එයත් එක්ක ජීවත් වෙන්න ගත්තට පස්සේ තමයි ජනප්‍රියයි කියල තේරුණේ-චාමර වීරසිංහ



ඔහු කාගේත් හදවතේ ගායකයාය. ඔහුගේ ගායනය ආගමක් සේ අදහන්නෝද වෙති. පහුගිය කාල වකවානුව ඊට ඕනෑ තරම් උදාහරණ සපයයි. ‘සිතින් විතරක් පෙම් කරන්නම්, සමාවෙලා, ඔය සුසුම් පවන් වැදී, මතකයන් ඔබේ’ වැනි ගීත ඔහුගේ අතිශයින් ජනප්‍රියත්වයට පත් ගීත අතරින් කිහිපයක් පමණි. ඔහු කවුරුන්ද යන්නට තවත් අටුවාටිකා කුමටද? ඔව්. ඔබ හඳුනාගත්තා නිවැරැදිය. ඔහු චාමර වීරසිංහය. ඕනෑම සිතක් භාවනාවක් සේ දැහැන්ගත කළ හැකි ඒ හඬට පෙම් නොබඳින්නෙක් වේද යන්න ද සැකසහිතය. අද අපේ කතාබහට ලක්වන්නේ ඔහුගේ ආදරණිය පවුලයි. සෙවණැල්ල මෙන් ඔහු හා බැඳී ආ ඇය ප්‍රසංගි වීරසිංහය.


චාමර නැවතත් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබීම ලොකු සතුටක්. කොහොමද දැන් ?  


දැන්නම් ගොඩක් දුරට හොඳයි. ඒත් තාම ගොඩක් වෙහෙස වෙන්න බෑ. ආයෙම රසිකයන් අතරට ඉක්මනින්ම එන්න ලැබීම සතුටක්. මං වෙනුවෙන් වෙහෙසුණු වෛද්‍යවරුන්ගේ උත්සාහය වගේම මට සෙත් කවියක් වුණු රසික ආදරය නිසා මට ඉක්මනින් සුවපත් වෙන්න හැකි වුණා. ඒ ආදරේට මාත් ගොඩක් ආදරෙයි.


දැන් සාමාන්‍ය විදිහට ප්‍රසංග වේදිකාවේ චාමරව දැකගන්න ලැබේවිද?


තාම ගොඩක් මහන්සි වෙන්න, නිදිවරන්න අමාරුයි. ඒ නිසා මාසෙකට ප්‍රසංග දෙකක් හෝ තුනක් විතරක් භාරගන්න තීරණය කළා. ඉදිරියෙදි බලමුකෝ.


සනීප වුණාට පස්සෙ තිබුණු පළවෙනි ප්‍රසංගය ගැන මොකද හිතෙන්නේ?


ඒක තිබුණෙ නෙළුම් කුලුන පරිශ්‍රයේ. දහඅටදාහක් විසිදාහක් විතර සෙනඟක් හිටියා. හැමෝම මාව බලාපොරොත්තුවෙන් හිටිය නිසා මං දැනගත්තා සෙනඟ ඉඳීවි කියලා. සෙනඟ පාලනය කරගන්නත් අමාරු වුණා. VIP වෙන්කරල තිබුණේ. ඒත් අන්තිමට VIP අයින් කරලා ඔක්කොම එකක් කරන්න වුණා. පොඩි ගැටලුකාරී තත්ත්වයක් උදා වුණත් ඔවුන්ගෙන් සමාව අරන් ෂෝ එක හොඳින් කරගන්න අවස්ථාව ලැබුණා. ප්ලේ කළේ මේ දවස්වල ජනප්‍රියම සරිත්, සුරිත් බෑන්ඩ් එක. භාතිය සංතුෂ්, හානා, ඉරාජ්, සෙන්ටිග්‍රේට්ල ගායනයෙන් සම්බන්ධ වුණා. හැමෝම මාව බලාපොරොත්තුවෙන් හිටියෙ කියල දැනුණා. හැමදාම වගේ ඔවුන්ගේ ආදරය උපරිමයෙන්ම ලැබුණා. ඊට අමතරව පහුගිය දවස්වල ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය විදෙස් සංචාර කිහිපයකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ආයෙම ඔක්තෝබර්, නොවැම්බර් සංචාර කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා.


