මාව TV එකෙන් දකිනකොට මටම ආසයි-අමීෂා ජයනි

 



පොඩිත්තන්ගේ සොඳුරු ළමා ලෝකය දස්කම් විස්කම්වලින් පිරුණු ලෝකයක්. ඇතැම් දරුවන් පුංචි තිරයෙන්, රිදී තිරයෙන් පාන හපන්කම් පුදුමාකාරයි. බලාගෙන ඉන්නත් ආසයි. ඉතින් මේ සොඳුරු කතාබහ හදගැස්මට එක් කරන්නේ මේ දිනවල ‘නෙලුනි’ ටෙලි නාට්‍යය තුළ ‘සුබා’ ගේ චරිතයට පණ පොවන පුංචි රංගන ශිල්පිනියයි. ඇය නමින් ‘අමීෂා ජයනි විජේරත්න’.


දුව මේ දිනවල මොකද කරන්නේ?


මේ දවස්වල හොඳින් සතුටින් ඉන්නවා. ‘නෙලුනි’ ටෙලිඩ්‍රාමා එකේ ෂූටින් යනවා. ඒ වගේම මම විශාරද විභාගය සඳහාත් සූදානම් වෙමින් ඉන්නේ. ස්කූල් එකේ පාඩම් වැඩකටයුතුත් හොඳින් කරගෙන යනවා.


දුවට නෙලුනි ටෙලි නාට්‍යයේ සුබාගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් විස්තර කියමුද?


මම රඟපාන ‘සුබා’ගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම චරිතයට පණපොවන විධිය ගොඩක් ලස්සනයි කියලා හැමෝම කියනවා. ඒ වගේම මගේ වොයිස් එකත් ලස්සනයි කියනවා.


දුව මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ කොහොමද?


කෑගල්ලේ මන්දාකිණි ක්‍රියේෂන්ස් රංගන පාසලට තමයි මම මුලින්ම ගියේ. එහිදී මට ඉනෝකා නැන්දා, ලක්ෂිත බණ්ඩාර සර්, මායාදුන්න සර්, කෙනෙත් සර් ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වනවා. මම දැනට ඇන්ජලා කුරුප්පු මිස්ගේ ඇවිදින පොත්, ලොකු අයියා, බිතු සිතුවම්, සප්ත ස්වාදර, බොරදිය, අප්පච්චි, නත්තල් කතාව, දේව කැමැත්ත කියන නිර්මාණවල රඟපාලා තිබෙනවා. 


මම මුලින්ම ඇක්ට් කළේ ‘ඇවිදින පොත්’ ටෙලි නාට්‍යයේ තමයි. මහේෂ් සර්ගේ ‘සෙනෙහස’ කියන ටෙලි නාට්‍යයෙත් රඟපෑවා. මහේෂ් සර් මගේ ඇක්ටිං සම්බන්ධ අඩුපාඩු ගොඩක් හැදුවා.  ඉතින් මට ඒ හැමෝම කියලා දුන්න හැමදේම මගේ රංගන කටයුතුවලට ගොඩක් වටිනවා. ඉතින් රංගනයට මුල්ම අඩිතාලම වැටුණේ ‘මන්දාකිණි ක්‍රියේෂන්ස්’ආයතනයෙන් තමයි. මහේෂ් මාමාටත් ගොඩක් ස්තූතියි.


දුවගේ පෞද්ගලික විස්තර ටිකක් කියමුද?


මම ඉන්නේ කෑගල්ලේ. මම ඉගෙනුම ලබන්නේ කෑගල්ලේ රෝයල් ජාත්‍යන්තර පාසලේ 7 ශ්‍රේණියේ. ලබන අවුරුද්ද වන විට සංගීතය ගායනය, වාදනය විශාරද විභාග සම්පූර්ණ වෙනවා.


දුවට පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?


අම්මගෙයි තාත්තගෙයි පණ තමයි මම. අපේ පවුලේ හැමෝටම මම රඟපානව දකිද්දි හරිම සතුටුයි. හැමෝම මගේ ඇක්ටිං බලලා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මගේ සීයා මම රඟපානවා දැකලා ගොඩක් සතුටු වෙනවා. මටත් මාව ටී.වී. එකේ දකිනකොට ගොඩක් සතුටුයි.


දුවගේ රංගන කටයුතුවලට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මගේ පාසලෙන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ ටීචර්ස්ලා වගේම යහළුවොත් මම රඟපාන ටෙලි නාට්‍යයන් බලලා ගොඩක් හොඳයි කියලා කියනවා. ඉතින් මගේ ටීචර්ලාටත් යාළුවන්ටත් ගොඩක් සතුටුයි.


දුවට රංගන කටයුතු අතරතුරේදී සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?


මට නෙලුනි ටෙලි ඩ්‍රාමා එකේ සින්දුව ෂූට් කරපු දවසේ තමයි කවදාවත්ම අමතක නොවන සිදුවීමක් වුණේ. එදා අපි ඒ සින්දුව ෂූට් කළේ බණ්ඩාරගම දිය ඇල්ලකින් වගේ වතුර වැටෙන ලස්සන තැනක. ඉතින් එතැන කොන්ක්‍රීට් එකක කකුල වැදිලා තුවාල වුණා. ඒත් මම තුවාලේ වේදනාව දරාගෙන සින්දුවට හොඳට ඇක්ට් කළා. දැන් නම් මට ඒක මතක් වෙද්දිත්, සින්දුව බලද්දිත් ඒ ගැන මතක් වෙලා හිනා යනවා.


දුවට ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?


මට ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ඒ නැන්දලා මාමලාගෙන් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. රඟපාද්දි කොහොමද ඉන්න ඕනෑ, විනය වගේ දේවල් ගැනත් මම ඒ අයගෙන් ඉගෙන ගන්නවා. ඉතින් මට හමුවන ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් මම වටිනා දේවල් ගොඩක් ඉගෙන ගන්නවා.


දුවගේ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරමු?


මම හොඳට ඉගෙනගෙන ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ආසයි. ඒ වගේම කලාවෙන් ඉදිරියට යන්නත් ආසයි. සින්දු කියන්න, රඟපාන්න වගේ දේවල් ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.


ඊට අමතරව මම විනෝදාංශයක් විධියට මේකප් කරන්නත් ආසයි. ඒ වගේම චිත්‍රපටවල රඟපාන්නත් ලොකු ආසාවක් තිබෙනවා. දැනට එක චිත්‍රපටයක රඟපාලා තිබෙනවා.


දුවගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමුද?


‘සුදු මලක්’ නමින් අලුත් සින්දුවක් කළා. විෂුවල් එක දැනට කරගෙන යනවා. ඒක ලියූ තුෂාරි කිරිවන්දෙණිය නැන්දාටත් සංගීතය සැකසූ නිමල් කිරිවන්දෙණිය මාමාටත් ස්තුති කරනවා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post