කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ හිටියට ප්‍රවීණයෝ වෙන්න බෑ-රසන්නජිත් අබේසූරිය




වීදි නාට්‍ය කලාවෙන් නාට්‍යකරණයට පය තබන  ඔහු වේදිකාව අපූර්ව භාවිතයකට ගත් කලාකරුවෙක්. පුංචි තිරයෙන් නොමැකෙන චරිත හරහා ප්‍රේක්ෂකයාගේ මතකයේ ලැගුම් ගත් ඔහු ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයෙක්. අද හදගැස්ම සමඟ කතා බහට එක් වන්නේ ප්‍රකට නාට්‍යවේදී සහ සම්මානනීය රංගවේදී ප්‍රසන්නජිත් අබේසූරිය.


කොහොමද මේ දවස්වල විස්තර?


මේ දවස්වල තරමක් කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා. ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වී සිටින නිසා ඒ වැඩ කටයුතු සමඟ කාලය ගෙවී යනවා.


මේ දවස්වල විකාශනය වෙන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


පාට කුරුල්ලෝ කියන්නේ මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළම තලයක තිබෙන ටෙලිනාට්‍යයක්. මොකද අපි වේදිකා නාට්‍ය වගේ විවිධ වැඩ කටයුතුවලට රටපුරා යද්දී විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. මෙහි කතා  තේමාවේ තිබෙන අපූර්වත්වය නිසා වගේම හැමෝම සාර්ථකව චරිත ඉදිරිපත් කිරීම වගේ දේවල් නිසා මේ ටෙලිනාට්‍ය සාර්ථකත්වයට පත්වෙලා. මේක අලුත් ආකාරයක කතාවක්.


පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ ඔබ පණ පොවන ජයනාත්ගේ චරිතය ගැන කතා කරමු?


මම රංගනයෙන් එක්වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ගේ චරිතය ඉතා ප්‍රබල විධියට ජනප්‍රිය වුණා. තවමත් සමහරු මට මාස්ටර් කියල කතා කරනවා. ඇත්තටම පාට කුරුල්ලෝ නාට්‍යයේත් මුලින්ම පිටපත එවන කොට නාඩගම්කාරයෝ නාට්‍යයේ වගේම විශ්‍රාමික සංගීත ගුරුවරයෙක්ගේ චරිතයක් තමයි මට කරන්න තිබුණේ. නමුත් මම ඉල්ලීමක් කරලා ඒක වෙනස් කර ගත්තා. ජයනාත්ගේ චරිතය ගැන කිව්වොත් ඔහු බොහොම හොඳ ගතිගුණ තිබෙන, තැන්පත්, දරුවන්ට ආදරේ ඇති සමාජය ගැන විනිවිද දකින කෙනෙක්. ඇත්තටම එකම වගේ චරිත ලැබෙන එකත් ලොකු අභියෝගයක්. නමුත් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා.


 ඔබේ රංගන ජීවිතයට වේදිකා නාට්‍ය කලාවෙන් ලැබුණු පන්නරය ගැන කියමු?


වේදිකාව තමයි රංගන ශිල්පියෙක්ට ලැබෙන හොඳම අභ්‍යාසය. විශේෂයෙන්ම වේදිකාවටත් වඩා මම ගාමිණී හත්තොටුවේගම මහතාගේ වීදි නාට්‍ය කණ්ඩායමේ අවුරුදු 20ක් විතර  වැඩ කටයුතු කළා. ඉන් පසුව මම මගේම වීදි නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කරලා දැනටත් පවත්වාගෙන යනවා. ඉතින් මම හිතන්නේ වීදි නාට්‍ය තමයි මගේ රංගන ජීවිතය


පෝෂණය කරපු පාසල වුණේ. වීදි නාට්‍යයකට පැහැදිලි රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් නැහැ. අනුශාංගික අංශවලින් පිටිවහලක් නැහැ. ඉතින් තමන්ගේ චරිතය තනියම ගොඩනඟාගත යුතුයි. මම හිතන්නේ මට නාට්‍යයක් කරන්න ගියාම පිටපත, චරිතය පිළිබදව අවබෝධ කර ගන්න ඒ අවුරුදු ගණනක අත්දැකීම බලපානවා. මම විශ්වාස කරනවා නළුවෙක් කියන්නෙ ගවේෂකයෙක් කියලා. නිකන් පිටපතේ තියෙන වචන ටික කටපාඩම් කරලා ගිහින් කියන කෙනෙක් නෙවෙයි නළුවෙක් කියන්නෙ. ඉතින් මට ගවේෂණාත්මක නළුවෙක් වෙන්න පුහුණුව ලැබුණෙ වීදි නාට්‍යවලින් සහ වේදිකා නාට්‍ය කලාවෙන්. ගාමිණී හත්තොටුවේගම, සෝමලතා සුබසිංහ, සරත්චන්ද්‍රයන් යන ත්‍රිත්වයෙන් ලැබුණු ඒ පිටිවහල මට මගේ රංගන ජීවිතයට  ඉතාම ප්‍රයෝජනවත් වෙලා තිබෙනවා.


ඔබට වැඩි පුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ගැන මතක් කළොත්?


