![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0QSljiV7xCw362iimeI3fPvdb6BwClqM5voo0Lh-m_8Pmuq6xwGUz0LXhUioPXXSDPn_I8iAmXklC19NlVh4HETQ0QF2M2aMX4s5G-XS_A7G98hGWy_gKMGIl1sbTeSol5tIsmeSyEyYYjEo_qpKFAff4MAGCDnk0EwnGaYRYU43kbiICK9_hp6mxtjnE/s16000-rw/032118530.jpg)
ප්‍රේමය සොයා යන චාරිකාවේ ගිමන් හරිද්දී අපට සොඳුරු ප්‍රේමණීය මිනිසුන් මුණගැසේ. ඔවුන් සතු ප්‍රේමය මතුපිටින් සිපගැන්මද පතුලක කිමිදී සොයා යාමද ප්‍රහර්ෂය දනවන බැව් නොකියාම බැරිය. මෙවර අප තවත් චලන රූ සිත්තරකු අද්දරය. ඔහු නමින් බුද්ධික ජයරත්නයි. ඔහු ප්‍රේමයේ ගැඹුර කියවා ගන්නට යත්න දරන්නකු බැව් සැක නැත.
ප්‍රේමය මුණගැසුණු, ප්‍රේමය හඳුනන මිනිසකුගෙන් අප පළමුව විමසා සිටියේ “ප්‍රේමය” නම් වදන සවන් වැකුණු විට, ඔහු සිත ඇතිවන හැඟුම් මාත්‍රය පිළිබඳවයි.
“මේක මම දකින විදිහ. මේ ප්‍රේමය පිළිබඳ සමස්ත නිර්වචනය නොවෙන්න පුළුවන්. ප්‍රේමය කුසගින්න උදෙසා කෑම ටික සපයා ගැනීම හා සමානයි. මේ හැමදෙයක්ම තමන් උදෙසා, තමන් පිනවීම උදෙසා, තමන්ගේ සංතෘෂ්ටිය උදෙසා කරන දෙයක්. ඒත් සියල්ල අනෙකා උදෙසා කියලා අපි පෙන්නන්න හදනවා. තමන් උදෙසා කරන දෙයක් වුණත්, ඒක හරි සුන්දරයි.”
ප්‍රේමයේ මිහිරියාව පිළිබඳ නොව ප්‍රේමයේ ගැඹුර පිළිබඳ කියවා ගැනීමකින්ම අප සංවාදය ආරම්භ විය. බුද්ධික කී ලෙසින් තමන් උදෙසා වන ප්‍රේමයට මෙතරම් සෞන්දර්යක්, මිහිරියාවක් ලෝකයා ගලපා ඇත්තේ කෙසේද? අපගේ මීළඟ පැනය ඉදිරිපත් වූයේ ඒ වෙනුවෙනි.
“යමක් දීම තුළ සංතෘප්තියට පත්වෙන්නේ, ඒක ලබාගන්න කෙනා ඒක භුක්ති විඳීම හරහානෙ.”
ප්‍රේමයේ සතුට, මිහිරියාව උපදින්නේ එය අනෙකාට ලබාදෙන ආකාරය මත බැව් බුද්ධික කී පැහැදිලි කිරීමෙන් අපට හැඟී ගියේය. බොහෝ විට ප්‍රේමය පුද දෙන විට ප්‍රේමය ලබන අය පෙරළා දක්වන ප්‍රතිචාරයද අපගේ සතුටට හෝ දුකට හේතු වන බව මෙම සංවාදයේදී පැහැදිලි වන්නට විය.
“ප්‍රේමයේදී සුන්දර වෙන්නේ එය ලබා දෙන්න ඇතිවෙන සිතුවිල්ලමයි. අපි මෙතනදී පැක්ට්‍රිස් කරන්න ඕනෑ අනිත් කෙනා ඒක මොන විදිහට භුක්ති වින්ඳත්, තමා විසින් ලබා දෙන දෙය පිරිසිදු නම්, නැවත යමක් බලාපොරොත්තු නොවෙනවා නම් ප්‍රේමය සුන්දර වෙනවා.”
