මම හිතුවෙ බයිට් එකක් කියල – නවීන්ගෙ හදගැස්ම වැඩිකරපු කෝල් එක

 


දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ගායනයට පිවිසෙන නවීන් දිල්ශාන් ඒ හා සමගම රංගන ක්‍ෂේත්‍රයටත් අවතීර්ණ වෙනව. එතැනදි ඔහුගේ ගමනට ආශිර්වාදයක් වෙන්නෙ ‘සංගීතේ’ ටෙලි නාට්‍ය. අද වන විට නවීන්, ටෙලි නාට්‍ය වගේම සිනමා රංගන ශිල්පියෙක්. මේ දිනවල තිරගතවන ‘හදගැස්ම’ සිනමා නිර්මාණයත් සමග සිනමාවෙන් කලඑළිබසින නවීන් සමග මීවිත මේ විදිහට කතාබහක යෙදුණා.


හදගැස්ම සිනමා නිර්මාණයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


හදගැස්ම කියන්නෙ මගේ පළමුවැනි සිනමා නිර්මාණය. මේ වන විට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.


පළමු සිනමා නිර්මාණය කොහොමද ඔබේ ජීවිතයට දැනෙන්නෙ?


ඇත්තටම ඒක මහ පුදුමාකාර දෙයක්. අපේ හිතේ සමහර ආසාවල් තිබුණට ඒවා පස්සෙ පන්නගෙන යන්නෙ නැහැනෙ. සිනමා නිර්මාණයට සම්බන්ධවීමත් ඒ වගේ පන්නගෙන ගිය දෙයක් නෙමෙයි. දවසක් රෑ මට කෝල් එකක් ආවා, අකිල සඳකැළුම් කියල ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් කතාකරන්නෙ, ඔයා කැමතිද ෆිල්ම් එකකට සම්බන්ධ වෙන්න කියල. මට එකවරම මතක් වුණේ නැහැ ඒ කවුද කියල. ෆේස්බුක් එකේ බලද්දි තමයි දැනගත්තෙ ඔහු කලින් ප්‍රසිද්ධ නළුවෙක් කියල. පස්සෙ මම ඔහුව මුණගැහෙන්න ගිහින් කිව්වා, අකිල අයියේ මම කවදාවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා නැහැ කියල. ඉන් පස්සෙ ඔහු මට කිව්වා ඔයාට කරන්න තියෙන්නෙ නෙගටිව් රෝල් එකක් කියල. එතැනදි මම කිව්වා ඔයාට විශ්වාස නම් මාව සම්බන්ධ කරගන්න කියල. ඒ විදිහට තමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ.


එදා රෑ කෝල් එක ආපු වෙලාවෙ මොකද හිතුනෙ?


ඇත්තටම මම විශ්වාස කළේ නැහැ. මොකද යාළුවො බයිට් එකටත් මේ වගේ දේවල් කරන්න පුළුවන්නෙ.


රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?


චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකළේ කළුතර ප්‍රදේශයේ. ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ මගේ අත්දැකීම් එක්ක ගත්තාම මේ නිර්මාණයේ වැඩකරන එක ලෙහෙසියි කියල මට හිතුන. මොකද ටෙලි නාට්‍ය කියන්නෙ එකදිගට දුවන තරගකාරී දෙයක්. චිත්‍රපටයක් ගත්තාම ඒකට හැඩගැහෙන්න යම් කාලයක් ලැබෙනව. මෙතැනදිත් අධ්‍යක්‍ෂවරයා අපිට ඒ නිදහස ලබාදුන්නා. ඒ වගේම අර්ජුන් කමලනාත් අයියා, ශාලිකා එදිරිසිංහ අක්කා වගේ ප්‍රවීණයන් කිසිම විදිහකින් වචනෙකින්වත් දොසක් කිව්වෙ නැහැ. පුළුවන් හැම වෙලාවෙම උදව් කළා.


රිදී තිරයෙන් ඔබ, ඔබවම දකින මොහොත මොන වගේද?


මම කලින්ම අකිල අයියගෙන් ෆිල්ම් එක ඉල්ලුව මට ටිකක් බලන්න ඕන කියල. නමුත් දුන්නෙම නැහැ. මම මුල්ම වතාවට රිදී තිරයෙන්මයි දැක්කෙ. ඒක මට අදහගන්නත් බැහැ. අපි කලින් ෆිල්ම් බලල තිබුණට එදා මම දැක්කෙ මාවමනෙ.


