වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ තමයි නිවේදනයට යොමු වුණේ - ඉරංග මධුෂාන්




අද අපේ කතා නායකයා විටෙක වෛද්‍යවරයෙක් මෙන්ම තවත් විටෙක අපිට මුණගැහෙන්නේ නිවේදකයෙක් ලෙස. වෛද්‍යවරයෙක් ලෙස කොතරම් කාර්යබහුල වුණත් ඔහු නිවේදකයෙක් ලෙස තම මාධ්‍ය භූමිකාව ද මඟ නොහැර ඉටු කරන්නෙක්. ජාතික නාළිකාවෙන් උදෑසන අපිට මුණගැහෙන මේ සොඳුරු සන්නිවේදකයා ප්‍රජා වෛද්‍ය අංශයේ වෛද්‍යවරයෙක්.


දැන් ඔබ වෛද්‍යවරයෙක් වගේම නිවේදකයෙක්. නිවේදකයෙක් වෙලා ද වෛද්‍යවරයෙක් වුණේ?


රූපවාහිනී නිවේදකයෙක් වෙන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ. හැබැයි පාසල් කාලයේ ඉඳන් තිබුණ හීනයක් තමයි රූපවාහිනී නිවේදකයෙක් වෙන එක. ඒත් මම පාසලේ දී සහ විශ්වවිද්‍යාලයේ දී ලොකුවට ඒ පැත්තට නැඹුරු වෙලා හිටියේ නැහැ. අපේ විශ්වවිද්‍යාලයේ තියෙනවා ‘පහන් තරුව‘ කියලා වැඩසටහනක්. ඒ ගැන සාකච්ඡාවක් තිබුණා ජාතික රූපවාහිනියේ 3 to5 වැඩසටහන තුළ. එය පාසල් යන කාලේ ඉඳන් මම ගෙදර ඇවිත් බලපු වැඩසටහනක්. ඒ වැඩසටහනේ නිෂ්පාදකතුමා විදියට හිටියේ ගාමිණී ජයන්ත අබේවික්‍රම මහතා. එතැනදී ගාමිණී මහත්තයා මගේ හඬ, මගේ පෞරුෂය අධ්‍යනයෙන් සහ මම ඒ වෙද්දී වෛද්‍ය ශිෂ්‍යයෙක් නිසාත් මට ලැබුණා ඒ 3 to 5 වැඩසටහනම නිවේදනය කරන්න. මගෙත් එක්ක නිවේදනය කරන්න හිටියේ ප්‍රසන්න චන්දන බණ්ඩාර. ඒ නිසා වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ තමයි නිවේදනයට යොමු වුණේ. නිවේදනය කියන දේ හදාරන්න පටන් ගත්තේ රූපවාහිනිය එක්ක.


ජාතික රූපවාහිනිය එක්ක සම්බන්ධ වෙලා මේ ගතවෙන්නේ කීවැනි අවුරුද්ද ද?


මම සම්බන්ධ වෙන්නේ 2006 /2007 දී. එදා ඉඳන් අද වෙනකම් මම ජාතික රූපවාහිනිය එක්ක වැඩ කරනවා.


3 to 5 වැඩසටහනෙන් පටන් ගත්ත ගමනේ මේ වෙද්දී විවිධ වැඩසටහන් කරන්න ඇතිනේද?


3 to 5 වැඩසටහනෙන් පස්සේ ‘ආදරණීය යෞවනය‘ වැඩසටහන කළා. ඒ එක්කම කාලයක් තිස්සෙම ‘නුග සෙවණ‘ කළා. දැනටත් නුග සෙවණ කරනවා. ඊට අමතරව ‘ආයුබෝවේවා‘ කියන සෞඛ්‍ය වැඩසටහන කරනවා.


වෛද්‍ය වෘත්තියේ මුල්ම පත්වීම ලැබෙන්නේ කොහෙටද?


