සංගීත කේෂ්ත්‍රය තුළින් කුඩා අවධියේ සිට දස්කම් පාමින් රංගන ජීවිතයට පිවිසි ඇය මේ වන විට වේදිකාව තුළත් පුංචි තිරය තුළත්, රිදී තිරය තුළත් ඇයගේ ප්‍රතිභාන්විත රංගනයේ දක්ෂතාවන් පිළිබිඹු කොට හමාරයි. ඇය පණපෙවූ භූමිකාවන් අමතක කළ නොහැකි තරමටම ප්‍රේක්ෂක හදවත්වලට සමීපය. එදා මෙදා තුර රංගනයෙන්, ගායනයෙන් කලා කේෂ්ත්‍රය වර්ණ ගැන්වූ ඇය අන් කවරකුත් නොව ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණයි. ඇය මෙවර හදගැස්ම සමඟ රසබර කතාබහකට එකතු වුණේ මෙලෙසින්.
කොහොමද මේ දිනවල වැඩකටයුතු?
මේ දිනවල ගොඩක් කාර්යබහුලව තමයි ජීවිතය ගෙවෙන්නේ. නාට්‍ය තුනක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව නාට්‍ය හා රංග කලා විෂයට ක්ලාස් කරනවා. ඒ විෂය හදාරන සිසුන්ට. වේදිකා නාට්‍ය වැඩකටයුතුත් මේ දවස්වල තිබෙනවා. ඒ සියල්ල අතරේ මම මගේම ටෙලි නාට්‍යයක් සඳහා පිටපතක්ද ලියමින් ඉන්නවා.
පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයේ කණ්ඩායමත් සමඟ පසුගියදා ඔබේ උපන්දිනය සැමරුවා. ඒ සොඳුරු අවස්ථාව ගැන කතා කරමුද?
මගේ උපන්දිනය යෙදිලා තිබුණේ ජනවාරි 15 වැනිදා. මට දැන් වයස අවුරුදු 64ක්. ජනවාරි 16 වැනිදා තමයි පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය කණ්ඩායම මට මේ වගේ උපන්දින සැමරුමක් ලබා දුන්නේ. ඇත්තටම මම එවැනි උපන්දින සැමරුමක් බලාපොරොත්තු වුණේ නැහැ. කොහොමහරි ඔවුන් මගේ උපන්දිනය පිළිබඳ දැනගෙන කේක් ගෙනත් මාව පුදුම කළා. එදා හරිම සතුටුදායක විධියට මගේ උපන්දිනය සමරන්න ලැබුණා. පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය කණ්ඩායම මට ඒවගේ ආදරයක් ලබාදීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.
මේ දිනවල ඔබ රංගනයෙන් දායකවන අනෙක් නිර්මාණ ගැන කතා කරමු?
මේ දිනවල තවත් නාට්‍ය තුනක රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. හිරු ටීවී නාළිකාවේ පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයෙත් අයි.ටී.එන්. නාළිකාවේ සති අන්තයේ විකාශය වන ආර්.ඒ.ටී. ටෙලිනාට්‍යත් වගේම සති අන්තයේ රාත්‍රි 8.30ට විකාශනය වන ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයෙත් රංගන කටයුතුවලට දායක වෙනවා. මේ නාට්‍ය තුනටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂයන්ගෙන් මේ වගේ ආදරයක්, ගෞරවයක් ලැබීම මට හරි ආඩම්බරයක්.
ඔබේ රන්දුණු ප්‍රඩක්ෂන් යුටියුබ් නළිකාව ගැනත් අපි රසිකයන්ට කියමු.
රන්දුණු ප්‍රඩක්ෂන් යුටියුබ් නාළිකාව මගේම නිර්මාණයක්. මේ යුටියුබ් නාළිකාව 2023 තමයි ආරම්භ කළේ.
මෙහි නිර්මාණ සඳහා පිටපත් ලියන්නේ මමයි. ඒ වගේම මගේ මේ නිර්මාණ තුළින් සමාජයට ආදර්ශයක් වෙන විදිහට තමයි නිර්මාණය කරන්නේ. මේ වන විට එහි වීඩියෝස් ගණනාවක් තිබෙනවා.
ඔබ රංගන කේෂ්ත්‍රයට පැමිණෙන්නේ සංගීත කේෂ්ත්‍රය හරහා. ඒ ආපු ගමන්මඟ ගැන මතක් කිරීමක් කරමුද?
