එයත් එක්ක ලව් සීන්වලට ඉන්න මට ලැජ්ජයි වගේ ඩිලූෂි හංසිකා



මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන රොකී ටෙලි නිර්මාණය සමීර පියරත්නගේ අධ්‍යක්ෂණයකි. එහි දඟකාර කෙළිලොල් තරුණියක වන නේහාට ජීවය දෙන්නේ ඩිලූෂි හංසිකාය. දෙරණ නාළිකාවේ විකාශය වන සැලෙනා නුවන් ටෙලි නිර්මාණයේ වර්ෂා ටීචර් ලෙස ඔබ හමුවට එන ඇය ඔබට නුහුරු නොවේ. වර්ෂා හරහා ලබාගත් ප්‍රේක්ෂක ආදරය අදටත් නොඅඩුව පවත්වා ගන්නා ඇය රොකී හරහා ප්‍රේක්ෂක ඔබ වෙනස්ම මානයකට රැගෙන යන්නට වෙහෙසෙන්නීය.


වර්ෂා ටීචර් කියන්නේ හරියට ඩිලූෂිගෙ ප්‍රතිරූපය වගේ. නේහා ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


සමහර පොඩි ළමයි හිතාගෙන ඉන්නේ මම ඇත්තටම ටීචර් කෙනෙක් කියලා. වර්ෂා ටීචර් ටිකක් මැෂුවර්ඩ් කැරැක්ටර් එකක් නිසා ඔවුන් සැබෑ ජීවිතේදිත් මාව පිළිගන්නෙ ඒ විදිහට. පන්සල්වල, සෙනඟ ගැවසෙන තැන්වලදි පොඩි ළමයි දුවගෙන ඇවිත් වර්ෂා ටීචර් කියලා කතා කරනවා. විස්තර අහනවා. එයාල මං කියන දේවල් අහනවා. මාත් එයාලට හොඳට පාඩම් කරන්න කියනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් කියනවා. ඒක නම් පුදුමාකාර අත්දැකීමක්. චරිතයක් හරහා ඒවගේ පිළිගැනීමක්, ගෞරවයක් ලැබෙනවා කියන්නේ හරිම සතුටක්. ඒත් නේහා කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කිසිම බරක් පතළක් නැති දඟකාර, කෙළිලොල් චරිතයක්.


නේහාට ආරාධනා ලැබෙන්නේ කොහොමද?


රොකී කියන්නේ සමීර පියරත්නගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. ඔහු එඩිටර් කෙනෙක්, තිර රචකයෙක් විදිහට ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක්. මේක ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වුණාට ඔහු හරිම දක්ෂ විදිහට ඒක කරනවා. ඔහුගෙන් ලැබුණු ආරාධනය මම හරිම කැමැත්තෙන් භාරගත්තා වගේම ෂූටිං යන්නෙත් හරිම සතුටින්. තිර පිටපත අරුණ ප්‍රේමරත්නගේ. නිෂ්පාදනය ජනක සම්පත්.


රන්දික කියන්නේ මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රියම තරුවක්. ඔබ වැඩිපුරම ගැටෙන්නේ ඔහු එක්ක. ඒ අත්දැකීම කොහොමද?‍


කතාවෙ ඔහු අභිලාෂ්. ඇත්තටම මං මීට කලින් රන්දික අයියා එක්ක රඟපාලා නෑ. වැඩිය ගැටෙන්න ලැබිලත් නෑ. ඔහු ඉතාම දක්ෂ ජනප්‍රියම රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු මට වඩා ප්‍රවීණයෙක්. එයත් එක්ක ලව් සීන්වලට ඉන්න මට ලැජ්ජයි වගේ. නොපෙන්නුවට ඕනෙම කෙනෙකුට මුලින්ම එහෙම වෙනව ඇති කියලා මට හිතෙනවා. එක පැත්තකින් ඒක මට ලොකු වාසියකුත් වුණා. කතාවෙ හැටියට නේහා අභීට හිත යටින් ගොඩක් කැමැතියි. ඒ ලැජ්ජාශීලී බව රංගනයෙන් මම දෙන්න ඕන දෙයක්. මෙතැනදි ඒක මට ඔටෝම එනවා. රන්දික හරිම හොඳ සපෝටිව් ඇක්ටර් කෙනෙක්. දසුනියි, මායි හරිම මිත්‍රශීලීයි. රඟපානවා කියල දැනෙන්නෙත් නෑ. හරිම විනෝදයි.


ලැබෙන ප්‍රතිචාර කොහොමද?