මම ඉගෙන ගත්තේ සහ තවදුරටත් හදාරන්නේ ප්‍රජා වෛද්‍ය අංශයෙන්. මගේම මුල්ම වෛද්‍ය පත්වීම ලැබුණේ රිකිල්ලගස්කඩට.


ඒ කාලය තුළ නිවේදනය මඟ හැරුණ ද?


නැහැ. මම මඟහැරෙන්න දුන්නේ නැහැ. මට මතකයි පාන්දර මම රිකිල්ලගස්කඩින් ඇවිත් ජාතික රූපවාහිනියේ වැඩසටහන කරලා ආපසු රිකිල්ලගස්කඩට යනවා. ඒ කාලේ තිබුණේ මූල්‍යමය වටිනාකම නෙවෙයි. ජාතික රූපවාහිනියේ නිවේදකයෙක් වීම සහ ඒ වෙනුවෙන් මම කැපකිරීම් කළා. ඒ කැපකිරීම් නිසා තමයි අදටත් මම වෛද්‍යවරයෙක් විදියට සහ නිවේදකයෙක් විදියට ඉන්නේ.


ඔබේ වෛද්‍ය වෘත්තියටත් නිවේදනය කියන දේ හොඳ පිටිවහලක් වෙන්න ඇති?


ඇත්තෙන්ම ඔව්. ප්‍රජා වෛද්‍ය අංශයෙන් වැඩ කරද්දී සන්නිවේදනය කියන එක ලොකු පහසුවක් වුණා. රෝගීන්ට රෝග ගැන කියලා දීම, එතැනින් එහාට ගිහින් සෞඛ්‍ය, අධ්‍යාපනික වැඩසටහන් වලදී සන්නිවේදනය කියන එක ලොකු පිටිවහලක් වුණා. මාව පෞද්ගලිකව නිවේදකයෙක් විදියට හඳුනා ගන්නවට වඩා මගේ වෛද්‍ය සේවය වැඩිදියුණු කරගන්න පුළුවන් වුණා.


මේ කාලයේ ඔබේ වෛද්‍ය වෘත්තිය ජිවිතේ කොහොමද?


මේ කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුහුණුව ලබනවා.


වෛද්‍ය වෘත්තියෙන් ඔබ ඉදිරියට යනවා වගේම නිවේදනය තුළත් ඔබ කඩයිම් සලකුණු කරනවා, දැන් ඔබ ජාතික රූපවාහිනියේ ඒ ශ්‍රේණියේ නිවේදකයෙක්.


ඔව්. මම රූපවාහිනියට යොමු වෙලා වසර 15ක් වගේ ගතවෙලා තියෙනවා. පසුගිය මාසයේ දී මට ලැබුණා ජාතික රූපවාහිනීයේ නිවේදක ශ්‍රේණිගත කිරීම් වලදී ඒ ශ්‍රේණියේ නිවේදකයෙක් ලෙස උසස්වීමක්.


ඔබේ පාසල මොකක් ද?


මම පාසල් යන්න කලින් මට ඉගැන්වුවේ මගේ තාත්තා. මම කවදාවත් පෙර පාසල් ගියේ නැහැ. ඒ නිසා මගේ මුල්ම ගුරුවරු වෙන්නේ මගේ අම්මා, තාත්තා. ඒ දෙන්නම ගුරුවරුන්. ගෙදර පාසලෙන් පස්සේ 5 වසර දක්වා මම යන්නේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයට. ඊට පස්සේ මම ගියේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට.


පාසලෙන් නිවේදකයෙක් වෙන්න ලැබුණු පිටිවහල කොහොමද?


