දැන් හරියට තනිකමක් දැනෙනවා - නිර්ධා උයන්හේවා




අවුරුදු විසිපහකට පෙර නිළි උන නිසාම ස්ව උත්සහයෙන් රංගනයට අවතීර්ණ වූ ඈ රූපයත් රංගන දක්ෂතා නිසාත් තවමත් ජනතාවගේ හිතේ ලැඟුම් ගන්න සමත් වෙලා. සත්පුර වැසියෝ, හිරු සොයා, නෑනලා වැනි නිර්මාණ ඔස්සේ රූප පෙට්ටියට ආ ඇය රූප පෙට්ටියේ නපුරු කළු චරිතයක් හැටියට ඉතාම ජනප්‍රියයි. පුංචි තිරයේ වන් ටේක් රංගන ශිල්පිණිය හැටියට හඳුන්වන ඇය සමඟයි මේ කතාබහ. ඇය නිර්ධා උයන්හේවා.


නිර්ධා මොකද නිර්මාණවලින් ඈත් වෙලා ඉන්නේ.?


ඈත් වෙලා නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා. ළඟදි චිත්‍රපටයක වැඩ අවසන් වුණා. අවුරුදු එකහාමාරකින් විතර ටෙලිනාට්‍යයකට නම් සම්බන්ධ වුණේ නැහැ. තුට්ටු දෙකට නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැහැ. උදේ පාන්දර ගිහින් මහා රෑ වෙනකල් දවසට එපිසෝඩ් තුන හතරකට සම්බන්ධ වෙන්න ඕන ඉතිං හරි මුදලකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා.


ආරාධනා නැද්ද ..?


මොන වාසනාවක් නිසාද දන්නෙ නැහැ ආරාධනා නම් ලැබෙනවා, සම්බන්ධ වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙන්නේ


ජනතාවගේ ප්‍රතිචාර ඉස්සර වගේම ද..?


මම නපුරු චරිත ගොඩක් කරන නිසා ආදරණීය ජනතාවට මාව ගොඩක් මතකයි. ළඟදි යාළුවෝ එක්ක මාළු මාකට් ගියා, මාළු වෙළෙන්දෙක් පිහියක් අරන් මගේ ළඟට ඇවිත් කෑ ගැහුවා “ඕවා කැත වැඩ මඟුල් කඩන්න එපා“ කියලා. මම බය වුණා. මගේ යාළුවෝ කිව්වා ඔය කියන්නේ දෙවැනි ඉනිමේ රමණි ගැන කියලා. දෙවැනි ඉනිම ඉවර වෙලා අවුරුදු එකහාමාරක් විතර ඇති. ඒත් තවම ප්‍රතිචාර තියෙනවා. පොසොන් පෝයකට මිහින්තලේ සිල් ගන්න ගියා. එදා සිල් ගන්න බැරි වුණා. බොහෝ දෙනෙක් ඇවිත් කතා කරනවා ෆොටෝස් ගන්නවා. රඟපෑවේ නැතත් මාව අඳුරගෙන කතා කරනවා. ඒක දෙවියන් මට දුන්නු ගිෆ්ට් එකක්


රංගනය ගැන කලකිරීමකට ලක් වෙලාද..?


කලකිරීමක් නැහැ. ඒත් දුකක් තියෙනවා ක්ෂේත්‍රය ගැන


විවාහ නොවුණේ තනිකඩ ජීවිතේ සුන්දර නිසා වෙන්න ඇති..?


තනියම ජීවත් වෙන්න මම කාලයක් ආස කළා. ඒත් දැන් නම් හිතෙනවා මට ගැළපෙන කෙනෙක් ලැබුණොත් හොඳයි කියලා. තනිකම දැන් හරියට දැනෙනවා. ඒත් මම ආදරේට බයයි, මට මිනිස්සු විශ්වාස නැති ප්‍රශ්නයක් තියෙනවා


ඊට හේතුව දැඩි විරහවද..?


මම ගොඩක් ආදරේ දෙන කෙනෙක්. මම අවුරුදු ගණනාවක් කෙනෙකුට ආදරේ කළා. නමුත් ඒ ආදරේ මට අහිමි වුණා. ගොඩක් විශ්වාස කරපු කෙනෙක් ඒ විදිහට බොරුවක් කරනවා කියන්නේ ඕන කෙනෙක් බොරු කරන්න පුළුවන්. ඒත් එක්ක මට මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි.


මම ගොඩක් අවංක කෙනෙක් නිසා රැවටෙනවා වැඩියි. ඉතිං ආදරේ කරලා ඉමෝෂනල් වෙලා ලෙඩ ගොඩක් හදාගන්නේ ඇයි කියලා 2014 ඉඳලා පෙම්වතියක් නොවි තනිකඩව ඉන්නවා. කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ.


