රූපගත කිරීම්වලදී හිමේෂ් මට ලොකු ආරක්ෂාවක් දුන්නා- ටාශි කාලිදාස




නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ටාශි කාලිදාස කෝටිපති ව්‍යාපාරිකයකු සමග පසුගියදා විවාහ දිවියට එළඹුණා. ඉතින් විවාහය දක්වා ආපු ටාශිගෙ ආදර කතාව ගැන ඇයගෙන්ම අහන්න අපි හිතුවා.




ටාශිගේ ආදර කතාව පටන්ගත්තෙ කොහොමද?




 එයාගේ නම හිමේෂ් තෙන්නකෝන්. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මම වගේම හිමේෂුත් ඉපදිලා හැදිලා වැඩිලා ඉගෙනගෙන තියෙන්නෙ මහනුවර ප්‍රදේශයේ. මගේ අක්කගේ මාර්ගයෙන් තමයි හිමේෂ්ව හම්බවුණෙ. හිමේෂ්වත් ඔහුගේ පවුලෙ අයවත් අක්කා හොඳට අඳුරනවා. ඉතින් අක්කගේ ආරාධනයෙන් හිමේෂ් දවසක් අපේ ගෙදර තිබුණ සාදයකට ආවා. ඒ තමයි මට හිමේෂ්ව හම්බවුණ පළවෙනි අවස්ථාව. එතන ඉඳන් අපි හොඳ යාළුවො වුණා. ඊට පස්සෙ විවිධ අවස්ථාවල අපි හම්බවුණා. දිගින් දිගටම ආශ්‍රය කරනකොට තේරුණා අපි දෙන්නට දෙන්නා හොඳට ගැළපෙනවා කියලා. ඉතින් අපි ආදරය කරන්න පටනගත්තා. ඒ විදිහට පටන්ගත්ත ආදර සම්බන්ධතාවය අද වෙද්දි විවාහය දක්වා සාර්ථක වුණා.




නිළියක් විදිහට ටාශිව හිමේෂ් බාරගත්තෙ කොහොමද ?




ඇත්තටම මේ තාක් මම දන්නෙත් නැහැ ඉස්සෙල්ලාම මාව හම්බවෙද්දි හිමේෂ් දැනගෙන හිටියද කියලා මම නිළියක් කියලා. හැබැයි ආදරය කරන කාලයේදි රංගන කටයුතුවලට ඔහු පුදුම සහයෝගයක් දුන්නා. කිසිම කොන්දේසියක් බාධා කිරීමක් සීමාවක් රංගන කටයුතුවලදි ඔහු දැම්මෙ නැහැ. ඒ වගේම රූගතකිරීම්වලදි හිමේෂ් මට හොඳ ආරක්ෂාවක් දුන්නා. සමහර වෙලාවට ඔහුගේ වැඩ කැපකරලා රූගතකිරීම් සහ වැඩසටහන්වලට මාත් එක්ක සහභාගි වුණා.


ආදරයට බාධක ආ⁣වෙ නැද්ද ?




දෙන්නාට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ආදරය කරපු නිසා ආදරේදි බාධක ආවෙ නැහැ. හිමේෂ්ව අක්කයි අම්මයි ගොඩක් අඳුරන නිසා ආදරයට අපේ පවුලෙන් හොඳ කැමැත්තක් තිබුණා. ඒ වගේම හිමේෂ්ගේ පවුලෙ අය මාවත් ආදරයෙන් බාරගත්තා. දෙන්නාගෙම පවුලෙ අයගෙත් කැමැත්ත ඇතුව කිසිම බාධකයක් නැතුව නිවී ⁣සැනසිල්ලෙ ගලාගෙන ගිය ආදර කතාවක් අපිට තියෙන්නෙ.




හදිසියෙම විවාහවෙන්න තීරණය කළේ ඇයි ?




හදිසියෙම විවාහ වෙන්න තීරණය කළේ නැහැ. හිමේෂ් කියන්නෙ හොඳ කෙනෙක්. ඉතින් අපිට එකතැනකට එන්න බලාපොරොත්තුවක් කාලෙක ඉඳලා තිබුණා. ඉතින් ඒකට මේ කාලය හොඳයි කියලා හිතුණා.




හිමේෂ්ගේ කැමැතිම ගතිගුණය මොකක්ද ?