දරුවන් වෙත දෙමවුපියන් පුද දෙන දාරක ප්‍රේමය මෙවන් වූම ප්‍රේමයක් බව බුද්ධික ජයරත්න නම් වූ සොඳුරු මිනිසාගේ හැඟීමයි.
ප්‍රේමය, සොඳුරු බව, පරිපූර්ණ බව පිළිබඳ ලෝක සම්මතයේ බොහෝ දෙනා එළැඹී සිටින විශ්වාස වෙයි. එහෙත් ප්‍රේමය අත්පත් කර ගැනීමකින්ම පරිපූර්ණ වන්නක් නොවන බව අප සහෘදයා කියා සිටී.
“ප්‍රේමය, සුන්දරත්වය නිර්මාණය වෙන්නෙ එය පෙරළා යමකුට ලබා දෙන්න පහළවෙන සිතුවිල්ල ඇතුළෙමයි. සෞන්දර්යවාදී විදිහට ප්‍රේම කරලා, ප්‍රේමය දිනලා ඒ ප්‍රේමය තමන්ගේ කරගෙන ඒ ප්‍රේමයත් එක්ක පවුල් කන තැනදි තමයි ප්‍රේමය සුන්දර වෙන්නෙ කියලා අපි හිතනවා. ඒත් මම හිතන්නෙ ප්‍රේම කරන්න ඇතිවෙන සිතුවිල්ලම හරි සුන්දරයි. එතැන තියෙනවා සෞන්දර්ය.”
හුදෙකලාවේ තනි තනිව ඉපදුණද විටෙක ප්‍රේමය සබඳතා නම් හුයෙන් ගැට ගැසේ. ප්‍රේමය එකිනෙකා හා සමඟ සබඳ වූ විට පෙර ලෙසින්ම පවත්වාගෙන යාම අභියෝගයක් බව බොහෝ දෙනකුට අති පොදු හැඟීමකි. ඒ නිසාම අපි අපේ සංවාදයේ ඊළග අදියර ප්‍රේම සබඳතා නමින් වෙන් කළෙමු.
“ප්‍රේමය රැකගන්න පුළුවන්. අපි දැනගන්න ඕනෑ මගේ ප්‍රේමයම නෙවෙයි අරයගේ ප්‍රේමය කියලා. එයාගේ ප්‍රේමය නිල් පාටයි, මගේ ප්‍රේමය කොළ පාටයි. මට බලාපොරොත්තු වෙන්න බෑ මගේ ප්‍රේමය කොළ පාට වීම නිසා, එයාගේ ප්‍රේමයත් කොළ පාට විය යුතුයි කියලා. එයාගේ ප්‍රේමයේ පාට එයාගේ පාටට තියලා, ඒක මගේ පාට කරන්න උත්සාහ නොකර ඉන්නවනම්, ඒ ප්‍රේමය රැකගන්න පුළුවන්.”
ඒ ඉතා ප්‍රේමණීය සෞන්දර්යාත්මක වර්ණවත් පැහැදිලි කිරීමකි. ප්‍රේමයේ වර්ණ පරිස්සම් කරගත යුතු බවත්, ප්‍රේමයේදී වර්ණ මකාලන්නට උත්සාහ නොදැරිය යුතු බවත් මෙහිදී අපට අවබෝධ විය.
“මගේ වෙන්නම ඕනෑ නැහැ මම ප්‍රේම කරන්න. අයිති කරගෙන ගෙදර ගේනවද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නෙ. අයිති කරගැනීමම නෙවෙයි ප්‍රේමය රැක ගැනීම කියලා කියන්නෙ.”