තවම ආදරේට නම් ඇරයුම් ඇති. නිළියන්ට ළාබාල තරුණයින්ගෙන් ඇරයුම් වැඩියි කියලා කතාවක් තියෙනවා නේ. ඒක ඇත්ත ද..?


ඇත්තටම කිව්වොත් වයස් භේදයකින් තොරව ආදරෙයි කියලා ෂෝෂල් මීඩියා ඔස්සේ මැසෙජ් කරන අය ඉන්නවා. ඒක හරි විහිළුවක් නේ. මම කියන්න ඕන දේ කෙළින්ම කියනවා, ආදරේ කියන්නෙ මොකක්ද දන්නවද කියලා අහනවා. ඔය ආදරේ නෙමෙයි සෙක්ස් කියලා එතැනින්ම ඒ එකවුන්ට් බ්ලොක් කරනවා, ගොඩක් එන්නේ ලිංගිකත්වය වෙනුවෙන් මිසක් ආදරේට නෙමෙයි. ආදරේ කියන්නේ හරියට සුළඟ වගේ ඉක්මනින් වෙනස් වෙනවා. මම ඕවට රැවටෙන්නේ නැහැ


ජනප්‍රියත්වය එක්ක නිළියන් විකිණෙනවා කියලයි සමාජයේ ඇතැමුන් හිතන්නේ. එහෙම හිතලා අයුතු යෝජනා කරන අයත් ඇති..?


ඕන තරම්. ෆේස්බුක් මැසේජ් එන්නේ විවාහ වුණු අයගෙන්. ප්‍රොෆයිල් ෆොටො එක වයිෆ් එක්ක දාන්නේ. ඒත් ලැජ්ජා නැතුව විවිධ යෝජනා කරනවා. මම රූපෙට සල්ලිවලට මුළා වෙන කෙනෙක් නෙමෙයි. විදෙස් රටවල ඉන්න ලංකාවේ වැදගත් මහත්වරුත් එහෙමයි. කොහෙන් හරි නම්බර් එක හොයාගෙන චැට් කරනවා. මුලින්ම වැදගත් විදිහට කතා කරන්නේ. පස්සේ වෙන වෙන යෝජනා කරනවා


හොඳම කාලේ නාස්ති වුණා කියලා පසුතැවීමක් තියෙනවා ද ..?


ඔව්. කෙනෙක් මත්තේ ඉන්න හොඳ නැහැ. දැන් ඉන්න තරුණ ළමයි හරි. එයාලා ඉක්මනින් වෙන බැදීම්වලට යනවා. මම එකක් මත්තේ හිටියා. දුක් වුණා, අන්තිමට ලෙඩෙක් වුණා. ඩිප්‍රෂන් ආවා, බෙහෙත් බිව්වා. ළඟදි තමයි තේරුම් ගත්තේ අපරාදේ කාලේ විනාශ කර ගත්තා කියලා. එහෙම හිතෙනකොට පරක්කු වැඩියි.


දෙමාපියන් දොස් කියන්නේ නැද්ද ..?


නැහැ , දෙමාපියන්ගෙන් එහෙම ප්‍රශ්න නැහැ


එතකොට නිළියක් වෙන්නේ ස්ව උත්සහයෙන්, ඒ ගැනත් කියමු..?


ඔව්. මම පාසල් යන කාලේ ලොකු ආස­ාවක් තිබ්බා නිළියක් වෙන්න. පත්තරේ ඇඩ් එකක් දැකලා මම ලියුමක් දැම්මා. චන්ද්‍රරත්න මාපිටිගම මහත්තයාගේ නාට්‍යකට. පිළිතුරු ලිපියක් ආවත් එය මට ආවේ ප්‍රමාද වෙලා. මම ඊට නැවත දිනයක් ඉල්ලා ලියුමක් දැම්මා. ෂූටිං පටන් ගත්තා ලොකේෂන් එකට එන්න කියලා නැවත මට ලියුමක් ආවා. මම යාළුවෙක් එක්ක එදා ගියා. ඉස්කෝලේ ටීචර්ගේ චරිතයක් වෙන කෙනෙක් ඒ මොහොතේ කරමින් හිටියා. එයා හරියට කරන්නේ නැහැ. මම ඒ දිහා බලාගෙන හිටියා, මට දෙබස් මතක හිටියා, ඊට පස්සේ චන්ද්‍රරත්න මහත්තයා කෙනෙකුට කිව්වා මට එන්න කියලා. මට ඒ ළමයගේ සාරිය අරන් ඇදගෙන එන්න කියලා කැමරාව ඉදිරියේ රඟපාන්න කිව්වා. මම කළේ එක වතාවයි. එතැනින් මාව ඒ චරිතයට ගත්තා, ඒක තමයි පටන් ගැන්ම. එදා ඉඳලා අද වෙනකල් මම මේ ගමන ආවේ තනියම. මගේ කැපවීමෙන්


හර්ෂණී වීරරත්න



Previous Post Next Post