ඇත්තටම හිමේෂ් හොඳ ඉවසිලිවන්ත කෙනෙක්. ඒ වගේම මම වෙනුවෙන් ඕන කැප කිරීමක් කරලා මාත් එක්ක හැමදේටම ඉන්නවා. ඒ තමයි පෙම්වතෙක් සැමියෙක් විදිහට හිමේෂ්ගේ හොඳම ගතිගුණ.


කවදා හරි හිමේෂ් වගේ ගතිගුණ තියන කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා අදහසක් තිබුණද ?




ආදරය ගැනවත් විවාහය ගැනවත් හීනෙකින්වත් අදහසක් නැති කාලෙක තමයි මට හිමේෂ්ව හම්බ වුණේ. අඩු ගානෙ මොනවගේ පෙම්වතෙක්ද ඕන කියලාවත් ලොකු අදහසක් තිබුණෙ නැහැ. හැබැයි හිමේෂ්ව හම්බුනහම ඔහුගේ තියන කරුණාව ආදරය පෞරුෂය එක්ක මට හිතුණා මේ තමයි ගෑනු ළමයෙක්ට ගැළපෙන හොඳම සහකරුවා කියලා. ඉතින් ඒ විදිහට මම හිමේෂ්ව තෝරගත්තා.




විවාහය සැලසුම් කළේ කොහොමද ?




විවාහය සැලසුම් කරන්න අපි කිසිම ආයතනයකට බාරදුන්නෙ නැහැ. මමයි හිමේෂුයි අපේ පවුල්වල අයයි එකතුවෙලා තමයි විවාහයේ වැඩකටයුතු සේරම සැලසුම් කළේ. දෙවෙනි මනමාලියන් විදිහට රංගන ක්ෂේත්‍රයේ ඉන්න අගසි දෙව්මිනීවත් ෂනුලියා දංදෙනියත් සහභාගි කරගත්තා. රංගන ක්ෂේත්‍රයේ මම ළගින් ආශ්‍රය කරන ශලනි තාරකා අක්කා, ඉෂන්කා අබේසේකර, සචින්තනී කෞෂල්‍යයා ඇතුළු නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් විවාහ මංගල උත්සවය පැවැත්වුවා.




පසුගිය කාලෙ වැඩිය නිර්මාණවල පේන්න හිටියෙ නැත්තෙ කලාව⁣ට සමුදෙන්නද අදහස ?




අනේ නැහැ. ටෙලිනාට්‍යවල රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්නකොට මට පාකිස්තානයේ රූපවාහිනී කතාමාලවක ප්‍රධාන චරිතයකින් ආරාධනා ලැබුණා. ඉතින් ලංකාවෙ බාරගෙන හිටපු රංගන කටයුතුත් අතරමැද දාලා පාකිස්තානයට ගිහින් රූපවාහිනී කතාමාලාවෙ රංගන කටයුතුවල නියලෙන්න සිද්ධ වුණා. ඒ නිසා ලංකාවෙ රංගන කටයුතු මට මගහැරුණා. රූගතකිරීම් අවසන් කරලා ලංකාවට ආවට පස්සෙ මට උපාධියෙ වැඩ කටයුතුවලට කාලය වෙන්කරන්න වුණා. ඒ නිසා අලුත් නිර්මාණවලින් ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතු නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. හැබැයි රංගනය මම අතාරින්නෙ නැහැ.




ලංකාවට වැඩිය පාකිස්තානයේ රසිකයො ඉන්නවා කියලා ආරංචියි?




පාකිස්තානයේ රූපවාහිනී කතාමාලාවකට රංගනයෙන් සම්බන්ධවීමත් එක්ක පාකිස්තාන ජාතිකයන් විශාල ප්‍රමාණයක් මගේ රසිකයන් වුණා. ලංකාවෙ රසිකයන්ටත් වැඩිය සමාජ මාධ්‍යවල මාත් එක්ක පාකිස්තාන රසිකයො නිරන්තරයෙන් රැඳෙමින් ඉන්නවා. විවාහයටත් ඔවුන් සුබ පැතුම් එක්කරලා තිබුණා. මේ වෙද්දි තවත් පාකිස්තාන රූපවාහිනී කතාමාලාවක රංගනයෙන් සම්බන්ධ වීමට මට ආරාධනා ලැබිලා තියනවා. ඉතින් ඉදිරියෙදි ඒ වැඩවලට ආපහු ලංකාව අතෑරලා පාකිස්තානයට යන්න වෙනවා.




Previous Post Next Post