දැන් වගේ අපේ කාලේ පාසලේ මාධ්‍ය කව ලොකුවට තිබ්බේ නැහැ. පස්සේ කාලෙක සරත් ජී. පුංචිහේවා කියන සර් සහ දම්පිය වනසිංහ සර් නිසා තමයි පාසලේ මාධ්‍ය කවය ළමුන් අතරට ගියේ. ඒ දෙන්නා පාසලේ විවිධ අවස්ථාවල නිවේදනය කරනවා මම දකිනවා. ඒ හරහා තමයි නිවේදනයට ආසාව ඇති වුණේ. ඒ කාලේ සන්නිවේදන විෂයය එතරම් ප්‍රචලිත නැහැ. තාමත් මම විශ්වාස කරනවා මගේ හිතේ නිවේදන හීනයක් ඇති වෙන්න සරත් ජී. පුංචිහේවා කියන සර් පැත්තක හිටියා කියලා. මගේ ජිවිතේ ප්‍රධාන අංශ තුනක් තියෙනවා. මාධ්‍යය ජිවිතේ, වෛද්‍ය ජිවිතේ සහ පිහිනුම්. මේ අංශ තුනටම මුල් වුණේ සරත් ජි පුංචිහේවා සර්. මට මතකයි මාවයි යාළුවෙකුයි එක්කගෙන සර් ගියා Medicare Exhibition එකක් බලන්න. අද අපි දෙන්නම වෛද්‍යවරු. ඒ එක්කම පාසලේ පිහිනුම් පුහුණුකරු විදියට හිටියෙත් සරත් සර්මයි. ඒ නිසා මගේ ජිවිතේ අද ඉන්න තැන්වලට එන්න මුල් වුණේ සරත් ජී. පුංචිහේවා සර්.


ඉරංග බැලු බැල්මට හොඳ කඩවසම් කෙනෙක්, රංගනයට ඇරයුම් ලැබිලා නැද්ද?


ඇත්තටම කැමැත්ත තියෙනවා. මම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉගෙන ගත්තේ. ඒ කාලේ ඉඳන් තිබ්බ කාර්යබහුලකම එක්ක මට කලාවට යොමු කරන්න තරම් කාලයක් තිබ්බේ නැහැ. දැන් මම මේ දවස්වල ඒ වගේ වැඩකට සම්බන්ධ වෙලා ඉන්නවා. විනෝෂා කිරිවන්දෙණිය කරන චිත්‍රපටයක චරිතයකට මමත් රංගනයෙන් දායක වෙනවා.


ඔබේ පවුලේ විස්තර ගැන කිව්වොත්


අම්මා විශ්‍රාමික විදුහල්පතිවරියක්. තාත්තා නම් නැති වෙන්නේ මම කුඩා කාලේදී. එතැනින් පස්සේ අම්මා තමයි තාත්තා අම්මා කියන චරිත දෙකම කළේ. මට ඉන්නේ නංගි සහ මල්ලි. තාත්තා නැතිවෙද්දී මට අවුරුදු 10යි. නංගිට 8යි. මල්ලිට 6යි. දැන් නංගිත් වෛද්‍යවරියක්. මල්ලි Quantity surveyor කෙනෙක්. මම දැන් විවාහකයි. බිරිඳත් වෛද්‍යවරියක්. අපිට පුත්තුම තුන් දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම අම්මා ගැන කියන්න ඕනේ කුඩා කාලේ ඉඳන් මම දැක්කේ අම්මගේ තිබුණ ශක්තිය. ඒ ශක්තිය තමයි මටත් ලැබුණේ. ඒ නිසා තමයි අද වෙද්දීත් මම වෛද්‍යවරයෙක්, නිවේදකයෙක් සහ සෝෂල් මිඩියා වෙනුවෙන් වෙලාව, කාලය හොයාගන්නේ. අදත් මම කල්පනා කරනවා මගේ ළමයි තුන් දෙනා එක්ක කාලය ගත කරද්දී අපි පොඩි කාලේ කොහොමද අම්මා තනියම අපිව බලා ගත්තේ කියලා.


අනුෂා රණසිංහ



Previous Post Next Post