මේ ජයග්‍රහණය ගැන මට හිතාගන්න බෑ -කල්පනා කාවින්දි

 


ලෝකයේ තරග ජයග්‍රහණ ගැන කියැවෙද්දී දැන් දැන් ලංකාවේ නාමයත් ලෝකය ඉදිරියේ නිතර කියැවේ. පසුගියදා ඒ විදිහට ඉන්දීය කාශි සංසද් මහෝත්සවය මඟින් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත පුරාවට ක්‍රියාත්මක කළ රාගධාරී ගායනය තරගාවලියේදී මුළු ඉන්දියාවම පරදවමින් ලංකාවේ තරුණියක් ජයග්‍රහණය කර තිබුණා. මේ විදිහට ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගියේ කල්පනා කාවින්දී. නම කියූ සැණින් ඇයව බොහෝ දෙනා හඳුනන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් තරගකරුවන් අතර සිටි ජනප්‍රිය ගායිකාවක් විදිහටයි. කල්පනා කාවින්දි අද වෙද්දි ලංකාවේ පමණක් නොව මුළු ඉන්දියාවම ආදරය කරන ගායිකාවකි. ඈ දිනූ ඒ ජයග්‍රහණය ගැන ඇයට කියන්න බොහෝ දේ ඇති. ඈ හඬ අවදි කළේ මේ විදිහට.



“පසුගියදා ඉන්දීය කාශි සංසද් මහෝත්සවය මඟින් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත පුරාවට ක්‍රියාත්මක කළ රාගධාරි ගායනය තරගාවලියේ මම ජයග්‍රහණය කළා.

ඒ ජයග්‍රහණය ගැන මට අදටත් හිතාගන්න බැහැ. ඒ ජයග්‍රහණය මට සුවිශේෂීයි. හේතුව මට පුළුවන් වුණා උත්තර භාරතීය සංගීතය උපන් රට, ඉන්දියාවේ දක්ෂ තරගකරුවන් සමඟ තරග කරලා ජයග්‍රහණය කරන්න. මගේ රටට ඒ ජයග්‍රහණයක් ගේන්න පුළුවන් වීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.”


මේ වගේ ජයග්‍රහණයක් ලබන්න පහසු දෙයක් නෙවෙයි. කොහොමද මේ ගමන ආවේ?


මගේ පශ්චාත් උපාධිය සඳහා මම ඉන්දියාවට පැමිණ දැනට මාස 6ක් පමණයි. මම මෙහේ එනකොට හීනෙකින්වත් හිතුවේ නැහැ මෙවැනි තරගයකට මට මුහුණ දෙන්න සිදු වෙයි කියලා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මෙම රාගධාරි ගායන තරගයට මුහුණ දුන්නු එකම ජාත්‍යන්තර නියෝජනය මම. අහම්බෙන් මට ඒ අවස්ථාව උදා වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.


දෙරණ ඩ්‍රීම් ස්ටාර් කියන්නේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත්?


අවුරුදු හතේ සිටම ගීත ගායනයට පුදුම තරම් ආස කරපු කෙනෙක්. කුඩා කල සිටම මට ඕ‍ෙන වුණා දවසක මුළු රටක් අහන කටහඬක් වෙන්න. අදටත් මගේ රූපයෙන් මාව නොහඳුනන බොහෝ අය කටහඬින් මාව හඳුනවනවා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේම ඉනිමගක් වුණා. මම අසාවට කරපු සංගීතය වෘත්තීය මට්ටමට එන්න. ඉතිං දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාව කියන්නේ මට ආදරණීය වේදිකාවක් වගේම මම ගරු කරන වේදිකාවක්.


දැනට සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ගැන කතා කළොත්?



මම ටෙලිනාට්‍ය පසුබිම් ගීත ගායනයෙන් සම්බන්ධ වෙලා ති‍ෙයනවා. ඒ වගේම චිත්‍රපට පසුබිම් ගායනයටත් සම්බන්ධ වුණා. සදහටම ඔබ මගේ, සසර වස්සානයක, සුදු අඟුරු, දෙවෙනි ඉනිම, ප්‍රාර්ථනා, ලංවී, සංසාරිණී, ජෝදා අක්බාර්, රොකී, මතක සිත්තම් යන ටෙලිනාට්‍යවල ගීත වගේම එකදවසක අපි, Shadow, විශ්ම යන චිත්‍රපට වල පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදී තවත් චිත්‍රපට දෙකක ගීත එළිදැක්වීමට නියමිතව ති‍ෙයනවා. රංගනයෙනුත් ඇතැම් නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා.


දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද?


මම දැනට ඉන්දියාවේ බනාරස් හින්දු විශ්ව විද්‍යාලය තුළ මගේ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් ඉන්නේ.මගේ ප්‍රථම උපාධිය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ලැබූ අතර උසස් පෙළ අධ්‍යාපනය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් වන අතර හොරණ රාජකීය විද්‍යාලයෙන් සහ ඉංගිරිය ශ්‍රී සුමනජෝති විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලැබුවා. මේ දවස්වල අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වයක් දීලා තියෙනවා වගේම ඉන්දියාවේ ලස්සන සංස්කෘතිය, භාශාව, පරිසරය, එක්ක අලුත් විෂයන්වල දැනුම ලබමින් වගේම දන්න විෂයන් තව තවත් ගැඹුරින් අධ්‍යයනය කරමින් සතුටින් ඉන්න කාලයක්.


පවුලේ විස්තර ගැනත් කතා කරමු


මගේ ගම ඉංගිරිය. අම්මා ලාලනී චන්ද්‍රා. ඇය විශ්‍රාමික සංගීත ගුරු උපදේශකවරියක්. මගේ තාත්තා කුලතුංග බමුණුසිංහ. ඔහු ව්‍යාපාර කටයුතුවල නිරත වුණේ. ඒ වගේම මගේ අක්කා උමංගා බමුණුසිංහ ඇය නීතිඥවරියක්. ඇත්තටම කල්පනා කාවින්දි කියන නම මිනිස්සු අතරට යන්න විශේෂම හේතු වුණේ මගේ පවුල.



Previous Post Next Post