මම ආදරේ බෙදන සංගීතකාරයෙක් - චානුක සන්දීප්

 



ළමා නළුවෙක් විදියට අපි හඳුනාගත් චානුක සන්දීප් දැන් කඩවසම් තරුණයෙක්. අද වෙද්දී නම් චානුක සන්දීප් රංගනයෙන් වගේම සංගීතයෙන් සිය දක්ෂතා පෙන්නුම් කරමින් කලාවේ දිගු ගමනක සලකුණු සනිටුහන් කරමින් ඉන්නවා. මෙවර රාජ්‍ය නාට්‍යය උලෙළෙත් හොඳම සංගීතයට හිමි සම්මානය දිනා ගන්නෙත් චානුක සන්දීප්. ඒ නිසාම ඔහුට සුබ පතන ගමන් රසඳුන කතාබහකට සම්බන්ධ කර ගත්තා.


මේ අවුරුද්දේ සහ ගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උෙලළේ හොඳම සංගීතය සම්මානය ඔබ හිමිකර ගන්නවා. මොකද හිතුනේ සම්මාන හිමි වෙද්දී?


මේ හොඳම සංගීතය සඳහා ඇගයීම් ලැබුණු තුන් වැනි රාජ්‍ය සම්මානය. අපි මහන්සියෙන් එකතු වෙලා කරන නිර්මාණයක් ඇගයීමට ලක්වීම ගැන හදවතින්ම මට සතුටුයි. ඒ නිර්මාණ ඇතුළේ අපේ ආදරේ අපේ කැපකිරීම්, දරාගැනීම්, මට ලැබුණු ඒ සම්මානවලට වඩා බරයි. නාට්‍ය කියන්නෙම ආදරෙන් බර සාමූහික ක්‍රියාවලියක්.


ඔබේ මේ සංගීත ගමන පටන් ගන්නේ කොහොමද?


මගේ තාත්තා සංගීත ගුරුවරයෙක්. මගේ අම්මා නර්තන ගුරුවරියක්. මගේ සීයා රංගන ශිල්පියෙක්. මං ඉපදෙනකොටත් අපේ ගෙදර කලායතනයක් තිබුණා. “මියුරඟ”කලායතනය. එයින් ලැබුණු පන්නරයෙන් මම මගේ සංගීත ගමන පටන් ගත්තා.


සංගීතය පමණක් නෙවෙයි ඔබ දක්ෂ රංගන ශිල්පියෙක්, රඟපාන්න හිතුණේ සංගීතයෙන් කලාවට ආවට පස්සේ ද?


මම කලාවට ප්‍රවිෂ්ට වෙන්නෙම පාසලෙන්. 2006 වර්ෂයේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ නියෝජනය කරමින් අ/ ශාන්ත ජෝසප් විදුහලෙන් “අපූරු සාදය” ළමා නාට්‍ය සඳහා මම ‘බටු මීයා’ චරිතයට තේරී පත් වෙනවා. මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සුරංජිත් සමීර රණසිංහ ගුරුපියාණන් විසින්. ඒ තමයි මගේ කලා ගමනේ ආරම්භක සංධිස්ථානය. ඉන්පසු ප්‍රවීණ රංගධර දිමුතු චින්තක ගුරුපියාණන් විසින් මෙහෙයවනු ලැබූ සසාරා නාට්‍ය පාසල හරහා ළමා නාට්‍ය, කෙටි නාට්‍ය, ඒ නාට්‍ය පාසල හරහාම ආනන්ද අබේනායක මහතා අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘තක්සලාව ‘ ටෙලි වෘත්තාන්තයේ කොටස් 36ක් වූ නන්දසේනගේ චරිතයට පණ පෙවීමටද ඉන් පසු , ආනන්ද අබේනායක අධ්‍යක්ෂවරයාගේම “අප්පච්චි” ටෙලි වෘතාන්තයේ චාමරගේ චරිතයට ද මා විසින් පණපොවනු ලැබුවා. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ද්විතීයික අධ්‍යාපනය ලැබූ මා ප්‍රවීණ ළමා නාට්‍ය අධ්‍යක්ෂක කේ. පී. සමන් පුෂ්පකුමාර ගුරුපියාණන්ගේ ළමානාට්‍ය තුළින් ද විශාල පන්නරයක් ලබාගත්තා.


“මකරෙක් ඇවිත්”(රොමී) “දගාගෙන් පාඩමක්”(දගා)

“රාජකීය ජල්ලිය” (සංගීත අධ්‍යක්ෂණය )


මේ අතර පාසලේ සංගීත අංශයේ නොයෙක් නිර්මාණ වලටද බටහිර බාලක ශිෂ්‍යභට තූර්‍යවාදක ඛණ්ඩයේ සැරයන් වශයෙන් කටයුතු කිරීමටද මා මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වීමට විශාල පන්නරයක් වුණා. සංගීත අංශයෙන් උසස් පෙළ හදාරා උතුරු මැද පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායමේ සැක්සෆෝන්, බටනළා වාදන ශිල්පියෙක් විදිහට සංගීත ක්ෂේත්‍රයේ ශිල්පීය මට්ටමෙන් ගමනක් ආරම්භ කිරීමට මා හට හැකි වූවා. ඒ නිසා මම ඇත්තටම රංගනයෙන් කලාව ආරම්භ කලා යැයි හැඟීමක් තමයි මා තුළ තියෙන්නේ…


මෙවර හොඳම නළුවා නිර්දේශ වීමකුත් සිද්ධ වුණානේ. ඒ ගැනත් කියමු?