ටෙලි නාට්‍ය සහ සිනමාව අතර වෙනස ඔබ දකින්නෙ කොහාමද?


ඇත්තටම මේ දෙක අතර තිරය හැරුණම ලොකු වෙනසක් මම දැක්කෙ නැහැ. එකම දෙයක් තිබුණෙ ටෙලි නාට්‍යයකට වඩා චරිතයකට සූදානම් වෙන්න චිත්‍රපටයේදී අපිට ලැබුණ නිදහස. ඒ වගේම මම දකින විදිහට සිනමාව කියල කියන්නෙ මැජික් එකක්.


සංගීතේ ටෙලි නාට්‍යය ඔබේ රංගන ජීවිතයේ ලොකු වෙනසක් සිදු කළා?


ඔව්, අනිවාර්යයෙන්ම. අදටත් බොහෝ දෙනෙක් මට කතාකරන්නෙ තිසංක සර් කියල.


මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු කොහොමද?


විශේෂයෙන්ම කියන්න ඕන, මම අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරනගමන් තමයි මේ සියලු දේ කරන්නෙ. ඒ වගේම මට තියෙනව ස්ටූඩියෝ එකක්. ඒ වැඩකටයුතුත් අතර තුන්වැනි තැනට තමයි රඟපෑම කරන්නෙ. මේ දවස්වල සංගීතේ ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධවෙලා ඉන්නව වගේම ‘හදගැස්ම’ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ටිකක් මහන්සි වෙනව. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතව තියෙනව.


රසිකයන් මුලින්ම ඔබව හඳුනාගන්නෙ ගායකයෙක් විදිහට?


ඔව්, රසිකයන් මාව මුලින්ම හඳුනාගන්නෙ දෙරණ ඩී්‍රම් ස්ටාර් හරහා ගායකයෙක් හැටියට. ඒ අතරතුර දෙරණ ආයතනයෙන් මට කියනව අපේ ටෙලි නාට්‍යයක මියුසික් ටීචර් කෙනකුගේ චරිතයක් කරන්න තියෙනව, ඔයා ඒක කරන්න, ඔයාට පුළුවන් කියල. එතැනින් තමයි මම රංගනයට පිවිසෙන්නෙ. මේ ක්‍ෂේත්‍රය ගැන මම හදාරලා නැහැ. නමුත් මගේ ඇඟේ ඒ හැකියාව තියෙන්න ඇති.


දැන් ගායනයෙන් ඈත් වෙලාද?


කොහෙත්ම නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දවස්වල මගේ ‘වර්ණ’ බෑන්ඩ් එකත් එක්ක ලොකු ගමනක් යනගමන් ඉන්නෙ.


මේ ඔබේම බෑන්ඩ් එකක්ද?


මේ බෑන්ඩ් එක තියෙන්නෙ වෙනම ආයතනයක් යටතේ. මෙහෙයවීම් කටයුතු සිදුකරන්නෙ මම. ඒ වගේම මගේ ජීවිතයේ අංක එකට තියෙන්නෙ වර්ණ බෑන්ඩ් එකත් එක්ක යන ගමන.


ඔබ ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණයත් සිදු කළා?


ඔව්, මම සංගීතය අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍ය දෙකක් විකාශය වීමට නියමිතව තියෙනව. ඒ වගේම ලබන මාසයේ චිත්‍රපටයකටත් සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.


ඔබ වැඩි ඉඩක් දෙන්නෙ?


ඇත්තටම මගේ කාලයෙන් වැඩි ඉඩක් දෙන්නෙ සංගීතයට. රංගනය කියන්නෙ මගේ විනෝදාංශය කිව්වොත් හරි. හැමදෙයක්ම අත්නොහැර කරගෙන යන එක මගේ පුරුද්දක්.


පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්?


මම විවාහකයි. ඇය මාත් එක්ක සංගීතේ ටෙලි නාට්‍යයේ රඟපෑ හංසිනී විමල්සිරි. ඒ වගේම අපිට අවුරුදු හතරක දුවෙක් ඉන්නව. මේ දවස්වල නම් හංසිනී සංගීතේ ටෙලි නාට්‍යයෙන් අයින්වෙලා ඉන්නෙ, ඇයගේ පෞද්ගලික වැඩකටයුතු ටිකක් නිසා. ඉදිරියේදී අපි දෙන්නගෙ ගීත නිර්මාණයකුත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post