මම කරපු නිර්මාණයක් ටෙලිකාස්ට් වෙද්දිවත් මම ආයේ බලන්නෙ නැහැ දුලීකා මාරපන

 



දුලීකා මාරපන. ඇය සැබැවින්ම දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය තුළ ජනකාන්ත රංගන පෞරුෂයකින් චරිත මැවූ රූපණවේදිනියක්. මේ දිනවල ඇයගේ ජිවිතයේ අලුත්ම තොරතුරු ගැන රසඳුන සමඟ කළ සොඳුරු කතාබහයි මේ.


මේ දවස්වල මොකද වෙන්නේ


ඇත්තෙන්ම මේ දවස්වල වේදිකාව එක්ක තමයි ඉන්නේ. ලෝරන්ස්ගේ මනමාලිය වේදිකා නාට්‍යය වේදිකා ගත වෙනවා සහ එහි විදෙස් සංචාර කිහිපයකට සුදානම් වෙමින් ඉන්නවා. ඊට අමතරව සුජීව කරපු Can’t Pay? Won’t Pay (ගෙවන්නෙත් නැහැ, ගෙවන්නත් බැහැ) වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරිලා තියෙනවා. එහි වැඩත් මේ දිනවල සිදු වෙනවා.


එතකොට පුංචි තිරයෙන් දැන් දකින්න නැත්තේ?


පුංචි තිරයේ එකම නිර්මාණයකටවත් දායක වෙලා නැහැ. මගේ අම්මා ගිය අවුරුද්දේ අසනීප වුණු නිසා ඇය වෙනුවෙන් කාලය වෙන් කළා. දැන් අම්මා නැති වුණා. ඊට පස්සේ තාමත් නම් ටෙලි නිර්මාණවලට දායක වුණේ නැහැ. ආරාධනා නම් කිහිපයක් නම් ලැබුණා තවම මම නිර්මාණයක් භාර ගත්තේ නැහැ. නමුත් ඉස්සරහදී මට සතුටු විය හැකි විදියේ පිටපතක් ආවොත් මම භාර ගන්නවා.


සිනමාව පැත්තෙන් මොනවද එන්න තියෙන්නේ?


ප්‍රසන්න ජයකොඩිගේ ‘මාතෘ‘ චිත්‍රපටයේ වැඩ කළා. සිනමා නිර්මාණ නම් තව කිහිපයක් ලෑස්ති වෙමින් තියෙනවා. අපිත් ෆිල්ම් එකක් කරන්න ලැස්ති වෙනවා. මේ වෙද්දී නිෂ්පාදකවරයෙක් බොහොම කැමැත්තෙන් එකඟතාව පළ කරලාත් තියෙනවා. දැන් කාලේ ෆිල්ම් කරද්දී කාලය, දීපය, දේශය, කුලය බලන්නත් ඕනේ. නැත්නම් ෆිල්ම් කරන්න අමාරුයි. කලින් තිබ්බ සිනමාශාලා ටිකවත් දැන් නැහැනේ. ඒක ද්විත්ව භාෂාවලින් කරන්න සූදානම් වුණු සිනමා නිර්මාණයක්.


එහි අධ්‍යක්ෂණය ද ඔබ කරන්නේ?


එහි කතාව, තිරපිටපත සහ අධ්‍යක්ෂණය මගේ. මේ වෙද්දී මමම ලියපු පිටපත් කිහිපයක් තියෙනවා. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ මමම ලියලා මගේ ළඟම තියාගෙන ඉන්නවා. ඒ නිසා ඉන් එකක් කරන්න අදහසක් තියෙනවා. සුජිවත් නිතරම මට කියනවා ඒක ලස්සන වැඩක් වෙයි, ඒ නිසා කරන්න කියලා.


කාලයක් එක දිගට සින්දු කිහිපයක් ඇහුවා. ආයේ අලුත් සින්දුවක් කරන්න අදහසක් තියෙනව ද?


ඇත්තටම ඔය ඔක්කොම දේවල් කළේ මම අපේ අම්මා අසනීප වෙන්න කලින්. මම අර්ථපතීත්වය දරලා තමයි ඒ නිර්මාණ කළේ. නමුත් අම්මා අසනීප වීමත් එක්ක මම අම්මා වෙනුවෙන් කාලය යොදවන්න හිතුවා. ඒ නිසා ඒ කාලය මම අම්මා වෙනුවෙන් වෙන් කරලා වැඩ කරන එක පොඩ්ඩක් නතර කළා. සුජීව දිගටම වැඩ කළා. එක සිංදුවක රූප රචනාවක් මම ෆ්‍රිජි ගිහිනුත් කළා. ඒ සින්දුව ප්‍රේක්ෂකයන් අතරට අරන් එන්න අදහසක් තියෙනවා.


නිර්මාණවලින් පොඩ්ඩක් ඈත් වුණත් ප්‍රේක්ෂක ආදරේ අඩුවක් නැහැනේ. ඒ ආදරේ ගැන කතා කළොත්?


ඒක හරි වටිනවා. ප්‍රේක්ෂක ආදරේ මතයි අපි මේ තුළ පවතින්නේ. වයස් භේදයකින් තොරව මට ආදරේ ලැබෙනවා. ඒක ලොකු දෙයක්. පසුගිය දවස්වල සාහිත්‍ය මාසයේ පාසල්වලට යද්දී පවා පුංචි දරුවන් ඇවිත් කියනවා අපේ අම්මා හරිම ආස කෙනෙක් කියලා. ඒ නිසා ඒ දරුවන් පවා නිර්මාණ දකිනවා. ඒකට හේතුව විදියට මම දකින්නේ මට ඉතා හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒක එක්තරා විදියක වාසනාවක්.