ප්‍රේමයේ දැකගත හැකි අසීමාන්තික කොන්දේසි විරහිත බව බුද්ධික තවත් ගැඹුරට ඇවිද යන්නට වූයේය. ප්‍රේමයේ විශ්වීය ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් ප්‍රේම කළ යුතු බව ඔහුගේ පැහැදිලි කිරීම්වලින් අප වෙත ගම්‍ය විය.
කෙසේ වෙතත් අසීමාන්තික කොන්දේසි විරහිත ප්‍රේමය නමින් බැඳුණු සංස්කෘතික මෙන්ම නෛතික වැට කඩුලු අප බුද්ධිකගෙන් ප්‍රශ්න කළේ මින් අනතුරුවයි.
“අපිට යම්කිසි සංස්කෘතියකට එකඟ වෙන්න වෙනවා. නමුත් ඒකෙන් කියැවෙන්නෙ සංස්කෘතිය ඇතුළෙ තියෙන සියලුම දේ අපි පිළිගන්නවා කියන එක නෙවෙයි. ඒත් ඒක තමයි ජීවත්වීමේ චැලෙන්ජ් එක වෙන්නෙ.”
ඒ ඒ සංස්කෘතීන්වලට අනන්‍ය හැඩතල තිබෙන බවත්, ඒ තුළ ජීවත් වීමේදී මිනිසුන් ඊට අනුගත වන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
තමන් හිත බැඳුණු කෙනකු එකවර සිප ගැනීමට හෝ අනවසරයෙන් ඔහු කරා එළැඹීමට පවතින නීතිමය බාධා අසාධාරණ යැයි කීමට නොහැකිය. සැබවින්ම නීති සංස්කෘතික සීමා ප්‍රේමය මත බලපැවැත්වේ. බුද්ධික පිළිගන්නා අතරේම, ප්‍රේමයේ අසීමාන්තික බව සහ කොන්දේසි විරහිත බව සපථ කර සිටී.
“අපිට සංස්කෘතියට, නීතිමය රාමුවට එකඟ වෙන්න සිද්ධ වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එහෙම සීමාවල අපිට ඉන්න සිද්ධ වෙනවා. නමුත් මම පිළිගන්න විදිහට ප්‍රේමය කියන්නෙ අසීමාන්තික කොන්දේසි නොමැති දෙයක්.”
මිනිසුන් ලෙස අප සැවොම ප්‍රේමය විඳ ඇතුවා සේම ප්‍රේමය නිසා විඳවුම්ද දරා ඇති බව සත්‍යයකි. ජීවිතය පුරාවට හමුවූ ප්‍රේමණීය මිනිසුන්, ප්‍රේමණීය මතක සිහිකොට අවසන් පැනය අප බුද්ධික වෙත යොමු කළෙමු. අප ඔහුගෙන් විමසා සිටියේ, අවසානයේ ප්‍රේමය පිළිබඳ හැඟීමයි.
“ප්‍රේමය ගැන කියන්න තියෙන කෙටිම උත්තරේ තමා ප්‍රේමය සදාතනිකයි. ප්‍රේමය සදාතනික සත්‍යයක්.”
ප්‍රේමය පිළිබඳ වූ අප සංවාදය එතරම් කෙටියෙන් අවසන් කළ හැකිද? බුද්ධික අපට හිතන්නට තවත් යමක් ඉතුරු කළේ මෙපරිද්දෙනි.
“ප්‍රේමයට මොන මොන නිර්වචන තිබුණත්, තමන්ගේ සතුට කියලා කිව්වත්, අනෙකාට පුද දෙනවා කිව්වත්, අවසානයේ සිද්ධ වෙන්නෙ තමන් පිනවීමමයි. ඒක ලැබුණු ප්‍රේමය තුළින් සිද්ධ වෙනවා. නොලැබුණු ප්‍රේමය විරහව ඇතුළේ සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රේමය කියන්නෙ තමන් පිනවීමමයි.”
• චමිඳු නිසල්