ප්‍රේක්ෂකයන්ට බොරු කරන්න බෑ- අනුරාධා එදිරිසිංහ

 


අනුරාධා එදිරිසිංහ නම් දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය තමන්ටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟාගත් රංගන ශිල්පිනියක් බව නම් නොරහසක්. ඇය පුංචි තිරය ඔස්සේ රසික හදවතට සමීප කළ මතක සටහන් අපූරුයි. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.


මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ හරහා දකින්න නොලැබෙන්නේ විශේෂ හේතුවක් මතද?


විශේෂ හේතුවක් නම් නෑ. මියුසික් වීඩියෝ කීපයකට නම් රංගනයෙන් දායක වුණා. ගයන්ත විජේරත්න මියුසික් වීඩියෝ එකකට හා හර්ෂ ධනෝෂ්ගේ මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී දකින්න පුළුවන්. මම රංගන දායකත්වය ලබාදුන් ටෙලි නාට්‍යයක් නම් මේ මොහොතේ විකාශය වන්නේ නැහැ. මට ලැබුණු සමහර ස්ක්‍රිප්ට් සමහර හේතූන් මත භාරගන්න නොහැකි වුණා. ඒ වගේම දින සම්බන්ධව ගැටලු මතු වුණා. ඉතින් ශාන් ෆර්නෑන්ඩෝ ඩිරෙක්ට් කළ ලස්සන නිර්මාණයක් කළා. ඒ නිර්මාණය තමයි ළඟදි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ.


ජනප්‍රියත්වය රඳවාගන්න සමාජ මාධ්‍ය හොඳ වේදිකාවක්. නමුත් ඔබ එතරම් සමාජ මාධ්‍ය තුළ සක්‍රිය නැහැ?


මම සමාජ මාධ්‍ය තුළ සක්‍රිය නෑ කියන්නත් බෑ. මට යම් වැඩකටයුත්තක් ලැබුණොත් සමාජ මාධ්‍ය තුළ මම ඒ දේවල් කරනවා. ඒ වගේම මගේ යූටියුබ් චැනල් එක තිබෙනවා. ඒ හැමදෙයක්ම අපි කරන්නේ අපිට යම් බ්‍රෑන්ඩ් එකකින් කතා කළොත් තමයි. ඒ කතා කළ දේවල් මම කරලා තිබෙනවා. නමුත් මට යම් වැඩකට කතා කළාම ඒ දේ හිතට දැනිලා තමයි කරන්නේ සහ ඒ දේවල් මම යූස් කරනවා නම් හෝ යූස් කරලා බැලුවානම් තමයි රෙකමන්ඩ් කරන්නේ. මම අලෙවිකරණ අරමුණු මත දේවල් රෙකමන්ඩ් කරන්නේ නෑ. ඒ වගේම හැම දෙයක්ම ඉතින් ශෙයාර් කරගන්නෙත් නෑ.


ලාංකේය ප්‍රේක්ෂකයන් දැන් දැන් ගුණාත්මකභාවයේ කලා නිර්මාණ වැලඳ ගන්න බවක් පෙනෙනවා?


දැන් නෙවෙයි බොහෝ කාලයක ඉඳන් අපට ඒ දේ දකින්න ලැබෙනවා. ඒ දේ ඉතාම හොඳයි. මම හැමදාම කියන්නේ ප්‍රේක්ෂකයා හරිම බුද්ධිමත් කෙනෙක්. ප්‍රේක්ෂකයාට බොරු කරන්න බෑ. අපි විෂය ගැන අධ්‍යයනය කරන තරමටම ඒ ඒ කරුණු කාරණා ඔස්සේම ප්‍රේක්ෂකයා අධ්‍යයනය නොකළත් ප්‍රේක්ෂකයා කියන්නේ හොඳ දැක්මක් තිබෙන කෙනෙක්. ඒ දේ නිර්මාණකරුවන්ටත් හොඳයි. මොකද ප්‍රේක්ෂකයාට බොරු කරන්න බැහැනේ. ප්‍රේක්ෂකයා ගුණාත්මකභාවයේ නිර්මාණ තමයි නැරඹීමට තෝරා ගන්නේ.


දක්ෂ ටෙලි නාට්‍ය රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට සිනමාව තුළ ඉඩකඩ සීමිත වීම ගැන ඔබේ අදහස?


ඒ දේ ගැන මම හිතන්නේ සිනමා කර්මාන්තයේ යෙදෙන අය විධියට ඒ අයට හොඳ දැනුමක් වගේම දැක්මක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඔවුන්ගේ නිර්මාණකරණය තුළ මේ අය තමයි ඒ සඳහා ගැළපෙන්නේ සහ මේ අය තමයි ගැළපෙන්නෙ නැත්තේ කියන දේ තේරුම් ගන්න හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අධ්‍යක්ෂවරු තීරණය කරලා ගන්න තීරණ හරිම තීරණ වෙන්න ඇති කියලා තමයි මම හිතන්නේ. මම චිත්‍රපට කර්මාන්තයේ යෙදිලා නැහැනේ. ඒ නිසා මට මේ දේ හරි මේ දේ වැරැදියි කියලා කියන්න බැහැ. ඒ අය ඒ දේවල් කරන්නේ අත්දැකීම් හරහා නේ.