පාසල් යන අවධියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආධුනික ගී වැඩසටහනකට සම්බන්ධ වී ජයග්‍රහණය කරන්න හැකි වුණා. ඉන්පසුව මගේ සංගීත ගුරුවරයා වන බන්දුල විජේවීර මහතා සමඟ ජනගායනා වැඩසටහන් ඉදිරිපත් කරන්නත් හැකි වුණා. එතුමා සමඟ ගීතයක් නිර්මාණය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ගුවන් විදුලිය හරහා, පසුව රංගන කටයුතුවලට පිවිසීමත් සමඟ මට ගායනය මඟහැරුණා. සප්ත ස්වර වැඩසටහන හරහා තමයි මුලින්ම මම රූපවාහිනි වැඩසටහන්වලට යොමු වන්නේ. 2015 වසරේ මගේම ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළා චිත්‍රපට ගීත පමණක් ගායනා කරමින්. දැනටමත් මම සංගීත ප්‍රසංගවල පැරැණි ගීත ගායනා කරනවා. නමුත් මට හරි දුකයි සංගීත කේෂ්ත්‍රය මඟහැරුණු එකට. මොකද මට රංගනයට වගේම ගායනයටත් හැකියාවක්, දක්ෂතාවක් තිබෙනවා.
මෑත කාලයේදී විකාශය වූ ටෙලිනාට්‍යය හරහා ඔබ වඩාත් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
2006 වසරේදී හා 2007 වසරේදී හොඳම සහාය නිළියට සම්මාන හිමි වුණා. ඒ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ ටෙලිනාට්‍ය නිර්මාණයක් වන ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ගල්පිළිම හා බොල්පිළිම නාට්‍ය සඳහා එදා වගේම අදටත් මට ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. මේ දිනවල මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය තුළිනුත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඬුව ලැබෙනවා. ප්‍රතිචාර අතර මගේ රංගනය තාත්විකයි කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.
ඔබ පුංචි තිරයේ ටිකක් සැර පරුෂ චරිත කළාට, ඇත්ත ජීවිතයේ එහෙම කෙනෙක් නෙවෙයි නේද?
මම හරි විනෝදකාමී චරිතයක්. රූපවාහිනිය තුළින් ප්‍රේක්ෂකයාගේ දකින චරිතවලට වඩා මම හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ බව මාව ළඟින්ම ඇසුරු කරන පිරිස හොඳින්ම දන්නවා. නමුත් මම මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරනවා.
එකම වර්ගයේ චරිතවලට ඔබව සීමාවෙලා කියලා හිතෙන්නේ නැත්ද?
ඇත්තටම ආසාධාරණයක්. මම රංගන කේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 42ක් වෙනවා. දවසින් දවස අපි වයසට යනවා. මට බොහෝ විට රංගනයෙන් දායක වීමට ලැබිලා තිබෙන්නේ අම්මාගේ චරිතය. තරුණ වයසේදී අපිට වෙනස් චරිත හැකියාව තිබුණත් එවැනි අවස්ථා ලැබුණේ නෑ. ඒ ගැන පොඩි කනගාටුවක් තිබෙනවා. චරිත ලබාදෙන විටත් ඉල්ලනවා මට වෙනස් චරිත රඟපෑමට අවස්ථාව ලබාදෙන්න කියලා. මේ දිනවල අයි.ටී.එන්. නාළිකාවේ විකාශය වන ආර්.ඒ.ටී. නාට්‍යයේ දේවාලයක් කරන කෙනකුගේ චරිතයත් මම හරි ආසාවෙන් කරනවා. වයසට හරියන චරිත රඟපෑමේ හැකියාව තිබුණට නියමිත කාලයේ නියමිත චරිත නොලැබීම ගැන කණගාටුවක් ඇත්තටම තිබෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
ජාතික රූපවාහිනියට පෝය නාට්‍ය 12ක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නාට්‍යවල පිටපත් රචනය කරන්නේ මම. අධ්‍යක්ෂණය මගේ සැමියා වන ජයන්ත මුදලිගේ විසින් සිදු කරනු ලබනවා. ශුද්ධ පත්තිනි කියලා අලුත්ම කතාවක් නිර්මාණය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.