100%ක් කරන්න බැරි දේවල් මම බාරගන්නෙ නෑ -නෙත්මි රොෂෙල්



මේ දිනවල තිරගත වන කා අතරත් ජනප්‍රිය ‘කම්බිලි’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ඇය රසික නෙත් සිත් වශී කරගත් දක්‍ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඇයගේ දක්‍ෂ රංගන විලාසයන් වගේම සුන්දර සිනහවත් ආදරණීය කතාබහත් රසික හදවත් තුළ නොමැකෙන මතක සටහන් තබා අවසන්. රංගනයට වගේම නිවේදනයටත් උපන් හපන් දස්කම් දක්වන ඇය නමින් නෙත්මි රොෂෙල්. ඉතින් මෙවර මේ සොඳුරු කතාබහ එක් කළේ ඇයයි.


ඉතින් මේ දිනවල ඔබේ වැඩකටයුතු කොහොමද?


“ගොඩක් හොඳින් මේ දිනවල කාලය ගෙවී යනවා. ‘කම්බිලි’ චිත්‍රපටය රිලීස් වීමත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉතින් අපි අපේ රසිකයන් බලන්නත් යනවා. අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මං රංගනයෙන් දායක වන ‘පාරාදීසේ’ ටෙලි නාට්‍යයත් මේ දිනවල ටෙලිකාස්ට් වෙන්න පටන් ගත්තා. ඒ වැඩකටයුතුත් එක්ක ගොඩක් සතුටෙන් ඉන්නවා.”


‘කම්බිලි’ චිත්‍රපටයේ ඔබේ චරිතය ගැනත් විස්තර ටිකක් කතා කරමු?


“මං කම්බිලි චිත්‍රපටයේ පණ පොවන්නේ ‘සමාධි’ගේ චරිතයට. සමාධි කියන්නේ මං හරිම ආදරයෙන්, ආසාවෙන් භාර ගත්තු චරිතයක්. දඟකාර කටකාර හරි ආදරණීය චරිතයක්. ඒ වගේම තාත්තව තමන්ගේ මුළු ජීවිතේම කරගත්තු ආදරය හොයන ගැහැනු ළමයෙක්. ඒක හරි ලස්සන කතාවක්. ‘සමාධි’ගේ චරිතයට මං උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. ඒ වගේම තමයි ‘කම්බිලි’ කියන්නේ ආදර කතාවක් විතරක් නෙවෙයි. කතාව ඇතුළේ සමාජයට ලොකු පණිවුඩයක් තබා තිබෙනවා.


කාලීන මාතෘකාවක් හරහා නිර්මාණය වුණු ආදරය, ත්‍රාසය, කුතුහලය පිරුණු හරි ලස්සන කතා පුවතක්.”


‘පාරාදීසේ’ ටෙලි නාට්‍යයේ ඔබ රංගන දායකත්වය ලබා දෙන අහිංසක පාරමීගේ චරිතය ගැනශ්‍රී  කතා කරමු?


පාරමී චරිතයෙන් රංගනයට දායක වන ‘පාරාදීසේ’ ටෙලි නාට්‍ය, ටෙලිකාස්ට් වෙන්න පටන් අරගෙන සති දෙකකටත් අඩු කාලයක් තමයි තවම ගත වෙලා තිබෙන්නේ.


ඒ කාලය තුළ ප්‍රේක්‍ෂකයෝ බොහෝ දෙනකු ‘පාරාදීසේ’ වැලඳගෙන තිබෙනවා. ‘පාරමී’ කියන්නෙම මට හුරුපුරුදු නමක්. මං රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයේ රඟපෑ චරිතයේ නමත් ‘පාරමී’. ඉතින් ගොඩක් දෙනකුට ‘පාරමී’ චරිතයත් එක්ක ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය මතකයට නැඟී තිබුණා. ‘පාරාදීසේ’ පාරමී අහිංසක වුණත් අවශ්‍ය තැනදී කතා කරන පවුල වෙනුවෙන් කතා කරන, පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන චරිතයක්. පටන් අරගෙන ටික කාලයක් වුණත් හොඳ ප්‍රතිචාර දැනටමත් ලැබෙනවා.