මම නිතරම නාට්‍යවලට සම්බන්ධ වුණේ නැති වුණත් ගොඩක් දුරට මම කාලයකට සැරයක් හරි කරන චරිතය ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙනවා. මුල් කාලයේදී වසූදා නාට්‍ය, ඕලු නාට්‍ය වගේ නාට්‍යවල මම කරපු චරිත ගොඩක් ජනප්‍රිය වුණා. මෑත කාලයේ සකූගේ ලෝකය නාට්‍යයේ සකූගේ මාමාගේ චරිතය (රංජි) ගොඩක් ජනප්‍රිය වුණා. අදටත් පාරෙ යනකොට අන්න සකූගේ මාමා, හොල්මන් මාමා කියල ළමයි කතා කරනවා. නාඩගම්කාරයෝ නාට්‍යයේ මාස්ටර්ගේ චරිතය උපරිමයටම ජනප්‍රිය වුණා.   එතකොට වේදිකා නාට්‍ය ගැන කිව්වොත් සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍යයට  මම අවුරුදු 35 පමණ රංගනයෙන් දායක වුණා.  කැලණි පාලම නාට්‍යයේ අවුරුදු 25 පමණ රඟපානවා. ඉතින් මම නිෂ්පාදන කරපු දුක් ගන්නා රාල, කුවේණි නව නිෂ්පාදනය මේ ඔක්කොම නාට්‍යවලට ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා සහ ලැබෙමින් පවතිනවා.


අලුතින් කලා ක්ෂේත්‍රයට එකතු වෙන අය ගැන මොකද හිතන්නේ?


අලුතින් ක්ෂේත්‍රයට එකතු වුණත් යම් කෙනෙක් තුළ ප්‍රවීණත්වය තිබෙන්න පුළුවන්. කාලයක් ක්ෂේත්‍රය තුළ සිටීම කියන්නේ ප්‍රවීණත්වය නෙවෙයි.  ඇත්තටම ප්‍රවීණත්වයෙන් රගපාන අලුත් ළමයි දැන් ඉන්නවා.  නමුත් එක පාරටම උල්කාපාත වගේ පාත් වෙන අයත් ඉන්නවා. සැලෝන් එකට ගිහින් සම හදාගෙන, කොණ්ඩය හදාගෙන ජිම් එකට ගිහින් ඇඟ හදාගත්ත පමණින් සාර්ථක රංගන ශිල්පියෙක් වෙන්න බැහැ. එහෙම අයට පැවැත්මකුත් නැහැ.


ඉතින් මේ දවස්වල අලුත් නිර්මාණවලට දායක වෙනවද?


මේ දවස්වල රජ ගෙදර, ගමනක් යමු, අපි, පාට කුරුල්ලෝ වගේ ටෙලි නාට්‍යවල වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට කැලණි පාලම , කුවේණි, සකුන්තලා, තලමල පිපිලා වගේ වේදිකා නාට්‍යවල කටයුතුත් කරගෙන යනවා. ඊට අමතරව මේ දවස්වල රංගනය සම්බන්ධව ඇකඩමි එකක් කරගෙන යනවා.


හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයෙහි නව


නිෂ්පාදනය ගැන කියනවා නම්?


මම ඉපදුණු අවුරුද්දෙ තමයි මුලින්ම කුවේණි නාට්‍ය නිර්මාණය වෙලා තිබෙන්නෙ. පසුකාලෙක මම ඒ නාට්‍යයේ රඟපාලත් තිබෙනවා. ඉතිං මම හෙනරි ජයසේන මහතාගේ කුවේණි නාට්‍යයේ නව නිෂ්පාදනයක් කළා. මම නව නිෂ්පාදනය තුළ සංගීතයට වැඩි ඉඩකඩක් දීල තිබෙනවා. එදා කුවේණියට වුණ අසාධාරණයම අදටත් කාන්තාවන්ට වෙන්න පුළුවන්. කුවේණි නාට්‍යය මම බොහෝ ඇලුම් කරන නාට්‍යයක්. මගේ නිෂ්පාදනය බලපු ගොඩක් අයගෙන් ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ අවුරුදු 29දී තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්නේ. පසුව ඔබ ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයෙක් බවට පත් වෙනවා. ඒ ගැන කතා කළොත්?


මම මුලින්ම ඉගෙන ගත්තේ ජීවවිද්‍යාව. ඉතින් මට උසස් පෙළ සාර්ථකව සමත් වෙන්න බැරි වුණා. පසු කාලෙක මම නාට්‍යකරණයේ නියළෙද්දී මට අවශ්‍ය වුණා අධ්‍යාපනික හැදෑරීමක්.  ඉතින් ඒ කාලෙ මම කරපු රැකියාවෙනුත් අයින් වෙලා  අවුරුදු 13ට පසුව ආයෙ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කළා. මම විශ්වවිද්‍යාලයට යද්දී මට දරුවොත් හිටියා. මගේ පළමු උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙනුත්, ශාස්ත්‍රපති උපාධිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනුත් කළා. ඒවායේ ප්‍රතිඵලයක් විධියට අද මම කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා.


ඔබ රංගනයෙන් දායක වී ඇති චරිත අතරින් ඔබ වඩාත් කැමැති චරිතයක් තිබෙනවද?


මට කොච්චර මුදලක් ලැබුණත් මම කැමැති නැති චරිතයක් මම රඟපාන්නෙ නැහැ.  සමහර නාට්‍යවලට මම සම්බන්ධ වුණේ පොඩි කොටසකට. නමුත් මම කරපු හැම චරිතයක්ම මම කැමැත්තෙන් කළා.


දැන් පවතින ටෙලිනාට්‍ය කලාව, චිත්‍රපට, වේදිකා නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා  ප්‍රශස්ථ බුද්ධියක් කරා රැගෙන යනවාද?


මම හිතන්නේ වර්තමාන නාට්‍යවලට යොදන කාලය, සම්පත් පාවිච්චි කරලා මීට වඩා උසස් නිර්මාණ කරන්න පුළුවන්. අද තිබෙන ගොඩක් නාට්‍යවලින් මිනිස්සුන්ගේ චින්තනය පෝෂණය වෙනවද කියන එක බරපතළ ගැටලුවක්.


 ධනංජනා රාජපක්ෂ



Previous Post Next Post