කලාව දේශපාලනීකරණය වෙන්න අවශ්‍ය නෑ-යෂ් වීරසිංහ

 


ඔහු පුංචි තිරය තුළ ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් රංගන ශිල්පියෙක්. ඉතා කඩවසම් පෙනුමකින් යුතු ඔහු තමන්ටම අනන්‍ය වූ රංගනයකින් ප්‍රේක්ෂක සන්තානය කලඹන කලාකරුවෙක්. අද එක්වන්නේ රංගන ශිල්පි යෂ් වීරසිංහ. මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල මම ලොකු වැඩ ගොඩක හිර වෙලා නැහැ. මම රංගනයෙන් දායකත්වය සපයන චිත්‍රපටයක් ඉදිරියේදී රූගත කිරීමට නියමිත නිසා ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. ඒ වගේම මම රංගනයෙන් දායකත්වය සපයන විසේකාරී ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ නිසා එහි රූගත කිරීම් සමඟ කාලය ගෙවී යනවා. 24 ලව් ස්ටෝරි කියන නිර්මාණයේ පළමු ෂෙඩියුල් එකේ වැඩකටයුතු නිමා කළා. මෙන්න මේ ආකාරයට මේ දවස් ගෙවී යනවා. මේ හැමදේමත් අතර ගොඩක්ම වෙහෙසෙන්නේ කලින් කතා කරපු සිනමාපටය වෙනුවෙන් තමයි.


මොකක්ද මේ සිනමාපටය. ඒ ගැනත් කියනවා නම්?


ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ධනුෂ්ක රත්නායක අයියා. ඒ සිනමාපටයට තමයි ප්‍රධාන නළුවා විධියට පළමුවෙන්ම මම රංගනයෙන් දායකත්වය සපයන්නේ. මේක වෙනස් විධියක කතාවක්.‍ එය අපරාධ සහ ත්‍රාසජනක ශානරයේ සිනමාපටයක්. ධනුෂ්ක රත්නායක කියන්නේ ටෙලිවිෂන් කලාවත් වෙනස් කළ අධ්‍යක්ෂවරයෙක්. චිත්‍රපට ක්ෂේත්‍රයටත් මේ නිර්මාණයෙන් වෙනසක් වෙයි කියලා මම සිතනවා.


විසේකාරී ගැන කතා කරමු?


මුලින්ම ඉන්දික ධර්මතිලක අයියාට මාව මේ චරිතය සඳහා තෝරා ගත්තාට ස්තුතිවන්ත වෙනවා. මම ඉන්දික ධර්මතිලකව ගොඩ කාලයක ඉඳන් දන්නවා. ඔහු මට මීට පෙරත් නිර්මාණ දෙකකට එන්න කියලා ආරාධනා කළා. නමුත් මට ඒ නිර්මාණ දෙකටම සම්බන්ධ වෙන්න බැරුව ගියා. අපි මේ කතාව මුලින්ම කරන්න ගියේ කැම්පස් ගිහින් ඉවර වෙලා සිද්ධ වෙන කතාවක් විධියට. නමුත් ඉහළින් ආපු නියෝග මත අපිට කැම්පස් කාලයට ඇවිල්ලා එතැන ඉඳන්ම යන්න වුණා. මේක ලස්සන වැඩක්. ලල් එකේ යන වැඩක්. මේක දැන් හොඳ මට්ටමකට ඇවිල්ලා.


විසේකාරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


විසේකාරිට සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා. වීර කියන චරිතයට මිනිස්සු ගොඩක් කැමැතියි. මේ චරිතය ටිකක් අමුතු විධියේ චරිතයක්. මේ චරිතය හරහා ගොඩක් පැතිකඩයන් ස්පර්ශ කරන නිසා ප්‍රේක්ෂකයා මේ චරිතය ආදරයෙන් වැලඳ ගන්නවා. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා.


ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය කලාව ගැන විවේචන තිබෙනවා. ඔබ මෙය දකින්නේ කෙසේද?


අපේ රටේ මෙගා ටෙලි නාට්‍යයේ කියලා සලකන්නේ එපිසෝඩ් සියයට එහා යන කතාවලට. නමුත් සෝප් ඔපෙරා කියන්නේ ලෝකෙම තිබෙන දෙයක්. සමහර කතා අවුරුදු 20 ගණන් යන අවස්ථාත් තිබෙනවා. මගේ මතයට අනුව මෙගා නාට්‍ය කලාව එක තැන පල් නොවී තිබෙනවා නම් හොඳයි. එහෙම වුණා නම් ප්‍රේක්ෂකයාට රසවිඳින්න පුළුවන්. මේ කර්මාන්තයේ පැවැත්මට මෙය අවශ්‍යයි. මෙහි හොඳ නරක තෝරා බේරාගෙන බලන එක තිබෙන්නේ ප්‍රේක්ෂකයා අතේ. වෘත්තීමය රංගන ශිල්පියෙක් විධියට මෙගා හෝ කලාත්මක වේවා චරිතය හොඳ නම් මම එය භාර ගන්නවා.


අද ලංකාවේ ටෙලි නාට්‍ය කලාව රැඩිකල් මුහුණවරක් අරගෙන. මෙය ගැන ඔබේ අදහස කියනවා නම්?