ඔබ ඔබටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟා ගත් රංගන ශිල්පිනියක්?


මම මුලින්ම වැඩකටයුතු කරද්දී අනෝජා වීරසිංහ මහත්මියගේ අභින කියන පාඨමාලාවට සම්බන්ධ වුණා. ඒ වගේම කාගෙන් හරි දෙයක් දැනගෙන අහගන්න තිබෙනවා නම්, ඒ පුද්ගලයා කවුරු වුණත් මොන තැනක ඉන්න කෙනෙක් වුණත් දෙයක් ඉගෙන ගන්න තිබෙනවා නම් මම ඒ දේ අහලා දැනගන්නවා. අපට තේ හදලා දෙන කෙනාගෙන් වුණත් මට මගේ රංගනයට දෙයක් ගන්න තිබෙනවා නම් මම ඒ දේ අහනවා සහ මට ලැබෙන ස්ක්‍රිප්ට් එක ඇතුළේ මට තිබෙන හෝම් වර්ක් ටික කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම මට නොතේරෙන දේවල් මගේ අධ්‍යක්ෂවරයාගෙන්, පිටපත් රචකයාගෙන් අහන්න උත්සාහ කරනවා. ඒ චරිතය තුළ මම කියන කෙනාව පැත්තකින් තබා චරිතය ස්වාභාවිකවම ගොඩනැඟෙන තැනට එනතෙක් හෝම් වර්ක් ටික කරන්න උත්සාහ කරනවා. හැමෝටම ආවේණික වුණු ඇක්ටින් ස්ටයිල් එකක්‌ තිබෙනවා.මම ඉතින් ඒ වගේ දේවල් තමයි ඒ සඳහා කරන්නේ සහ මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇක්ට් එක ඇතුළේ ඇක්ට් නොකර ඉන්න තමයි.


දක්ෂ ලෙස එක් චරිතයක් නිරූපණය කළ පසු එවැනිම චරිතවලට කොටුවීම පිළිබඳව ඔබේ අදහස?


ඔව්. ඒ දේ හැමවෙලේම වෙනවා සහ මටත් ඒ දේ විධියටම වෙනවා. ඉතින් වෘත්තීයම වශයෙන් රංගන ශිල්පිනියක් විධියට සමහර වෙලාවට ආර්ථිකමය පැත්තෙන් එය ගැටලුවක් වුණත් මම බොහෝ වෙලාවට එහෙම වෙද්දී ඒ අයගෙන් මේ චරිතයත් අර වගේම නේද කියලා අහලා මම බෑ කියපු අවස්ථාත් තිබෙනවා. මට බෑ කියන්න තරම් නිර්මාණ බොහොමයක චරිත බොහොමයකට මම දායක වෙලා නෑ. හැම දවසකම මට ලැබුණු නිර්මාණවල අලුත් චරිත හම්බවුණා. ඉතින් ගොඩාක් රිජෙක්ට් කරන්න තරම් වැඩ ගොඩාක් කරපු කෙනෙක් නෙවෙයි මම. සමහර වෙලාවට එක හා සමාන චරිත ලැබෙද්දී මම භාර නොගැනීමත් හේතුවක් වෙන්න ඇති මම දිගටම නිර්මාණවල නොපෙනී ඉන්න. ඇත්තටම මම හිතන්නේ මගේ හිතට දැනෙන්නෙ නැති දෙයක් කරලා මට සතුටු වෙන්න බැහැ කියලා මොකද ප්‍රේක්ෂකයා සතුටු වෙන්න කලින් මම මගේ නිර්මාණය ගැන සතුටු වෙන්න ඕනෑ. මම ඒ දේ ගැන සතුටු වුණොත් තමයි මම හිතන්නේ ප්‍රේක්ෂකයාටත් සතුටු වෙන්න පුළුවන් වන්නේ.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


විශේෂයෙන් නම් යමක් කියන්න නැහැ. ළඟදීම බලන්න පුළුවන් නිර්මාණ විධියට තිබෙන්නේ කලින් කියූ මියුසික් වීඩියෝ දෙක තමයි. ඒ දෙක හරි ලස්සන නිර්මාණ දෙකක් වෙයි. ඒ වගේම ශාන් ෆර්නෑන්ඩෝ ඩිරෙක්ට් කළ ලස්සන නිර්මාණයකුත් ඉදිරියේදී බලන්න පුළුවන්. ඒ හැරුණු විට මෑතකදී ටෙලි නාට්‍යවල වැඩකටයුත්තක් නම් වෙන්නේ නෑ. ළඟම තිබෙන අප්ඩේට්ස් ඒ දේවල් තමයි. මොනවාහරි අලුත් දෙයක් තිබුණොත් මම කියන්නම්.


රුවිනි අමරකෝන්



Previous Post Next Post