ඉතින් මං හරි ආදරරෙයි පාරමී කියන චරිතයට. ඉදිරියටත් ප්‍රේක්‍ෂකයෝ ඒ චරිතය ආදරයෙන් වැලඳ ගනීවි කියලා මට හිතෙනවා. මේක හරි ලස්සන කතාවක්. ඉදිරියට ලොකු වෙනසක් එක්ක කතාව බලන්න පුළුවන් වෙයි.”


ඔබ එකිනෙකට වෙනස් චරිතයන්ගෙන් මේ දිනවල නිර්මාණ කිහිපයකින් දකින්න පුළුවන් නේද?


“මං හිතන විධියට රංගන ශිල්පීන් වන අපි හැමෝම වෙනස් චරිත කරන්න කැමැතියි. ඉතින් මටත් එකිනෙකට වෙනස් චරිත ලැබිලා තිබෙනවා. හැම වෙලේම මං රොෂෙල්ගෙන් අෑත්වෙලා මට ලැබෙන චරිතය ගැන ඩිරෙක්ටර් සහ පිටපත් රචකයා එම චරිතය දකින්නේ කොහොමද කියලා කතා කරනවා. සමාධිගේ චරිතය ගැන කතා කළොත් ප්‍රසාද් හා නිදුක් කතාව ගොඩනඟද්දීම මාව චරිතයට සුදුසුයි කියලා හිතාගෙන තමයි කතාව ලියලා තිබෙන්නේ. රොෂෙල් කියන මගේ චරිතය දිහා බලද්දීත් දඟකාරකමක්, අහිංසක බවක් පේනවලු. ඉතින් මට මගෙන් ලොකු දෙයක් නිර්මාණයට ගන්න වගේම මට මගෙන් වෙනස් කරගන්න අවශ්‍ය කොටසකුත් ඒ නිර්මාණවල ඇතුළත් කරලා තිබුණා.


මං හැමවෙලේම චරිතයට උපරිම සාධාරණයක් කරන්න බලනවා. ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින චරිතයක් කරන්න උත්සාහ කරනවා. දෙවැනි ඉනිමේ ආක්ෂා, ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ පාරමී, සමාධි ඒ වගේ කැරැක්ටර් එකේ නමින් තමයි ගොඩක් අය මට කතා කරන්නේ. මට රොෂෙල් කියනවට වඩා කැරැක්ටර් එකේ නමින් කතා කරනවාට ආසයි.”


ඔබ චරිතයක් තෝරා ගැනීමේදී ඔබට වෙන් කරගත් නිර්ණායක තිබෙනවාද?


“ඔව්… අනිවාර්යයෙන්ම. හැමෝම තමාටම දාගත්තු සීමා සහ නිර්ණායක තිබෙනවා කියලා මං හිතනවා. මට ස්ක්‍රිප්ට් එකක් ලැබුණම මුලින්ම බලන්නේ ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්ද කියලයි. මම චරිතයක් භාරගන්න කලින් ඩිරෙක්ටර් එක්ක කතා කරනවා. ඉන් පසුව ඒ චරිතය වෙනුවෙන් ඔවුන් දකින දේ සහ මගෙන් බලාපොරොත්තු වන දේ මට සීයට සීයක් කරන්න නොහැකි වෙයි කියලා හිතුණොත් මං කීයටවත් ඒ චරිතය භාර ගන්නේ නැහැ. මොකද ඒක මං සමස්ත නිර්මාණයටම කරන අසාධාරණයක්. මට කරන්න පුළුවන් දෙයක් නම් තමයි භාර ගන්නේ.”


ඔබ රංගනයට වගේම නිවේදනයටත් දස්කම් දක්වනවා. ඉදිරියටත් මේ ක්‍ෂේත්‍ර ද්විත්වයෙන්ම ඔබව දකින්න පුළුවන්ද?