ඒක ඇත්තටම හොඳ දෙයක්. එහෙම වුණාම අපිට වුණත් එකම ආකාරයේ චරිත රඟපාන්න වෙන්නෙ නැහැ. ඒ ඒ චරිතයන් අනුව අපිට අපේ රංගනයේ පරාසය මේ හරහා පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මම එයට ඉතා ආශක්තයි. වෙනස් ආකාරයේ නිර්මාණ බිහිවෙන එක ඉතා හොඳ දෙයක්.


ඔබට තවමත් රඟපාන්න නොලැබුණ රඟපාන්න කැමැති චරිතයක් තිබෙනවාද?


මම සුපිරි ප්‍රති වීරයෙක්ගේ චරිතයක් කරන්න කැමැතියි. මම වීරයෙක්ගේ චරිතයක් කරනවට වඩා විලන් කැරැක්ටර් එකක් කරන්න හරිම කැමැතියි. ඒ වගේම මගේ රංගන පරාසය පෙන්විය හැකි චරිතයක් කරන්න කැමැතියි.


නව දේශපාලනික වෙනස ගැන ඔබේ අදහස?


මම ඒ කාලයේ ඉඳන්ම කිව්වේ දේශපාලනය කියන දෙය කලාවට අවශ්‍ය නැහැ. කලාව දේශපාලනීකරණය වෙන්න අවශ්‍ය නැහැ. මොකද දේශපාලනය ගෑවුණු තැන ඉවරයි කියන මතයේ තමයි මම ඉන්නේ. කලාව කියන්නේ වෙන දෙයක්. දේශපාලනය කියන්නේ වෙනම දෙයක්. මේ දෙක මාර්ගයන් දෙකක ගමන් කළ යුතුයි. ඒ දෙක එකට එකතු වෙලා යන එක මගේ පෞද්ගලික මතය අනුව සතුට දනවන දෙයක් නෙවෙයි. නව දේශපාලන වෙනස නිසා කලාවට යම් වෙනසක් වෙයි කියලා මම සිතනවා.


ඔබට රංගන ශිල්පියෙක් වීමට බලපෑම් කළේ කුමක්ද?


මම කුඩා කාලයේ ඉඳන් හැදුණු පවුල් පසුබිමත් එක්ක බලන විට  මට අවශ්‍ය වුණේ නළුවෙක් වෙනවාට වඩා මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්නේ කොහොමද කියන දෙය සොයා ගන්න. හැම මිනිහෙක්ම මට ආදරය කරනවා බලන එක තමයි මගේ ටාගට් එක වුණේ. ඉතින් මේ දෙය ලබා ගන්න පුළුවන් හොඳම මාර්ගයක් තමයි රංගන ශිල්පියෙක් වීම කියන්නේ. මට දැන් මිනිස්සු ගොඩක් ආදරය කරනවා. අද මම බලාපොරොත්තු වුණ දෙය මට ලැබිලා තිබෙනවා.


ඔබ කැමැතිම ලේඛකයා සහ පොත ගැන කතා කරනවා නම්?


කෙටියෙන්ම කියනවා නම් මම පොත් කියවන්නේ නැහැ. මම ස්ක්‍රිප්ට් එක කියවන්නෙත් මාර ගේමක් දීලා. මම එහෙම ගේමක් දෙන්න කැමැතිත් නැහැ. මට පොත් කියවන්න වෙලාවක් ලැබෙන්නෙත් නැහැ. මට වෙලාවක් ලැබුණොත් මම කරන්නේ සිනමාපටයක් නරඹන එක.


ලංකාවේ සිනමාවේ නව පිබිදීම පිළිබඳව ඔබේ අදහස?


ලාංකේය ප්‍රේක්ෂකයා අපේ සිනමාපට බොහෝ විට සංසන්දනය කරන්නේ තෙළිඟු සිනමාවත් සමඟ. අපේ නිර්මාණකරුවෝ එතැනට ළං වෙන්න ගොඩක් උත්සාහ දරනවා. ඔවුන් මේ සඳහා විවිධ අත්හදාබැලීම් සිදු කරනවා. ඒ සඳහා අපේ නිර්මාණකරුවන් එම සිනමා කර්මාන්තයේ විවිධ ශිල්පීන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනවා අපිට දකින්න පුළුවන්.  ඉතින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන දෙය මෙවැනි නිර්මාණ හරහා ලබා දුන් විට ඔවුන් සිනමාශාලාවලට ඇදී එනවා. ඉතින් අපේ නිර්මාණකරුවන් එය වටහා ගෙන කටයුතු කළා නම් හොඳයි කියලා මම සිතනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


මගේ ලොකුම වැඩේ තමයි මම රංගනයෙන් දායක වීමට නියමිතව තිබෙන සිනමාපටය. මම මේ දිනවල ඒ සඳහා කැපවීමෙන් වැඩ කරනවා. මේ සිනමාපටය නිසාම ආරාධනාවන් ලැබුණු ටෙලි නාට්‍ය හතර පහක්ම ප්‍රතික්ෂේප කළා. ගොඩක් අය මාව දැක්කේ පුංචි තිරයෙන්. ඉතින් රිදී තිරයට යන්න මම කැපවීමක් කරන්න ඕන කියලා සිතලා මම ඒ වෙනුවෙන් වැඩ කරනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post