දේවල් හමුවෙනවා නැති වෙනවා ආදරෙත් එහෙමයි - රූනි




ඉන්දික රුවන් එහෙමත් නැත්නම් කවුරුත් දන්නා “රූනි” කියන්නේ අපිට ඉන්න දක්ෂ ජනප්‍රිය සම්මානිත ගායන ශිල්පියෙක්. ගගන සරන්නට, දුඹුරු ළමිස්සි, සප්ත ස්වරයයි වැනි ජනප්‍රිය ගීත ගැයූ රූනිගේ අලුත්ම ගීත ත්‍රිත්වයක් මේ දිනවල අහන්න ලැබෙනවා. ඒ ගීත නිර්මාණ ගැන වගේම සංගීත ක්ෂේත්‍රය ගැන රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ.


*රූනි මේ දවස්වල මොකද වෙන්නේ?


අලුත් නිර්මාණ කිහිපයක් කරලා මේ වෙද්දී එළිදක්වා තියෙනවා. ප්‍රංශ හාදුව, නතාෂා, සරාවී (අරාබි) කියන ගීත නිර්මාණ. ඒ අතරින් ප්‍රංශ හාදුවට සහ සරාවී (අරාබි) කියන අලුත්ම සින්දුවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තව අලුත් වැඩ ටිකක් කරමින් පවතිනවා.


*කොහොමද මේ කාලේ ප්‍රසංග වේදිකාවට තියෙන ඇරයුම්?


ඉස්සර තරම්ම ප්‍රසංග නම් නැහැ. අද වෙද්දී ගායන ක්ෂේත්‍රයට බොහෝ දෙනෙක් ඇවිත්නේ ඉන්නෙත්. ඒ එක්කම අපි ආව කාලේ ඒ තරම්ම සෝෂල් මීඩියා තිබ්බේ නැති නිසා සහ අපි සෝෂල් මීඩියා එක්ක එතරම්ම ගනුදෙනුවක් කරපු නැති නිසාත් වෙන්න පුළුවන් මේ කාලේ ප්‍රසංගවලට ඇරයුම් අඩු වෙන්නේ.


*දැන් රූනි සෝෂල් මීඩියා තුළ ඇක්ටිව් ද?


ඔව්. දැන් තමයි ඇක්ටිව් වෙමින් යන්නේ. එහෙම නැතුව හරි යන්නේ නැහැ කියලා හිතුනෙත් දැන් තමයි. මගේ ගැන පත්තරයක ලිපියක් යන්නේ අවුරුදු 5කට විතර පස්සේ.


*ගගන සරන්නට සින්දුවෙන් පස්සේ ෆිල්ම්වලට පසුබිම් ගායනයෙන් එකතු වුණාද?


ඔව්. චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. තානාපතිලාගේ ගෙදර චිත්‍රපටය සහ තව චිත්‍රපට දෙකක් විතර ඉදිරියට එන්නත් තියෙනවා.


*අලුත් පරම්පරාව අභියෝගයක් වෙලා ද තියෙන්නේ?


අපි ලයිව් ගායනා කරන ගායන ශිල්පීන් විදිහට අපිට අපේම කියන ගීත තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් ගැටලුවක් වෙලා නැහැ. නමුත් ප්‍රසංග කරන අය එක්ක ලොකු සම්බන්ධතා නැති නිසා එකම සෙට් එකක් ප්‍රසංග සංවිධාන කිරීමත් එක්ක යම් යම් කැපිලි කෙටිලි ටිකක් ඇතිවෙලා තියෙනවා. මම ඉන්නේ කුරුණෑගල ඒකත් හේතුවක් වෙලා තියෙනවා මාව ප්‍රසංගවලින් ඈත් වෙන්න.


*එහෙම නැත්නම් රූනිගේ ගාණ වැඩිද?


එහෙම ගණන වැඩි ප්‍රශ්නයක් නැහැ. ප්‍රසංගය කරන විදිහ එක්ක ඒ අය එක්ක කතා කරගෙන තමයි අපි ප්‍රසංගවලට යන්නේ. සමහර වෙලාවට අපිව යෝජනා කරලා තිබ්බත් සමහර සංගීත කණ්ඩායම් අකමැති නිසා අපිට ඒ අවස්ථාව නැතිවෙලා තියෙනවා. අපේ සින්දු අහන්න රසිකයෝ කැමති වුණත් සමහර සංගීත කණ්ඩායම් ඒ අයට හිතවත් අය පමණක් ඒ ප්‍රසංගවලට සම්බන්ධ කර ගැනීමත් සිදුවෙනවා.


*ගොඩක් අය ජනප්‍රිය වෙද්දී ගමෙන් කොළඹට එනවා, රූනි ගමේම ඉන්න ද කැමති?


මගේ ගම කුරුණෑගල. මම ගෙදරම තමයි ඉන්නේ. අම්මා තාත්තත් වයසයි. ඒ නිසා ඒ දෙන්නත් බලා ගන්න ගමන් තමයි වැඩ කරගෙන යන්නේ. වැඩ තියෙන වෙලාවට කොළඹ එනවා.


