ආදරෙයි කියලා මාස තුනෙන් අපි විවාහ වුණා -යෂිකා සුභාෂිණී



දරුවන්ගේ කලා හැකියාව ඔපමට්ටම් කරන්නට අද නම් වැඩසටහන් ඕනෑතරම්ය. ඒ අතරින් රියැලිටි කලාවට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එදා දරුවන්ට තිබූ එකම තෝතැන්න හපන් පැදුර යැයි කීව ද වරදක් නොවේ. ජැක්සන් ඇන්තනීගේ සංකල්පයක් මත ඇරැඹුණු හපන් පැදුරෙන් බිහිවූ දරුවන් අද ක්ෂේත්‍රයේ නන් දෙස දක්ෂතා දක්වමින් සිටියි. හපන් පැදුර දෙවැනි අදියරේ කාගේත් ආදරය දිනූ කොණ්ඩ කරල් දෙකක් ගොතා අහිංසකව සිනාසෙන බෝල මුහුණ සුබා, එහෙම නැත්නම් සුභාෂිණී ඔබට අමතක නැතුව ඇති. කුඩාම වියේදී ගායන ක්ෂේත්‍රයට පා තැබූ ඇය පසුකාලීනව රියැලිටි වැඩසටහන් ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූවාය. යෂිකා සුභාෂිණී හෙවත් උඩුගම යෂිකා ඇයට පටබැඳි නාමයයි.


“ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධ වෙද්දි මට අවුරුදු 6යි. ඒ හරහා මට ජැක්සන් ඇන්තනී මාමගේ හපන් පැදුර ළමා වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දවස්වල තිබුණු ජනප්‍රියම ළමා වැඩසටහන තමයි හපන් පැදුර. අම්මාගෙ විදෙස්ගත වීමත් එක්ක මගේ සංගීත කටයුතු අතරමඟ නැවතුණා. නැවත මං සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ උසස් පෙළ කළාටත් පස්සේ. ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ කපිල කෝසල මහත්මයා තමයි හැමදේම මට කියල දීල ගායිකාවක් විදිහට වේදිකාවට නඟින්න උදවු කළේ. ඊට පස්සෙ මං සිරස සුපර් ස්ටාර් සීසන් – 4, පළමුවන හා දෙවන දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන් දෙකටම සම්බන්ධ වෙලා අවසන් 24 අතරට ආවා. ඊට පස්සෙ ගායිකාවක් විදිහට වේදිකාවේ ගීත ගායනා කළා. ඒත් එක්ක සංගීත කණ්ඩායම්, සංගීත ප්‍රසංග සංවිධායකයන්, නිවේදකයන් ආදි බොහෝ දෙනෙක් හඳුනගන්න ලැබුණා. ඒ හරහා මට ගොඩක් සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. එහෙම ආරම්භ වුණු ගමන මේ වෙද්දි ලංකාවෙ වගේම විදෙස් රටවල ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙන මට්ටමට පත්වෙලා.”


කරන්දෙනියේ ඉපදී හැදී වැඩුණු යෂිකා සුභාෂිණී උඩුගම යෂිකා බවට පත්වූ ඒ ආදරණීය කතාවත් අප හා පැවසීමට ඇය අමතක කළේ නැහැ. 


“රියැලිටි වැඩසටහන්වල අවසානය දක්වා යන්න නොලැබුණත් ලංකාවේ සෑම සංගීත කණ්ඩායමක් එක්කම ගීත ගායනා කිරීමේ අවස්ථාව මට ලැබුණා. මට කසුන්ව මුණගැහෙන්නෙත් සංගීතය නිසා. ඔහු සංගීත කණ්ඩායමක ඕගන් වාදකයෙක්. මට ඕන කළේ මගේ ෆීල්ඩ් එක ගැන දැනුම්වත්, මගේ ගමනට තල්ලුවක් දෙන්න පුළුවන් කෙනෙක්. එකම ෆීල්ඩ් එකේ නිසා කසුන් මට ගැළපෙනවා කියලා හිතුණා. ආදරෙයි කියලා මාස තුනක් වගේ කාලයකදී අපි විවාහ වුණා. ඒත් අපේ යාළුකම ලොකු කාලයක ඉඳන් තිබුණා. විවාහයෙන් පස්සෙ මං පදිංචියට යන්නේ එයාගෙ ගමට. ඒ ගාල්ල උඩුගම. අපිට දැන් පුතෙක් ඉන්නවා. කසුන් තමයි මාව ගයිඩ් කරන්නේ. පුතා ඉපදුණාටත් පස්සෙ තමයි මං හිරු ස්ටාර් රියැලිටි වැඩසටහනට ඉදිරිපත් වෙන්නේ. මං ඒකට ඇප්ලයි කරන්නෙත් මේ අන්තිම එක කියලා. ඒ හරහා තමයි මට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබුණේ. හිරු ස්ටාර් අන්තිම දොළොස් දෙනා අතරට ආවා. උඩුගම යෂිකා නමින් මාව ජනප්‍රිය වුණා. බයිලා ආරට යන සික්ස් එයිට් ස්ටයිල් එකක් මං මගේම ආරට හදාගත්තා. ඒ නිසා මට ජනප්‍රියත්වය වගේම පැහැදිලි ගමනකුත් යන්න ලැබුණා.”