තාමත් කොටස් කිහිපයයි විකාශය වුණේ. ඒත් දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර තැන්වල මට හිතෙනවා මේ මේ දේවල් හදාගත්ත නම් හොඳයි කියලා. මං හරිම ආසයි රංගනය ගැන ඉගෙන ගන්න. දැනටමත් මං පොඩි පොඩි දේවල් ටිකක් කරගෙන යනවා. මම රංගනයට එන්න හිතපු කෙනෙක් නෙවෙයි. අත්දැකීම් ලබද්දි තමයි පන්නරය ලැබෙන්නේ.


නේහාගේ කෙළිලොල් බව වර්ෂා ටීචර්ගෙ ප්‍රතිරූපයට හානියක් කරයි ද?


නෑ. මම හිතන්නෑ. රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. වර්ෂා ටීචර් දැන් සමාජය පිළිගත් චරිතයක්. ඒ හරහා මට සමාජයට දෙයක් කරන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඒක මට සතුටක්. පොඩි ළමයි මං දෙන අවවාද පිළිගන්නවා. සමහරු මට පෞද්ගලිකව ප්‍රශ්න කියනවා. ඒ චරිතය නිසා එයාලා මට රෙස්පෙක්ට් කරනවා. මට පුළුවන් විදිහට මං ඒවා විසඳන්න බලනවා. පිරිමි ළමයෙක්ගෙ දේකට වඩා ගැහැනු ළමයෙක් එක්ක කතාබහ කරලා එයාව මෝටිවේට් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.


රංගනයේ අමතක නොවන තැන් ඇති?


මෑතකදී මට කරන්න තිබුණා පිස්සු හැදුණු චරිතයක්. අන්තිමට හැමෝම කිව්වා ඩිලූෂි ඒක හොඳටම කළා කියලා. ඇත්තටම මට ඒ වෙලාවෙ හිතුණා සාමාන්‍ය චරිත රඟපාන්න අමාරු වුණාට පිස්සු චරිතයක් කරන්න පහසුයි කියලා. ඉදිරියේදී ඔයාලටත් ඒක දකින්න ලැබේවි.


ඔබ විවාහ ගිවිසගෙන අවුරුද්දකට ආසන්නයි. දැන්ම විවාහ උත්සවය ගන්න අදහසක් නැද්ද?


ඇත්තම කතාව මගේ මාස්ටර් එක කරන්න විදෙස්ගත වෙන්න හිතාගෙන තමයි ඉක්මනින්ම එන්ගේජ්මන්ට් එක ගත්තේ. ඒත් ටෙලි ඩ්‍රාමා දෙකකට සම්බන්ධ වුණු නිසා යන එක මට ගැටලුවක් වුණා. මං කැමැති නෑ භාරගත්ත දෙයක් අතරමඟ දාල යන්න. ඒ නිසා මගේ ප්ලෑන් ටිකක් එහෙ මෙහෙ වුණා. ඒත් මං මාස්ටර් එක කොහොමහරි මෙහේ දී හරි කරනවා. එන්ගේජ්මන්ට් එක හදිසියේ කළා වගේම විවාහයත් හදිසියේම වෙන්නත් පුළුවන්.


කොහොමද සුරේන්ගෙන් ලැබෙන සහාය?


එයාට අපි ආදරේට කියන්නෙ සෝනු කියලා. හරිම ආදරණීය පාට්නර් කෙනෙක්. ඒ නිසාම මං ඉස්සර වගේම සැහැල්ලුවෙන් නිදහසේ ඉන්නවා. අරක එපා, මේක එපා කියලා එයා මට කවදාවත් නීති දාල නෑ. ඔයා ඕන දෙයක් කරන්න, මම බෙල්ල හරි දෙන්නම් කියලා ඉන්නවා. මම ඔහුට ගොඩක් රෙස්පෙක්ට් කරනවා. ඒ වගේ හොඳ හිතක් තියෙන කෙනෙක් හමුවීම මගේ වාසනාවක්. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා හැම ගැහැනු ළමයෙකුටම මේ වගේ කෙනෙක් තමයි ලැබෙන්න ඕන.


පවුලේ තොරතුරු ටිකකුත් කියමු?


මට ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි. මල්ලිලා ගොඩක්ම දක්ෂ ඉගෙන ගන්න පැත්තට. ලොකු මල්ලි ගොඩක් ටැලන්ටඩ්. රංගනයට ආරාධනා ලැබුණත් එයා කැමති නෑ. එයාල යාළුවෙකුටවත් කියන්නෙ නෑ අක්ක නිළියක් කියලා. එයාලට ලැජ්ජයිලු කියන්න. මේ දවස්වල ෆැමිලි ප්‍රෝග්‍රෑම්වලට චැනල්වලින් ආරාධනා ලැබෙනවා. එයාල දෙන්න ඒවට යන්නවත් කැමැති නෑ. මේ දවස්වල අපි නොවඳිනා වැඳුම් වඳිනවා ඒ දෙන්න එක්ක යන්න.


 නාමලී ගමගේ



Previous Post Next Post