මෙගා නාට්‍යවලට සම්බන්ධ වීම අඩු කරලා ද තියෙන්නේ?


ඔව්. මම අවුරුද්දකින් කිසිම ටෙලි නාට්‍යයක් කරලා නැහැ. ඉරේෂ් ලොකුබණ්ඩාරගේ කලින් කරපු ටෙලි නාට්‍යයක ඉතුරු කොටස් ටිකක් කළා. ඉරේෂ් එක්ක සාකච්ජාවක් තියෙනවා. එපිසෝඩ් 50ක වගේ ලස්සන තේමාවන් රැගත් නිර්මාණ ටිකක් කරන්න. එහෙම නැතුව දීර්ඝ ටෙලි නාට්‍ය කියලා ඔහේ ඇදී ඇදී යන නිර්මාණ කරන එක තේරුමක් නැහැ. එහෙම නැතුව සමාජයට පණිවිඩයක් අරන් යන්න පුළුවන් ලස්සන වැඩක් නම් භාරගෙන කරනවා.


ඔය කොණ්ඩේ ආයේ වවන්නේ නැද්ද?


මම මේ ඊයේ පෙරේදා ආයේ කැපුවා.කොණ්ඩේ වවනවා. එහෙම නැහැ කියලා එකක් නැහැ. කොණ්ඩේ ගැන මම එච්චර ලොකුවට හිතන්නේ නැහැ.


කොහොමද කොණ්ඩේ කැපුවාම ලැබෙන ප්‍රතිචාර?


හැමෝම කිව්වා කොණ්ඩේ කැපුවම හොඳයි. ඒ හෙයාර් කට් එක ගැළපෙනවා කියනවා. දාහක් විතර හොඳ කිව්වත් ඒ අතරේ එක් කෙනෙක් දෙන්නෙක් අපරාදේ කොණ්ඩේ කැපුවේ කියනවා. මහත් වුණත් ප්‍රශ්න, කෙට්ටු වුණත් ප්‍රශ්න. කොණ්ඩේ වැව්වත් ප්‍රශ්න, කොණ්ඩේ කැපුවත් ප්‍රශ්න. සුදු වුණත් ප්‍රශ්න කළු වුණත් ප්‍රශ්න. ඒ ඉතින් අපේ රටේ ස්වභාවයනේ. ඒ ප්‍රේක්ෂක මතවලටත් ගෞරව කරමින් භාර ගන්නවා.


‘සඳ අමාවකයි‘, තාමත් ප්‍රේක්ෂක ආදරේ ඉහළින් ලබන නිර්මාණයක්?


මේ වෙද්දී යූ ටියුබ් හරහා ‘සඳ අමාවකයි‘ ටෙලි නාට්‍යය බලන්න අවස්ථාව ලැබෙනවා. එදා වගේම අදත් ඉහළම ප්‍රතිචාර ලැබෙනවා.


අද වනවිට අවුරුදු කීයක් ද ඒ ටෙලි නාට්‍යය කරලා, අද වෙද්දී මොකද හිතෙන්නේ?


1999 අවුරුද්දේ තමයි සඳ අමාවකයි ටෙලි නාට්‍යය කළේ. මේ වෙද්දී අවුරුදු 25ක් ගත වෙලා. මම ටෙලි නාට්‍යය සහ සිනමාවට අවතීරණ වෙලා අවුරුදු 25ක් වෙනවා. මේ වෙද්දී වේදිකාවට ඇවිත් අවුරුදු 27ක්. පොඩි කාලයක් නෙවෙයි. ආපස්සට හැරලා බලද්දී සතුටුයි. මට මිස් වුණා කියලා දේවල් නැහැ. මම දෙයක් කළා ඒක අතහැරියා. එච්චරයි. ඒ හැර මම කරපු නිර්මාණයක් ටෙලිකාස්ට් වෙද්දීවත් මම ආයේ බලන්නෙත් නැහැ.


සුජීවගෙන් ලැබෙන සහයෝගය නොකිව්වොත් අඩුවක්?


ඉස්සර මට අම්මා හරි හිටියා. දැන් මට අම්මාත් නැහැනේ. අම්මා නැහැ කියන්නේ මට කවුරුත්ම නැහැ. අම්මා අන්තිම මොහොතේත් සුජීවට කිව්වේ දුවව බලා ගන්න, එයාව ඉවසන්න, එයා ටිකක් එක විදියක ළමයෙක් කියලා. අනේ සුජීව අයියා ඒ කිව්ව විදියටම කරනවා. මාව හොඳින් බලාකියා ගන්නවා. මගෙත් එක්ක වැඩිපුර කාලය රැඳෙනවා. මට තමයි හොස්ස ළඟින් මැස්සා යන්න බෑ වගේ ස්වභාවයක් තියෙන්නේ. ඒ දේවල් එයා හරියට ඉවසනවා. එයාටත් වෙන ලෝකයක් නැහැ. එයාට ඉන්නෙත් මම. කලින් අපේ හිටිය බින්දු බබා ටෙඩි බබත් නැති වුණා. දැන් ඉන්නවා හනි බබා. හනි බබා කියන්නේ අපේ අම්මා ගාව හිටිය පූසා. එයා දැන් ඉන්නේ අපි එක්ක. අයියා එක්ක තමයි මටත් වඩා හනි බබා ඉන්නේ. ඒ නිසා එයා ගැන හිතමින් එයාව ආදරෙන් බලා ගනිමින් අපි දෙන්නා කරදරයක් නැතුව වත්ත පිටියේ වැඩ ටික කරගෙන ගමේ අයට උදව් කරගෙන හරිම සාමකාමීව ඉන්නවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post