‘කවිකාරයා’ මොහොමඩ් රජී මගේ සහෝදරයා විසින් අධ්‍යක්ෂණය කළ කවිකාරයා නාට්‍යයේ කවිකාරයා චරිතයට පණ පොවන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ ආදරණීය චරිතය මගේ ජීවිතයට කොයිතරම් ළං වුණාද කියනවනම් ඒ චරිතයේම ජීවත් වීමට මං ගොඩක් ආස වුණා. හොඳම නළුවා නිර්දේශිත වීම මා බලාපොරොත්තු නොවුණත් රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙක් සමඟ මා හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශිත වීම අදහාගත නොහැකි නිහතමානී සතුටක් හිතට ගෙනාවා.


දැන් රඟපාන්න ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද?


අනිවාර්යයෙන්ම ඔව්. ප්‍රේක්ෂකයන්ගේ හිත්වල රැඳෙන්න ගුණාත්මක නිර්මාණයක අවස්ථාවක් හිමි වුණොත් මම ඒ අවස්ථාව හදවතින්ම භාර ගන්නවා. ඒක මගේ හීනයක්.


වැඩි කැමැත්ත ද සංගීත නිර්මාණයට ද?


නාට්‍ය සංගීතය කියන්නේ වෙනම එකක්. ආනුශාංගික අංගයක් ලෙස නාට්‍යයේ හෘදස්පන්දනය රැඳී පවතින්නේ නාට්‍ය සංගීතයේ ඇති ගුණාත්මක භාවයෙන් කියලයි මා විශ්වාස කරන්නේ. නාට්‍යයේ නළුවාට, නිළියට, අධ්‍යක්ෂවරයාට සංගීතයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය මට ඒ තුළින් ලබා දිය හැකියැයි විශ්වාසයක් මා තුළ තියෙනවා.


ඔබේ සංගීතයෙන් හැඩ වුණු එන්න තියෙන නිර්මාණ මොනවද?


නිර්මාණ කිහිපයක්ම මේ වසර තුළ ප්‍රේක්ෂකයන් වෙත භාර කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් මගේ සංගීත ගමනේ මගේම මිත්‍රයන් සමඟ එකට එක්ව නිර්මාණය වූ ගීත කිහිපයක්ද වෙනවා. 2018 වසරේ සිට නාට්‍ය සඳහා ද නිර්මාණය වූ මාගේ සංගීත සුසංයෝග එකට එක්කොට ආදරණීය ප්‍රේක්ෂකයන් වෙත ලබාදීමට ද මා බලාපොරොත්තු වනවා..


පාසල් ගියේ කොහෙද?


අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කළා.


චානුක සන්දීප් කියන්නේ මොන වගේ චරිතයක් ද?


මම පිටින් පෙනෙනවාට වඩා ඇතුළතින් අතිශයින්ම සංවේදී මනුස්සයෙක්. මම හිතනවා මගේ ඒ සංවේදී ගුණයම තමයි ඵලය වෙලා සංගීතය ලෙස එළියට එන්නේ. නමුත් මම කෙළින් කතා කරන, සෘජු තීරණ ගන්න, මට ජීවිතේ හමුවෙන හැම මනුස්සයෙකුටම ආදරය ගෞරවය ලබාදෙන පෙරළා ආදරය ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක්. සරලවම මම ආදරේ බෙදන සංගීතකාරයෙක්.


ජීවිතේට ආදරේ මුණ ගැහෙන්නෙ කලාව තුළින්මනේ ඒ ගැන විස්තර කියන්න කැමති ද?


ඔව්.. මගේ ජීවිතේට කලාව නිසා ලැබුණු දේවල් ගොඩයි. ඒ අතරින් නාට්‍ය නිසාම මුණගැසුණු, ගැටුණු, මුසුවුණු අවසානේ එක් වුණු කෙනෙක් එයා. දැන්. මගෙත් එක්කම ජීවිතය කියන ගමනේ ගැටෙමින්, මුසුවෙමින්, පෙරෙළෙමින්, දැවටෙමින් එන කෙනා එයා. ඉතිං. ඇය මේ දිනවල ඇගේ උපාධිය හදාරමින් සහ රංගන කටයුතුවල නියැ­‍ෙළමින් සිටිනවා. මගේත් ඇගේත් ජීවිත කලාව අපි එකතු වෙලා පාට කරමින්, කලාත්මක කරමින් මේ මොහොත ගත කරමින් අපි ඉන්නවා.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මම කොළඹ අසෝක විද්‍යාලයේ රජයේ ක්‍රීඩා පුහුණු ගුරුවරයෙක් ලෙස සේවය කරනු ලබනවා. ළමයින් එක්ක ජීවිතේ කාලයක් ගත කරන්න හම්බෙනවා කියන්නෙම ඒක මාර දෙයක්. ඒ නිදහසත් ඒ ආදරයත් මගේ හැම ගමනකටම ශක්තියක් වෙනවා.


අනුෂා රණසිංහ




Previous Post Next Post