ගැහැනු ළමයෙක් කොටට ඇන්දම සමහරුන්ට ලොකු මැජික් එකක්-මියෝනා





ගායන ශිල්පී සහ රංගන ශිල්පී ලවන් අභිෂේක්ගේ අලුත්ම පෙම්වතිය තමයි ආත්මි අක්කා. හැබැයි ඒ ලවන්ගෙ සැබෑ ජීවිතයේ පෙම්වතිය නම් නෙමෙයි. මේ දවස්වල උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශයවන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයෙන් එන ආත්මි අක්කා ගැනයි මේ කියන්නෙ.  




මියෝනා ගැන විස්තර ටිකක් කියමුද?




මට තාම වයස අවුරුදු 21 යි. රඟපාන්න ආවේ මහනුවර ඉඳන්. මේ වෙද්දි නිරූපිකාවක් සහ නිළියක් විදිහට කටයුතු කරනවා.




නිරූපිකාවක් වුණේ කොහොමද?




සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණාට පස්සෙ නිරූපණය හදාරලා වෘත්තීය ⁣ඇඳුම් මෝස්තර නිරූපිකාවක් වෙළෙඳ දැන්වීම් මියුසික් වීඩියෝ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තා.




නිරූපණයෙන් ලබාගත්ත දේවල් මොනවද?




නිරූපණය පැත්තෙන් ඉස්සරහට යනකොට මට හොඳ සතුටක් ලැබෙනවා. අනිත් අය මගේ හැකියාවන් දැකලා අගය කරනකොට ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා.  




නිරූපිකාවක් විදිහට තියන ඉලක්ක මොනවද?




ඉදිරියෙදි ජාත්‍යන්තර රූ රැජින තරගයකට සහභාගි වෙලා ශ්‍රී ලංකාවට කිර්තියක් ගේන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.




නිරූපිකාවක් නිසා ඇඟ හැඩට තියාගන්න මොනවද කරන්නෙ?




මම පුංචි කාලෙ ඉඳලම ක්‍රීඩා කරන ක්‍රියාශීලි ගෑනු ළමයෙක්. ඉතින් ඒ නිසා සිහින් ක්‍රියාශීලි ශක්තිමත් ඇඟක් පිහිටලා තියනවා.  




නිරූපණය වගේම නටන්නත් පුළුවන් කියලා ආරංචියි...




ඔව්. නිරූපණය රංගනය නර්තනය වගේම සියලුම කලා කටයුතුවලට පුංචි කාලෙ ඉඳලා මට හොඳ හැකියාවක් තියනවා. ඒ හැකියාවන් දිගටම මම පුරුදු පුහුණු වෙලා ඉස්සරහට යන අරමුණක ඉන්නෙ.




රංගනයට සහ නිරූපණයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?




අගය කරලා හොඳ ප්‍රතිචාර වගේම විවේචනත් හම්බෙනවා. මම විවේචනවලට ගොඩක් කැමතියි. විවේචන ලැබෙන තරමට අඩුපාඩු අඳුරගෙන හදාගන්න පුළුවන්.




රංගනයට ආවෙ කොහොමද?




ප්‍රේක්ෂකයො මාව මුලින්ම දකින්නෙ හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයෙන් වුණාට මම ඉස්සෙල්ලාම රංගන ක්ෂේත්‍රයට ආවෙ සිනමාවෙන්. වසන්ත කුමාරවිල අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයකින් තමයි ඉස්සෙල්ලාම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ. ඉදිරියෙදි ඒ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්. හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මිගේ චරිතයට මම සම්බන්ධ වුනේ නම් ප්‍රවීන නිරූපණශිල්පී චන්දිමාල් ජයසිංහගේ ආරාධනාවක් හරහා. හිරිපොද වැස්ස පිටපත බැලුවහම මට හිතුණා මගේ වයසෙ තරුණ පරම්පරාවට ගැළපෙන හොඳ ටෙලි නාට්‍යයක් කියලා.  




පාසල් ගෑනු ළමයෙක් විදිහට රඟපාන අත්දැකීම කොහොමද?




ඇත්තටම ආපහු පාසල් කාලෙට ගියා වගේ අත්දැකීමක් මට තියෙන්නෙ. පාසල් කාලෙ ඉගෙනගත්ත හැටි යාළුවොත් එක්ක විනෝද වුණ හැටි මට ආත්මි නිසා ආපහු විඳින්න පුළුවන්.




ලවන්ගෙ පෙම්වතිය වෙන්න ලැබුණ එන මොනවගේ අත්දැකීමක්ද?




ලවන් අයියා පුංචි තිරයේ හොඳ ආදරවන්තයෙක්. ඇත්තටම ලවන් අයියා කියන්නෙ ගොඩක් දක්ෂ වෘත්තීය නළුවෙක්. එයා මට රඟපාන්න ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා වගේම රංගනය ගැන මම දන්නෙ නැති දේවල් කියලා දෙනවා.




දැන් ආදරවන්තියක්ද?




දැනුත් ආදර සම්බන්ධයක් නැහැ. අම්මා තාත්තගෙන් මට ලැබෙන ආදරය ඇති.




විලාසිතා ගැන දකින්නෙ මොන විදිහටද?




විලාසිතා කියන්නෙ ඕනම කෙනෙක්ගෙ පෞර්ෂත්වය පෙන්නන්න පුළුවන් දෙයක්. අපේ සමාජෙ එක කොටසක් විතරයි විලාසිතා කරන්නෙ. අනිත් කොටස කරන්නෙ විලාසිතා කරන අයව විවේචනය කරනඑක. මම කියන්නෙ එහෙම කොටස් දෙකකට බෙදෙන්නෙ නැතුව විලාසිතා ගැන අවබෝධයක් ඇතුව විලාසිතා කරන්න කියලා.




හැබැයි පිටරටවල්වලදි කෙල්ලෙක් කොටට අඳින එක එච්චර අලුත් දෙයක් නෙමෙයි...




ඔව්. පිටරටවල ඉස්කෝලවල පොඩි කාලෙදිම පිරිමි ළමයින්ට කියලා දෙනවා ගෑනු ළමයින්ට ගරු කරන විදිහ ගැන. ඒ නිසා ගෑනු ළමයෙක් කොටට ඇන්දා කියලා එහෙ මිනිස්සුන්ට අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ලංකාවෙ ඒ වගේ දියුණු අධ්‍යාපනයක් නැහැ. ඒ නිසා ගෑනු ළමයෙක් කොට ඇඳුමක් ඇන්දහම සමහරු දකින්නෙ ලොකු මැජික් එකක් විදිහට.



Previous Post Next Post