“අනිවාර්යයෙන්ම. මං හැමවෙලේම මට ගැළපෙන, මං ආස දේවල් කරන කෙනෙක්. ලිට්ල් ස්ටාර් වැඩසටහනෙත් පුංචි පොඩිත්තෝ එක්ක එකතු වෙලා අවුරුද්දක ආසන්න කාලයක් ඒ වැඩසටහන ලස්සනට කළා. මං නිවේදනයටත් හරි ආස කෙනෙක්. ඉතින් පුංචි තිරයෙන්, රිදී තිරයෙත්, නිවේදන කටයුතුවලින් ඉදිරියටත් මං ප්‍රේක්‍ෂකයෝ අතරට එනවා.”


කලා ක්‍ෂේත්‍රයට නවක කලා පරපුරෙන් එක් වූවකු ලෙස ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන අත්දැකීම් ගැනත් මතක් කරමුද?


“ඒක මං මතක් කරන්නම ඕන. ‘කම්බිලි’ නිර්මාණය ගැන කතා කළොත් ප්‍රවීණයෝ බොහොමයක් එක් වූ නිර්මාණයක්. බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, නීටා ෆර්නෑන්ඩෝ, ධර්මප්‍රිය ඩයස්, සමිත සුධීෂ්වර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්  හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. තවම රංගනය හදාරමින් ඉදිරියට යන අපි වගේ අයට ප්‍රවීණයන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ හැමෝගෙන්ම මට හැම නිර්මාණයකදීම ලොකු සහයෝගයක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.”


ඔබේ රංගන දිවියේ ගමන්මඟ තුළ ලැබුණු අභියෝග ගැනත් කතා කරමු?


“මේ අවුරුදු පහ ඇතුළේ මට ලැබුණු හැම දෙයක්ම අභියෝගයන් විධියට දකිනවා. චරිතයක් රඟපා අවසන් වනතුරු එය අභියෝගයක්. අපි අපේ සැබෑ චරිතෙන් මිදිලා අපිට ලැබෙන චරිතය වෙනුවෙන්ම ගොඩනැඟෙන්න ඕනෑ. එතැනදී අපිට එම කාර්යය අභියෝගයක් වුණොත් තමයි එය මතක හිටින නිර්මාණයක් වෙන්නේ. ඉතින් මම මතක ගොඩක් එකතු කරගෙන ලස්සනට මේ ගමන යනවා.”


ඉදිරියේදී ඔබ කරන්න කැමැති වෙනස් විධියේ චරිතයක් ගැන ඔබට අදහසක් තිබෙනවාද?


“මං මට ආස විධියේ චරිත කළා. ඒ වගේම ඇස් නොපෙනෙන කෙනකුගේ චරිතයක් කරන්න හිතේ ආසාවක් තිබෙනවා. යාචකයකුගේ චරිතයකට රංගනයෙන් දායක වන්නත් කැමැත්තක් තිබෙනවා.”


රොෂෙල් කියන්නේ රසික ආදරය නොඅඩුව ලැබෙන සුරූපී තරුණ රංගන ශිල්පිනියක්. රසික ආදරය ඔබට දැනෙන්නේ කොහොමද?


“රංගන ශිල්පිනියක් විධියට මං මූලිකවම සතුටු වන දේ තමයි රසික ආදරය කියන්නේ. ඉතින් අපි නිර්මාණයක් ප්‍රේක්‍ෂකයන්ට ලබා දුන්නම ඒක සාර්ථකව වැලඳ ගන්නවා නම් අපි සාර්ථකයි කියලා හිතනවා. ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරයට මං හරිම ආදරෙයි. ඒ රසික ආදරය තමයි අපිව මෝටිවේට් කරන්නේ.”


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


“ඉදිරියේදී තවත් චිත්‍රපටයක් රිලීස් වෙන්න තිබෙනවා. නේත්‍ර මායා කියලා හරිම ලස්සන නිර්මාණයක්. තව වැඩකටයුතු ටිකක් තිබෙනවා. ඉතින් ඒ ගැනත් ඉදිරියට කියන්නම්.”


රුවිනි අමරකෝන්



Previous Post Next Post