මම රංගනය ගැන කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ-කවිහාරි හපුතන්ත්‍රි



දිනෙන් දින කලා ක්ෂේත්‍රයට නව මුහුණු එක්කාසු වෙනවා. ඇතැම් කලා තරු රංගන ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කොට දිගු ගමනක් පියවර තබනවා. එහෙම ලස්සන නමක් අනන්‍යතාවක් තබාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමා කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ. පළමු ටෙලිනාට්‍යයෙන්ම තම ජනප්‍රියත්වය එක ලෙස රඳවාගැනීමට කවිහාරිට නැතිනම් ජානුට පුළුවන් වුණා. ඉතින් අද පිනිපලසේ සුහද පිළිසඳර කවිහාරි සමගයි.








කොහොමද මේ දවස් ගතවෙන්නේ?




ඉතාමත් හොඳින් මේ දවස් ගත කරමින් සිටිනවා. ජානු සමග තමයි ගොඩක් කාලය ගතවෙන්නේ. ඊට අමතරව මම travel with us කියලා you tube චැනල් එකක් පටන් ගත්තා. ඒකට video කරන්න රට වටේම තියන ලස්සන තැන්වල ඇවිදිනවා.




මුලදි ලැබුණ ප්‍රතිචාර ඒ විධියටම ජානුට ලැබෙනවද?




ඔව්. අනිවාර්යයෙන් .මුලදි ලැබුණු ප්‍රතිචාර මැදදි වෙනස් වුණා. එයට හේතුව තමයි ජානුගේ චරිතයත් මැදදි ටිකක් නපුරු චරිතයක් වුණ නිසා. ඒත් එක්කම ගොඩක් හම්බවුණේ බැණුම්. නමුත් දැන් ජානුගේ චරිතය හොඳ වුණ නිසා ගොඩක් අය හොඳ කියනවා. කොහොමත් ජානුට කැමැති කට්ටිය ගොඩක් ඉන්න නිසා හොඳ ප්‍රතිචාරයි නරක ප්‍රතිචාරයි සම සමව ලැබෙනවා.




ඇයි මේ කවිහාරි ජානුටම කොටුවෙලා ඉන්නේ?




ඇත්තටම ටෙලිනාට්‍ය විස්සකට තිහකට වගේ ආරාධනා ලැබුණා. නමුත් ජානු කියන්නේ මගෙ පළමු ටෙලිනාට්‍ය වගේම මගේ පළමු චරිතය. ඒ නිසා මම කැමැති නැහැ වෙනත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න. එයට හේතුව ගත්තොත් මම ආසයි ජානු කියන නම ජානුට ආස අයට ඒ විධියට හැමදාම මතක තියනවට. වෙනත් චරිතයක් මම භාර ගත්තොත් ජානු චරිතය එතනින් වෙන් වෙනවා සහ ජානු චරිතය වෙන විධියකටත් ප්‍රේක්ෂකයා දකිනවා. ඒ නිසා ජානු ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් ඉවර වෙලා විකාශයත් අවසන් වුණාම වෙන ටෙලිනාට්‍යයක් භාර ගන්නවා.




රංගන ක්ෂේත්‍රයේ දිගුකාලීන පැවැත්මක් වෙනුවෙන් ඔබ කරන කැපකිරීම් මොනවද?




මම ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පිනියක්. නමුත් මම ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර දෙකක් පමණ වෙනවා. අද වෙනකම් මේ ක්ෂේත්‍රය තුළ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මම හිතනවා ඒ මම හැමෝම එක්ක හොඳින් කතා බහ කරලා ඉන්න නිසා වෙන්න ඇති කියලා. නමුත් ඇතැම් අය කියනවා මම ටිකක් පණ්ඩිතයි ලොකු සීන් කියලා. මම දන්න කියන අය සමග පමණයි කතා බහ කරන්නේ. ඒ හින්දා මම පණ්ඩිතයි කියනවා ඇති. මම නොදන්න අය සමග කතාවට යන්නෙ නැහැ. ඇත්තම හේතුව මම අලුත් කෙනෙක් නිසා ටිකක් කතා කරන්න ලැජ්ජයි. මොකද එයාලා මාව මොන විධියකට දකියිද කියන චකිතය මට තියනවා. නමුත් මාත් සමග කතා කරන ඕන කෙනෙක් එක්ක මම හොඳට හිනා වෙලා කතා කරනවා.




නවකයෙක් විධියට ඔබේ රංගන ගමනට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?




මම ක්ෂේත්‍රයට එද්දී බලාපොරොත්තු නොවුණ සහයෝගයක් දැනට ජානු ටෙලිනාට්‍යයේ සිටින ප්‍රවීණයන්ගෙන් මට ලැබෙනවා. ජානු චරිතය මේ තරම් දුරට සාර්ථක කර ගන්න ප්‍රධානම හේතුව තමයි ජානු ටෙලිනාට්‍යයේ ප්‍රවීණයන්ගෙන් මට ලැබෙන සහයෝගය කිව්වොත් මම හරි.


මේ ක්ෂේත්‍රය තුළ කවිහාරි මුහුණ දුන් අභියෝග කොයි වගේද?








ක්ෂේත්‍රයට එන්න පුළුවන් වීමම ලොකු අභියෝගයක්. මම කියන්නේ පොඩි කාලයේ ඉඳන්ම රඟපාන්න කිසිම ආසාවක් නොතිබුණ කෙනෙක්. ජානු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණත් මම හිතුවේ මට මේ චරිතය කරගන්න පුළුවන් වෙයිද කියන සැකය. මොකද මම රඟපෑම ගැන කිසිම දෙයක් මේ වෙනකම් ඉගෙනගෙන නැති නිසා. ඒ වගේ නොදන්න විෂයක් ප්‍රධාන චරිතයක් සමග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග කරනවා කියන එකම ලොකු අභියෝගයක්. ඉතින් ඉස්සරහට කරන්න ඉන්න කරන්න තියන දේවල් මට අනිවාර්යයෙන් ලොකු අභියෝගයක් වෙයි.