පහුගිය දවස්වල රටක නෙවෙයි ලොවක ආදරය, ආශීර්වාදය ලබන්න තරම් ඔබ වාසනාවන්ත වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ මහන්සිය වගේම මගේ ආදරණීය රසිකයන්ගේ ආශීර්වාදය මේ තරම් ඉක්මනින් සුවපත්වෙන්න ප්‍රබල මට හේතුවක් වුණා. මං වෙනුවෙන් රට පුරා බෝධි පූජා පැවැත්වුණා. සිරීපාද පාරෙ පවා මගේ කටවුට් ගහලා ආශීර්වාදය පතලා තිබුණා. එක රසිකයෙක් ඔහුගේ ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම මගේ පින්තූරවලින්, ගී පදවලින් පේන්ට් කරල තිබුණා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. ඒ ආදරේට මාත් හරිම ආදරෙයි.


ඔබ ස්ටේජ් එක උඩ නොසෙල්වී ගීත ගයන කෙනෙක් වුණත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල කිසිම අඩුවක් නෑ. මොකක්ද රහස?


අනේ මන්ද ඉතින්, මටත් හිතාගන්න බෑ. ඒක මං එලවල ගිහින් ලබාගත්ත දේකුත් නෙවෙයි. මගේ ස්ටයිල් එක දඟළල, කෑගහල, හූ තියල කරන්නත් බෑ. අනිත් එක මං සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක්. බොරුවට පොරෝගෙන නෑ. ඕනෙම කෙනෙක් එක්ක කතාබහ කරලා පොළොවෙ පයගහල ජීවත් වෙන නිසා වෙන්න ඇති ඒ ආදරේ ලැබෙන්නෙ.


ඔබේ ගීත අතරින් ඔබ වඩාත් කැමති ගීත ඇති?


ජනප්‍රිය ඒව අතරින් ‘ඔය සුසුම් පවන් වැදී, සඳට සඳ එළියට, අමාවකට අත වනනා’ වගේ ගීතවලට කැමතියි. ගොඩක් ජනප්‍රිය නොවුණු ඒවලින් ‘තව ටික කාලෙකින් මියැදේවි පුතේ, ඇතුගල කන්ද’ ගීතවලට කැමතියි.


පහුගිය දවස්වල දිවා රෑ නොබලා ඔබ වෙනුවෙන් වෙහෙසුණු ඇය ගැනත් කියමු?


ඇය මගේ ආදරණීය බිරිය ප්‍රසංගි වීරසිංහ. ඇත්තටම මාත් නැතුව ඒ කාලය ඇයට ගොඩක් දුෂ්කර වෙන්න ඇති. තුන් වේලටම කෑම හදාගෙන හැමදාම මාව බලන්න ආවා. සමහර බෙහෙත් හොයාගන්න ඇය ගොඩක් වෙහෙසිලා තිබුණා. ඒ වගේ වෙහෙස මහන්සිවෙලා මාව බලාගත්ත එක සතුටක්. ඇය මගෙ ජීවිතේට ලැබීම මගේ වාසනාවක්.


ඒ හමුවීම ගැනත් කියමු?


මගේ හොඳම යාළුවෙක් යාළුවෙලා හිටියෙ ප්‍රසංගිගෙ හොඳම යාළුවගෙ අක්කා එක්ක. ඒ දවස්වල එයා උසස් පෙළ කරන කාලේ. යාළුවගෙ ගෙදර නැවතිලා හිටියා පාඩම් කරන්න. මගේ ෂෝ එකක් තිබුණා ඒ ගෙවල් ළඟ. ෂෝ එකට ගිහින් යාළුවත් එක්ක ඒ ගෙදරට ගිය වෙලාවෙ තමයි එයාව මුලින්ම දැක්කෙ. එතැනදි හඳුනගෙන කතාබහ කළා. එක පාරටම එයා කැමති වුණෙත් නෑ. කාලයක් ගිහින් තමයි කැමැත්ත ලැබිලා, ආදරය කරලා, විවාහය දක්වා ගියේ.


ඔබ ජනප්‍රිය කෙනෙක් නිසා ගෙවල්වලින් ගැටලුවක් වුණේ නැද්ද?


