්ට් කාඩ් එකක් ආවා. ඒකෙ “මනමාලයෙක් සඳ වගේ” කියන ගීතයට මම හිටියේ. වත්තල උස්වැටකෙයියාව වෙරළේ ඒක රූගත කිරීම් කළා. ඒකෙ වීරයා වුණේ විජය මාමයි.
පහු කාලයේදී රන්ජන්ව විජය කුමාරණතුංගම කොළඹ ගෙන්වා ගත්තා නේද?
ඔව්... ඔය විදිහට මට චිත්‍රපට දෙක තුනකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විජය ධර්ම ශ්‍රී මහතා අධ්‍යක්ෂණය කළ “භාග්‍යා” ටෙලිනාට්‍යයටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ රමණි බතෝලමියුස් මාත් එක්ක රඟපෑවා. ඔය අතරේ විජය මාමාගේ ගෙවල්වලත් නිතරම ගියා. දවසක් “පුතා ඔයා කොහෙද ඉන්නේ?” කියලා මගෙන් ඇහුවා. “මම මීගමුව ඉන්නෙ. කොළඹ ආවාම යාළුවන්ගේ ගෙවල්වල ඉන්නවා” කියලා කිව්වා. “එහෙම රස්තියාදු වෙන්නෙ ඇයි? ඔයා ආච්චිලාගේ ගෙදර ඇවිත් ඉන්න” කියලා කිව්වා. ඒක මට මාර සතුටක්. මම ගෙදරින් ඇඳුම් ටිකත් අරගෙන විජය මාමාගේ අම්මගේ ගෙදර ගිහින් විජය මාමාගේ කාමරයට අල්ලපු කාමරේ නතර වෙන්න අවස්ථාව ලැබුණා. හැමදාම උදේට නැගිටලා රඟපාන්න චරිත හොයාගෙන මම අධ්‍යක්ෂවරුන් ගාවට ගියා. කන්න බොන්න ලැබෙන නිසා ලොකු ගැටලුවක් වුණෙත් නැහැ.
මීට වසර තිස් හතකට පෙර අහපු ඒ අවාසනාවන්ත ආරංචිය ඔබට ඇසුණේ කොහේදිද?
එදා මම හිටියේ ගමේ. අපේ ගමේදී රොබින් අයියාගේ ගෙදර ඉඳන් චිත්‍රපට බැලුවා. ඉස්සර ටීවී එකක්, ඩෙක් එකක් තිබුණු ගෙවල් කිහිපයයි ගමේ තිබුණේ. ඉතින් එදත් අපි හින්දී චිත්‍රපටයක් බැලුවා. එකපාරටම කවුදෝ දුවගෙන ඇවිත් “අන්න විජය කුමාරණතුංගට වෙඩි තියලා” කියලා කිව්වා. අපිව ගල් ගැහුණා. මගේ හුස්ම නතර වුණා වගේ දැනුණා. මුළු ගමම එළියට බැස්සා. අපි කට්ටියම වාහනයක් අරගෙන කොළඹ ආවා. මුළු ලංකාවෙම මිනිසුන්ගේ හදවත් එක මොහොතකට නතර වුණා වගෙයි. අහිංසක, මනුස්සකම් තියෙන ආදරණීය මනුස්සයෙක්ගේ හදවතක් එදා නතර වුණා.
• දිශානි ජයමාලි