ලාස් වේගාස් හි පැවති 40 වැනි විවාහක රූ රැජන තරගාවලියේ අනුශූරතා කිරුළ ශ්‍රී ලංකාවට පැලඳ වීමට ඉෂාදි අමන්දා පසුගිය දා සමත් වුණා.
1984 අවුරුද්දේ අපේ රටේ නම ජාත්‍යන්තරයේ බබළවමින් රෝසි සේනානායක මේ කිරුළ දිනාගත්තා. ඊට පස්සේ එවැනි තරග නියෝජනය කරන්න අපේ රටේ රුවැත්තියන් සහභාගි වූවත් නැවත රු රැජන කිරුළක් දිනාගත්තේ අවුරුදු 35කට පසුවයි. ඒ 2019 වසරේදී කැරොලයින් ජූරි විසින්. නමුත් ඇය කිරුළ අතහැර ගියා. ඉන්පසුව 2025 රූ රැජන තරගාවලියෙන් අනුශුරිය වෙන්නේ ඉෂාදි අමන්දා ලෝකයක් ඉදිරියේ ඈ දිනූ කිරුළ ගැන මෙලෙස අදහස් දැක්වූවා. "මට ඇත්තටම ගොඩක් සතුටුයි. කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නේ. මම හිතන්නේ මේ කිරුළ මට විතරක් හිමි කිරුළක් නෙවෙයි. මොකද මම ජීවත් වෙන්නේ ප්‍රංශයේ වුණාට මම නියෝජනය කළේ ශ්‍රී ලංකාව. ඉතින් මේ කිරුළ අයිති මුළු ශ්‍රී ලංකාවටමයි. මේ ජයග්‍රහණය ගේන්න සෑහෙන කැපවුණා. මම තරඟයට සහභාගි වුණේම
ශ්‍රී ලංකාවට කිරුළ ගේනවා කියලා හිතාගෙනමයි. ඉතින් 40 වැනි මිසිස් වර්ල්ඩ් තරගාවලියේදී අනුශුරියක් වෙලා කිරුළක් ගෙන්න හැකි වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මම දෙයක් කළා කියලා දැන් හිතෙනවා. ජයග්‍රහණයෙන් ලොකු සතුටක් දැනුණා. අපිට ලංකාවට එනකම් සිහියක් නැතුව තිබුණේ."
ප්‍රංශයේ ජීවත් වුණ ඔබ ඇයි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න හිතුවේ?
මට ඕනෙ වුණා ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න. මම ඉපදුණේ ශ්‍රී ලංකාවේ. මගේ ගෙවල් තිබුණේ කිරිබත්ගොඩ. මම හතර වසර වෙනකම් කිරිබත්ගොඩ
විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ප්‍රංශයේ පදිංචියට යනවා. අම්මයි තාත්තයි, මමයි, මල්ලියි ප්‍රංශයේ හිටියේ. මගේ අධ්‍යාපන කටයුතු, මගේ විවාහය එතකොට මම මවක් වීම ඒ සියලු දේ වුණේ එහෙදී. මගේ පෙනුම සහ සමේ පැහැය ලාංකිකයි. ඉතින් ඒ දේවල් එක්ක තමයි තරගයට ඉදිරිපත් වුණේ.
ඇයි මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න හිතුවේ?