අපේ ගෙදරින් නම් කිසිම ගැටලුවක් වුණේ නෑ. ඒත් එයාලගෙ ගෙදරින් එකපාරට කැමති වුණේ නෑ. ඒ වෙද්දි එයා ඉගෙන ගන්න නිසා එච්චර ඉක්මනට විවාහයක් කරල දෙන්න එයාලගෙ ගෙදරින් කැමති වුණේ නෑ. ටික කාලයක් ගියා කැමැත්ත ගන්න.


චුටි පුතා එක්ක ලබන අත්දැකීම් ගැනත් කියමු?


එයා නිසා දැන් වැඩිපුර ගෙදර රැඳෙනවා. මේ දවස්වල එයා මාව සෙල්ලම් බඩුවක් කරගෙන ඉන්නෙ. ඒ වගේම මගේ දුවත් දැන් අපිත් එක්ක ඉන්නෙ. එයා නේවාසික ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරනවා.


පුතා තාම පොඩියිනේ. එයාගෙ ප්‍රතිචාර කොහොමද?


ඔව්. එයාට තාම අවුරුදු 5යි. ‘මතකයන් ඔබේ, රෝස පෙති අතුරාලා’ වගේ සින්දුවලට එයත් ආසයි. සමහර වෙලාවට වචන මුමුණනව ඇහෙනවා. ඒත් කියන්න කිව්වට ජීවිතේට කියන්නෙ නෑ.


ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?


අලුත් සින්දු දෙකක් මේ වෙද්දි රිලීස් කරල තියෙනවා. තව හතරක් පහක් කරලත් තියෙනවා. ඒවත් හෙමින් හෙමින් එළියට දානවා. තාම වෙහෙසෙන්න හොඳ නැති නිසා ප්‍රසංග ගණන සීමා කරගන්නත් එක්ක ප්‍රසංගවලට අයකරන ගාණ මං පොඩ්ඩක් වැඩි කළා. ඒකත් කියන්න ඕන කියල හිතුවා.


චාමර එහෙම කතාබහ අවසන් කරනවත් එක්කම අපි ප්‍රසංගිව අපේ කතාබහට එක් කරගත්තා.


පහුගිය දවස්වල ලොකු රවුමක් ගිහින් ආවා කියලා ආරංචියි?


ඔව්. ඔව්. චාමරගෙ විදෙස් සංචාර කිහිපයකට සහභාගි වුණා. බබාටත් නර්සරි නිවාඩුයිනෙ. මේ මාසෙ මුල තිබුණෙ ජපන් ටුවර් එක. ඒක ඉවර වෙලා ඔස්ට්‍රේලියාවේ ගියා. එ් ගමන්ම නවසීලන්තෙ ගියා. ඒකත් ඉවර වෙලා තමයි ලංකාවට ආවේ.


චාමරට තියෙන ප්‍රේක්ෂක ආදරේ පහුගිය දවස්වල ඔබටත් දැනෙන්න ඇති. ඒ ගැන මොකද හිතෙන්නෙ?


ඒ කාලය නම් මතක් වෙද්දිත් දුකයි. එයාට ගොඩක් අමාරු වුණා. ඩොක්ටර්ස්ල කිව්ව හරියටම දෙයක් කියන්නත් බෑ කියලා. ඒ අතරේ වැරදි නිව්ස් ගියා. ඒත් අපි අතහැරියෙ නෑ. ඒ වෙලාවෙ ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලොකු ආශීර්වාදයක් වුණා. බොහෝදෙනා බෝධි පූජා තියලා සෙත් පැතුවා. හිතින් හරි ප්‍රාර්ථනා කළ පිරිස හිටියා. ඒ හැම ආශීර්වාදයක්ම චාමරගෙ ඉක්මන් සුවයට හේතුවක් වුණ බව සහතිකයි. ඔවුන් ඒ දේවල් කළේ හදවතින්මයි. අපිත් පුළුවන් හැමදේම කළා. ඇත්තටම ඒ හිටපු තත්ත්වයක් එක්ක මේ තරම් ඉක්මනින් සුවපත් වුණා කියන්නෙ පුදුමයක් තමයි. හැම දෙනාටම ගොඩක්ම ස්තුතියි.


