විශ්වාස කරන්න දාහතර වතාවක් එයා මගේ කම්මුලට ගැහුවා

 


ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කළ ‘කම්බිලි’ සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අමිල කරුණානායකයි. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

ප්‍රසාද් සහ මම මුලින්ම මුණගැහුණේ රොෂාන් ප්‍රනාන්දු අයියාගේ මියුසික් වීඩියෝවකින්. ප්‍රසාද් ඒ වනවිට හොඳ ‘මියුසික් වීඩියෝ’ අධ්‍යක්ෂවරයෙක්. රොෂාන් අයියා ගායනා කළ ‘අමතක නොවනා මතක’ නම් වීඩියෝව සටන් ජවනිකා සමඟ කරන නිර්මාණයක් වුණා. ඒ දවස්වල ඉඳන් මාත් සමඟ සිනමාපටයක් කරන්න ප්‍රසාද්ගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඔය අතරේ ප්‍රසාද් සමඟ මියුසික් වීඩියෝ අටක් පමණ එකතුවෙලා කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමයි ප්‍රසාද්ගේ ‘කම්බිලි’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

ප්‍රසාද්ගේ කුළුදුල් අධ්‍යක්ෂණය ‘කම්බිලි’ සිනමා පටයයි. ඔහු මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද?

ඔහු බොහෝ ජාත්‍යන්තර චිත්‍රපට නරඹන, ශ්‍රී ලාංකික සිනමාවට අවශ්‍යම තරුණ අධ්‍යක්ෂවරයෙක් විදිහට මම දකිනවා. ඒ දවස්වල ඉඳන්ම ප්‍රසාද්ට වාණිජ සිනමාව වෙනුවෙන් නිර්මාණයක් කරන්න ලොකු උවමනාවක් තිබුණා. ප්‍රසාද් වගේ අධ්‍යක්ෂවරුන් ශ්‍රී ලාංකික සිනමාවට බිහිවෙන්නම ඕනෑ. ඒ තුළින් තමයි අපේ පැවැත්ම තියෙන්නේ කියලයි මම විශ්වාස කරන්නේ. පෞද්ගලිකව මමත් වාණිජ සිනමාවට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. ඔහුගේ ආරම්භය අපේ සිනමාවට ලොකු වාසනාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

‘කම්බිලි’ සිනමාපටය රූගත කිරීමේදී ලබපු අත්දැකීම් කොහොමද?

‘කම්බිලි’ සිනමා පටයේ ප්‍රවීණ අය වගේම නවක පිරිසත් හිටියා. ඒ නිසා මේ චිත්‍රපටය සාර්ථක කරගන්න අපි හැමදෙනාගේම උනන්දුව තිබුණා. ඒ අතරේ වැරදුණු අවස්ථා තිබුණා. මේ චිත්‍රපටය පුරාවට කණ්ඩායම් හැඟීම උපරිමයෙන්ම තිබුණා. මෙය ප්‍රවීණ හා නවක අයගේ මුසුවකින් නිර්මාණ වුණු නිර්මාණයක්. ප්‍රවීණ අය එක්ක වැඩ කිරීමම අපිට ලොකු පන්නරයක් වුණා. නෙත්මි එක්ක මම දායක වූ පළවෙනි නිර්මාණයත් මේ ‘කම්බිලි’  චිත්‍රපටයයි.

නෙත්මිව වැට්ටුවාද.. වැටුණද?

ඇත්තටම වැටුණා. මුලින්ම නෙත්මිව බයිසිකලේ තියාගෙන යන දර්ශනයක් රූගත කිරීම් කරන්න තිබුණා. පිටපතේ හැටියට ඇය බයිසිකලේ පැත්තට වාඩිවෙන්න ඕනෑ. අල්ලගන්නත් බැහැ. ඔන්න ඉතින් එයත් වාඩි වුණා. මාත් බයිසිකලේ ‘ස්ටාර්ට්’ කරලා ඉස්සරහට ගියා. මීටර් දහයක් විතර ඉස්සරහට ගිහින් බලද්දි පිටිපස්සේ හිටපු නෙත්මි බයිසිකලේ නැහැ. බලද්දි නෙත්මි බයිසිකලෙන් වැටිලා. කට්ටිය ඔක්කොම වටවෙලා. එතැනින් පස්සේ නෙත්මි බයිසිකලේ යන්න බයයි.