ඔබේ රංගනය තවත් ඔපමට්ටම් කරගැනීමට ඔබ යොදන උපක්‍රම මොනවද?




ඉස්සර මම ටීවී බලන්නෙ නැහැ. නමුත් දැන් ටෙලිනාට්‍ය චිත්‍රපට අනිවාර්යයෙන් බලනවා. අලුතින් ෆිල්ම් එකක් ආවොත් අනිවාර්යයෙන් බලනවා. මොකද මම ටෙලිනාට්‍යවලට වඩා සිනමාවට කැමැතියි. මම චිත්‍රපට බලලා ඒ චරිත ගැන හොඳට අවධානෙන් ඉන්නවා. ඒ අවධානය තුළින් කවදහරි විවිධ චරිත කරන්න මගෙ ස්කීල් හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ඉදිරියේදී ඔබ මෙගා ටෙලිනාට්‍යවලටම කොටු වේවිද?




මෙගා ටෙලිනාට්‍ය හොඳයි. නමුත් මම ලොකුවට මෙගා ටෙලිනාට්‍යවල ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි. මම ආසයි කොටස් හතළිහ පනහත් නිමාවෙන ටෙලිනාට්‍යවලට. නමුත් මගේ ලොකුම අාසාව තමා සිනමා නිළියක් වෙන එක. ෆිල්ම්ස්වලටත් ආරාධනා දෙක තුනක් ලැබුණා. ඒවගෙත් පිටපත් කියවලා තියෙන්නේ. ඉස්සරහට හොඳ නිර්මාණයක් එයි කියලා බලාපොරොත්තු ඉන්නවා.




කවිහාරිට සමාජ මාධ්‍ය ප්‍රතිචාර වැඩියි නේද?




සමාජ මාධ්‍යයෙන් හොඳ ප්‍රතිචාර වගේම ඒ හා සමානවම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. සමාජ මාධ්‍යයෙන් ලැබෙන හොඳවත් නරකවත් ඕනවට වඩා ඔළුවට ගන්න අවශ්‍ය නැහැ. හොඳ කමෙන්ට් එකක් නම් බලලා සතුටු වෙන්න. නරක කමෙන්ට් එකක් නම් ජීවිතේට ගන්න දෙයක් තියනවනම් ඒක බලලා ගන්න. හැබැයි කිසිම දේකට ප්‍රතිචාර දක්වන්නවත් ඕනවට වඩා ඔළුවට දාගෙන ඒ ගැන හිතන්නවත් යන්න ඕන නැහැ. මගේ පෞද්ගලික ජීවිතේ මම එහෙමයි.


ඔබ මේ දක්වා ජීවිතේ ගත්තු හොඳම තීරණය මොකක්ද?




මම මගෙ පවුලට ගොඩක් ආදරෙයි. මම මගේ ජීවිතේ පළමුවෙනි තැන දෙන්නේ මගෙ අම්මටයි තාත්තටයි නංගිලා දෙන්නටයි. මම එයාලට ගොඩක් ආදරෙයි. එතනින් එහාට මට ලෝකයක් නැති තරම්. මේ වෙනකම් මම එයාලගෙ පැත්තේ හිටගෙන එයාලා ගන්න හැම තීරණයකටම එකඟ වුණා. මම හිතනවා ඒක තමයි මම ජීවිතේ ගත්තු හොඳම ලොකුම තීරණය කියලා.




Traveling දැන් ජීවිතේ කොටසක් වෙලා නේද?




මම දැනට ඩුබායිවලට ගිහින් තියනවා. හෙට තායිලන්ඩ්වලට යනවා. ඒ මගේ travel with us කියන you tube චැනල් එකේ බ්ලොග්ස් ටිකකට. තායිලන්ඩ් කියන්නේ මගෙ දෙවැනි විදේශ සංචාරය. මම ගොඩක් ආසයි ට්‍රැවලින්වලට. තාම රටවල් දෙකකට ගිහින් තියන නිසා ලොකු අත්දැකීමක් නම් නැහැ. ඉදිරි මාස කිහිපයේදී රටවල් කිහිපයකට යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා.




වැඩකටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?




ගෙදරින් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. එයාලගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඒ සහයෝගය නිසාමයි අද මම සමහර මිනිස්සුන්ගෙන් ලැබෙන විවේචන දරාගෙන කෙළින් ඉන්නේ. මට තනියෙන් තීරණයක් ගන්න වුණත් බයක් නැහැ ගෙදරින් ලැබෙන සහයෝගය නිසා.




කවිහාරි දැන් පෙම්වතියක්ද?




ළඟක් වෙනකම් තනිකඩයි. හැබැයි දැන් ඔව්. මම පෙම්වතියක්. ඒ ගැන ඉදිරියේදී විස්තර කියන්නම්කො.




ජීවිතේ අනාගත බලාපොරොත්තු කොහොමද?




මම ආසයි ඔළුව නිදහසෙ තියාගෙන මම ආදරය කරන ටික දෙනා සමග සැහැල්ලුවෙන් ඉස්සරහට ජීවත් වෙන්න සහ ලෝකය වටේම ඇවිදින්න.



Previous Post Next Post