ඔබට චාමරව මුණගැහෙන්නෙ පාසල් වියේදි?


ඔව්. ඒ වෙද්දි මං උසස් පෙළ කරනවා. මං මගේ හොඳම යාළුවත් එක්ක පාඩම් කළේ ඇගේ ගෙදර නැවතිලා. ඒ ගේ ළඟ සංගීත ප්‍රසංගයක් තිබුණා. යාළුවගෙ අක්කා යාළුවෙලා හිටිය අයියා චාමරගෙ හොඳම යාළුවෙක්. චාමර ඒ අයියත් එක්ක එදා යාළුවගෙ ගෙදර ආපු වෙලාවෙ තමයි මුලින්ම අඳුනගෙන කතා කළේ. ඒ කාලෙ මට ලොකු තේරුමක් තිබුණෙ නෑ. මුලින්ම කැමැති වුණේ නෑ. පස්සෙ කතාබහ කරද්දි හොඳයි කියලා හිතුණා. දන්නෙම නැතුව මමත් කැමති වෙලා.


ප්‍රසංගි දැනන් හිටියද ඒ වෙද්දි චාමර ජනප්‍රිය කෙනෙක් කියලා?


මං එයාගෙ සමහර සින්දු අහල තිබුණා. ජනප්‍රිය කෙනෙක් කියන එක ගැන මට ඒ තරම් තේරුමක් තිබුණෙ නෑ. විවාහ වෙද්දිත් මට අවුරුදු විස්සක් වගේ. එයත් එක්ක ජීවත් වෙන්න ගත්තට පස්සෙ තමයි ජනප්‍රියත්වය කියන එක ලොකුවටම තේරුණේ.


චාමරගෙ ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


මේ වෙද්දි නම් එයාගෙ අම්මා තාත්තා දෙන්නම නැහැ. අක්කල අයියලා හැමෝම උදවු කරනවා.


චාමර කියන්නෙ රටක්ම ආදරේ කරන කෙනෙක්. ඒ ආදරේ ගැටලුවක් වෙලා නැද්ද?


මුලින් මුලින් නම් හරිම අමාරු වුණා. පොඩි පොඩි හිත් රිදීම් ඇතිවෙලා තියෙනවා. පස්සෙ පස්සෙ මං තේරුම් ගත්තා. දැන්නම් ඒක ගැටලුවක්ම නෑ. අපි තේරුම් අරන් හොඳින් ඉන්නවා. මේ වෙද්දි නම් එයා වැඩිය ෆෝන් එකවත් ආන්සර් කරන්නෙ නෑ. මමම තමයි ගන්නෙ.


ජනප්‍රියත්වය නිසා අපහසුතාවලට ලක්වුණු අවස්ථා ඇති?


පෞද්ගලික ජීවිතේට නම් ටිකක් අපහසුයි. එකට ගමනක් ගියත් එයාට අපිත් එක්ක ඉන්න වෙලාවක් නැති තරම්. කොහේ ගියත් රසිකයො වටකරගෙන කතා කරනවා. සෙල්ෆි ගහනවා. එයත් ඉතින් කාගෙවත් හිතක් රිද්දන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ අවස්ථා මඟහරින්නෑ. එයා ඒවට හරි කැමතියි. අපිට තමයි ඉතින් වෙලාව නැතිවෙන්නෙ.


ගෙදර වැඩවලට චාමරගෙන් ලැබෙන සහයෝහය ගැන කතා කරලම කතාබහට සමුදෙමු?


ගෙදර වැඩවලට නම් මං එයාව සම්බන්ධ කරගන්නෙ නෑ. රෑ ෂෝවලට ගිහින් ආවම එයාට නිදාගන්න ඕනනේ. දැන් නම් එහෙම ෂෝවලට යැවෙන්නෙ නෑ. ඒත් ආරාධනාවලින් නම් අඩුවක් නෑ. දැනට සීමා කරල තියෙන්නේ. පුතාටත් ලබන නොවැම්බර්වලට අවුරුදු 5 ලබනවා. එයා අකේන් ආශිංස වීරසිංහ. එයා දැන් නර්සරි ගිහින් ඉවරවෙලා ඉස්කෝලෙ යන්න බලාගෙන ඉන්නවා.



Previous Post Next Post