මම පොඩි කාලේ ඉඳලම විශ්වාස කළා මම අනිත් අයට වඩා වෙනස් කියලා. මොකද ඒක මගේ පවුලේ අය සහ නෑදෑයන්ටත් තේරුණ දෙයක්. පොඩි කාලේ ඉඳලම කිසිම හේතුවක් නැතුව එයාලා මට නිතරම කිව්වා ඔයා මිස් ශ්‍රී ලංකා යන්න, මිස් වර්ල්ඩ් යන්න කියලා. මම වයස අවුරුදු 16 දී තමයි හම්බ කරන්න පටන් ගත්තේ. ගොඩක් වෙලාවට මම තනියමමයි තීරණ ගත්තේ. හැබැයි ඒ තීරණ කවදාවත් වැරදිලා නැහැ. මුලින්ම මම ස්තූති කරන්න ඕනේ මගේ මවුපියන්ට. මට මෙච්චර වර්ණනා ලැබෙන්නේ ඔවුන් නිසා. මොකද ලංකාවේ සංස්කෘතිය, ලංකාවේ භාෂාව ඒ හැමදේම මට අමතක වෙන්න දුන්නේ නැහැ. මගේ ආගම බුද්ධාගම. මම මොන දෙයක් කළත් ආගම අදහලයි වැඩ පටන් ගන්නේ.
ලස්සන කියන්නේ රූපය විතරයක් ද?
ලස්සන කියන දේ පිටතින් වගේම ඇතුළතිනුත් වෙන්න ඕනේ. මම ලස්සනට අඳින්න කැමැති කෙනෙක්. මම ලස්සනට ඉන්නවා දකින සමහර අය මට කිව්වා 'මැරි කළාම බලන්නකෝ' කියලා. මැරි කළාට පස්සෙත් මම ඒ විදිහටම ලස්සනට ඉද්දි කට්ටිය කිව්වා 'බබෙක් ලැබුණාම බලන්නකෝ' කියලා. මම ඒ අයට ඔප්පු කරලා පෙන්නුවා විවාහ වෙලා දරුවන් හැදුවා කියලා ගැහැනියක් වෙනස් වෙන්නේ නැහැ කියන එක. මට මම වෙලා ඉන්න හස්බන්ඩ්ගෙන් වගේම මගේ දරුවගෙනුත් සහයෝගය ලැබුණා. විවාහයෙන් පස්සේ තමයි මගේ මාස්ටර් එකත් අවසන් කළේ. බබා ලැබෙද්දී මම බැංකුවක ස්ථිර රැකියාවක් කළා. බබා ලැබුණට පස්සේ රැකියාවෙනිනුත් අයින් වෙලා සෝෂල් මීඩියා හරහා මගේම දෙයක් පටන් ගත්තා. මම ප්‍රංශයේ සෝෂල් මීඩියා කළමනාකාරිනියක් විදිහට වැඩ කරනවා. මම බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරනවා. ඒ වගේම මම භාෂා පරිවර්තකවරියක්. ඊට අමතරව මේක් අප් ආටිස්ට් කෙනෙක්.
ඔබේ ගු රුවරයා චන්දිමාල් ජයසිංහගෙන් ඔබ ලැබුණු සහයෝගය කොහොම ද?
තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ විදිහට කටයුතු කළේ චන්දිමාල් ජයසිංහ. මාගේ ඇඳුම් පැලඳුම්, ආභරණවල ඉඳලා හැමදේම හොයලා බලලා කළේ ඔහු. පිරිමියෙක් විදිහට ඔහු, ගැහැනියක්ව ලස්සන කරන්න හරි ආස කෙනෙක් සහ ගැහැනියව ලස්සන විදිහකට දකින කෙනෙක්. ඔහු මේ තරගාවලිය පුරාම මාව පරෙස්සම් කළා. මම ඒකට ඔහුට හිස නමන්න ඕනේ. එදා මම ස්ටේජ් එකට නැග්ගෙත් ඔහුට දණ ගහලා වැඳලා. රුක්මල් සේනානායක නිරූපණ වින්‍යාස පුහුණුකරු විදිහට හිටියේ. මට ඇවිදින එකේ ඉඳලා හැසිරෙන්න ඕනේ විදිහ කියලා දුන්නේ ඔහු. මගේ ඇඳුම් නිර්මාණය කරපු අයවත් මතක් කරන්න ඕනේ. චන්දිමාල් සර් ඇතුළු මේ කණ්ඩායම නොහිටින්න අද කවුරුත් මාව දන්නේ නැති වෙන්නත් පුළුවන්.