නෙත්මිගෙන් අමිල කී පාරක් කම්මුල් පහරවල් කෑවද?

අම්මෝ... ඒකත් අමතක නොවන අත්දැකීමක්ම තමයි. නෙත්මි පළවෙනි වතාවට තමයි එහෙම නිර්මාණයකට හෝ කෙනකුට කම්මුල් පහරවල් ගහලා තිබුණේ. ඒ බයට එයා වේගයෙන් ගැහුවේ නැහැ. ඒ නිසා නැවත නැවතත් ඒ කොටස රූගත කිරීම් කළා. විශ්වාස කරන්න, දාහතර වැනි වතාවට තමයි එයා මගේ කම්මුලට හරියට ගැහුවේ. ගහන හැම වතාවකම කණ්ඩායමේ කට්ටිය පහයි හයයි හතයි කියලා ගණන් කළා. අවසාන වතාවට ගහන්න කලින් “අනේ නංගි හෙමින් ගහන්න... දැන්නම් ඇති”  කියලා මට කියවුණා. ඒ වගේ සුන්දර අත්දැකීම් බොහොමයක් කම්බිලි චිත්‍රපටයේ තිබුණා.

පැය ගාණක් ‘කම්බිලි’ නිසා මඩේ නාන්නත් වුණා නේද?

ඔව්... අන්තිම දර්ශනයේ දී අපිට වෙලක ගහගන්න තිබුණා. වෙලට බහින්න කලින් අපි මී උණට පෙති බීලයි වෙලට බැස්සේ. අපි වෙලට රෑ හතහමාරට බැහැලා උදේ පාන්දර හය වෙනතුරු ඒ සටන් ජවනිකාව ඇතුළත් පොඩි කොටස රූගත කිරීම් කළා. ඒකට පුදුම කැප කිරීමක් කළා. අපේ කන්වල, ඇස්වල මඩ ගොඩයි. පහුවදා ගෙදර ඇවිල්ලත් දවසක් විතර ඒ මඩ හේදුවා.

එවැනි සුන්දර කැපකිරීම් එක්ක කළ ‘කම්බිලි’ අද තිරගත වෙනවා. මොකද හිතෙන්නේ?

සිනමාපටය ගැන ලොකු සතුටක් තියෙනවා. චිත්‍රපටය නැරඹූ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “මේ පැය දෙක පුරාවට කම්මැලියක් නැතුව කම්බිලි බැලුවා” කියලා හැමෝම කියනවා. චිත්‍රපටය පුරාවට ලස්සන සින්දු, ආදරය, සටන් ජවනිකා, හාස්‍ය මුසු තැන්, කුතුහලය තියෙනවා. බාචි සුසාන්, කාංචනා අනුරාධි, රයිනි තාරුකා වැනි  ප්‍රධාන පෙළේ ගායක ගායිකාවන් මේකට සම්බන්ධවෙලා ඉන්නවා. මම දකින විදියට ප්‍රේක්ෂකයන් මේක විඳින බව මට දැනෙනවා. අපි වගේ රංගන ශිල්පීන්ට හැදෙන නිර්මාණ ලංකාවේ හරි අඩුයි. මෙවැනි නිර්මාණ එවැනි රංගන ශිල්පීන්ට හොඳ අවස්ථාවක්. ඒ නිසා ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේක අපිට හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා.

අමිලගේ වැඩි නැඹුරුව සිනමාවට නේද?