දිවිතුරා ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයක් වුණු වින්ඩිට ගීත ගායනා කරන්න ලැබුණු අවස්ථාව ගැන ඇය පැවසුවේ මෙවැනි කතාවක්.


“හිරු ස්ටාර් හරහා ජනප්‍රිය වීමත් එක්ක මට ටෙලි නාට්‍ය ගීත ගායනයටත් අවස්ථාව ලැබුණා. ඒ වගේම රංගනයටත් ආරාධනා ලැබුණා. දිවිතුරා කියන්නෙ රියැලිටි වැඩසටහනක් ඇසුරින් නිර්මාණය වුණු ටෙලි නාට්‍යයක්. ඒකෙ ප්‍රධාන චරිතයකට හඬින් දායක වෙන්න ලැබීම මට ලොකු අවස්ථාවක් වුණා. ඒ ගීත ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒ අතරේ මගේ ඔරිජිනල් ගීත දෙකක් කළා. ඒවත් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ‍ළඟදීම දෙසවන ප්‍රඩක්ෂන් හරහා වෙනස්ම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක වෙනස්ම වැඩක් වේවි. ඉදිරියෙදි රංගනය පැත්තෙන් සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙද්දි විදෙස් ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබෙනවා. ළඟදී බහරේන් ප්‍රසංගයකට සහභාගි වුණා. ඉදිරියේදී ඩුබායි, කොරියා, ඔස්ට්‍රේලියා ප්‍රසංග සඳහා ආරාධනා ලැබිල තියෙනවා. ඒ වගේම ලංකාවෙත් ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙනවා.”


ඇගේම සංකල්පයකට අනුව ආරම්භ වුණු දේදුනු පාලම ප්‍රසංග මාලාව ලංකාව පුරා ගෙනයෑමේ බලාපොරොත්තුවක් පවතින බව පැවසූ යෂිකා එහි ආරම්භක ප්‍රසංගය පසුගියදා උඩුගමදී සාර්ථකව නිමවූ බව ද පැවසුවාය.


“මමයි කසුනුයි එකතු වෙලා දේදුනු පාලම කියලා කොන්සට් එකක් පටන් ගත්තා. පළමුවැනි ප්‍රසංගය පහුගිය මාසේ උඩුගම ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. අපි හිතුවටත් වඩා ඒක සාර්ථක වුණා. සඳුන් ආසිරි, තරංග සහ ධනුෂ්කගේ සහායත් අපිට ලැබුණා. පළමුවැනි ප්‍රසංගයට රවීන් කණිෂ්ක සහ සුනීර සුමංග මාත් එක්ක ගීත ගායනයෙන් සම්බන්ධ වුණා. පළමුවැනි ප්‍රසංගය ඉතාම සාර්ථකව නිමාවට පත්වුණා. ඒක ආපු හැමෝම දැහැන්ගත කරන සම්භාව්‍ය මට්ටමේ ප්‍රසංගයක් විදිහට පැවැති බවට බොහෝ දෙනාගෙන් පැසසුම් ලැබුවා. සංගීතය සංයෝජනය ප්‍රණීත් සාරංග ප්‍රමුඛ රාජ්‍ය සංගීත කණ්ඩායමෙන්. දේදුනු පාලම ප්‍රසංගය ලංකාව පුරාම ගෙනියන්න අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.”


නාමලී ගමගේ




Previous Post Next Post