ඔව්... ඔය අතරේ මම ටෙලිනාට්‍ය කරලා තියෙනවා. හැබැයි සිනමා නිර්මාණවලට මගේ වැඩි කැමැත්තක් තියෙනවා. සමාජය තුළත් මම සිනමා රංගන ශිල්පියෙක් විදියට තමයි බොහෝ දෙනා හඳුනන්නේ.

මේ දවස්වල නියැලිලා සිටින වෙනත් නිර්මාණ මොනවාද?

මම මාලදිව‍යින් අධ්‍යක්ෂවරයෙක්ගේ ‘කෞෂි’ සිනමාපටයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒකෙ වැඩ කටයුතු අවසාන කරලයි  තියෙන්නේ. වාසිරි සමරනායක අධ්‍යක්ෂණය කළ ‘රජ දහන’ චිත්‍රපටයෙත් වැඩ අවසානයි. තව චිත්‍රපට දෙකකට අවස්ථාව ලැබිලයි තියෙන්නේ. ඔක්තෝබර් මාසයේ දී ඒවා රූගත කිරීම් පටන් ගන්නවා.

මේ හැමදේම නිදහසේ කරගෙන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මේ හැමදේකදීම බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. සිනමාව කියන්නේ ලොකු කැපවීමක් කරන්න ඕනෑ ක්ෂේත්‍රයක්. නිර්මාණ එක්ක ඉඳිද්දි නිරවුල් මනසකින් වැඩ කරන්න ඕනෑ. මගේ ආසාව වෙනුවෙන් මගේ ගෙදර අය ලොකු කැපකිරීමක් කරනවා. නිර්මාණවලට සම්බන්ධ වුණාට පස්සේ අපිට දරුවන් එක්ක ඉන්න ලැබෙන කාලය අඩු වෙනවා. ගෙදර ගියත් අපි නිර්මාණ ගැන කතා කර කර ඉඳීවි. ඒ නිසා   හිතට ලබා දෙන නිදහස අගය කරන්න ඕනෑ. මගේ පුතා දැන් පාසල් අධ්‍යාපනය ලබනවා. දුවට වයස අවුරුදු හතරයි. පුතා පොඩි වුණාට පරිගණකය, දුරකථන එක්ක වැඩිපුර ඉන්න දරුවෙක්. එයාට කලාව එතරම් දැනෙන්නේ නැහැ. දුවට නම් කලාව ගැන ආසාවක් තියෙනවා. එයා මගේ සින්දු බලනවා. සින්දු අහනවා. නටනවා. මගේ බිරිඳ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. එයා පෞද්ගලික ආයතනයක ව්‍යාපෘති කළමනාකාරිණියක් ලෙසින් කටයුතු කරනවා.

සිනමා රංගන ශිල්පියෙක් ලෙසින් ගෙවන මේ ජීවිතය ගැන අද මොකද හිතෙන්නේ?

සිනමා නළුවෙක් වෙන්න මට කාලයක් ගත වුණා. නිරූපණ  ශිල්පියෙක්ගෙන් පටන් අරගෙන අද සිනමාව තුළ රැඳෙන්න අවස්ථාව උදා වෙලා. මට ඒ වෙනුවෙන් කාලයක් ගත වුණා. ඒ කාලේ අත නොහැර රැඳී සිටීමම අද මෙතැනට එන්න හේතු වුණා. ලංකාවේ වගේ රටක සිනමා නළුවෙක් වෙලා නමක් හදාගන්න ලෙහෙසි නැහැ. හැමෝම සිනමාව තුළ රැඳෙන්න කැමතියි. මම මේ වෙනුවෙන් කැපකිරීම් කළා. අත්දැකීම් ලබාගත්තා. ඉතින් සිනමාව තුළ රැඳී සිටීම ගැන මට ලොකු සතුටක් තියෙනවා.

• දිශානි ජයමාලි
•  සුමුදු හේවාපතිරණ



Previous Post Next Post