*රූනි, දුඹුරු ළමිස්සි සහ ප්‍රංශ හාදු ගැනත් සින්දු කිව්වනේ, කොහොමද ආදරේ දකින්නේ?


ආදරේ දැණුනු තැන් තිබුණා. ඒ දේවල් හමුවෙනවා නැතිවෙනවා ආයේ ඇතිවෙනවා. එහෙම තමයි ආදරේ. ඒ හැර ඒ ගැන ලොකු අදහසක් නැහැ. මගේ අවශ්‍යතාව තියෙන්නේ මම කරලා තියෙන සංගීත වැඩත් එක්ක ඉදිරියට යන්න.


*සංගීත ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු කීයද?


අවුරුදු 20ක් විතර වෙනවා. මාව හැමෝම දැන ගන්නේ 2013 සමනල සංධ්වනිය චිත්‍රපටයේ “ගගන සරන්නට” සින්දුවෙන්.


*මේ වෙද්දී ගීත කීයක් කියලා තියෙනවද?


සින්දු 70කට වැඩිය ගායනා කරලා තියෙනවා.


*එදත් අදත් රූනි කිව්ව ගමන් මතක් වෙන නිර්මාණය ද ගගන සරන්නට කියන්නේ?


ඔව් ගගන සරන්නට වගේම සප්ත ස්වරය, දුඹුරු ළමිස්සි, සුළඟ වගේ ඇවිදින්, ඇනා සර්ගෙවුනා, මගේ ගිටාරය වැනි ගීත අදටත් එකසේ ජනප්‍රියයි. මම ආවා ගියා සීන් එකේ නැහැ. ඕනේ කෙනෙක් අහන්න ආස සින්දු ටිකක් තියෙනවා. මගේ ගීත නිර්මාණවලදී සංගීතයෙන් දායක වුණු දර්ශන රුවන් දිසානායක, මහේෂ් විතාන, නයන කරුණානායක, පැතුම් කුරේ සහ චින්තක ජයකොඩි ඇතුළු සියලුම සංගීතඥයින්ට වගේම මට ගීත රචනා කරපු සියලුම ගී පද රචකයින් මේ මොහොතේ ආදරෙන් මතක් කරන ගමන් ඒ අයට ස්තුතිවන්ත වෙන්නත් අවස්ථාවක් කර ගන්නවා.


*කතා බහෙන් දැනෙනවා යම් කලකිරීමකින්ද ඉන්නේ කියලත්?


ඔව්… එහෙම කලකිරීම් ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ලැබෙන්න ඕනේ දේ අපෙන් ඈත් කරලා තියෙනවා. කෙනෙක්ට එපා නම් ගැටලුවක් නැහැ. නමුත් මාව යෝජනා වුණු තැන්වලදී කැපුණු තැන් තියෙනවා. කොහොමත් මම මේ ගමන ආවේ කාටවත් ගෙවලා එහෙම නෙවෙයි, මගේ මහන්සියෙන්ම ආපු ගමනක් මට තියෙන්නේ.


*ගමේ ප්‍රසංගවලටත් ඇරයුම් නැද්ද?


ඇත්තෙන්ම මෙහෙ වුණත් තියෙන සමහර ප්‍රසංගවලට කතා නොකරන අවස්ථා තියෙනවා.


*ගගන සරන්නට කොන්සර්ට් එකට ලැබුණු ප්‍රතිචාර කොහොමද?


මාර්තු 30 කුරුණෑගලින් තමයි මම ගගන සරන්නට කොන්සර්ට් එක පටන් ගත්තේ. හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ ඊළඟ ඉලක්කය කොළඹ ගගන සරන්නට කොන්සර්ට් එක පවත්වන එක. Roosters කියන මගේ බෑන්ඩ් එක මම මේ වෙද්දී හදාගෙන යනවා. මාව කෙනෙක්ට සම්බන්ධ කර ගන්න පුළුවන් මගේ 0763226630 මගේ දුරකතන අංකයට ඇමතීමෙන්. සංගීත ක්ෂේත්‍රයේම තමයි මම මගේ ගමන යන්නේ.


*රූනිට ආදරේ කරන රසිකත්වයට කියන්න දෙයක් ඇති?


මට ආදරේ කරන බොහෝ දෙනා මගෙන් අහන දෙයක් තමයි ඇයි රූනි ප්‍රසංග වේදිකාවේ ඒ අයට දකින්න නැත්තේ කියන එක. ඒ අයට කියන්න තියෙන්නේ මම මොකද කරන්නේ ඒ ප්‍රසංග සංවිධාන කරන අය හෝ ඒ ප්‍රසංගවලට සම්බන්ධ වෙන සංගීත කණ්ඩායම්වලින් අපිව සම්බන්ධ කර ගන්නේ නැත්නම්. ලංකාවේ ප්‍රසිද්ධ බෑන්ඩ් එකක් කිහිපවතාවක්ම මාව ප්‍රසංගවලින් ඈත් කරලා තියෙනවා. එහෙම කැපිලි කෙටිලි මැද්දේ තමයි මම මේ ගමන එන්නේ. මම නම් කියන්නේ ඒ අය නැති කරන්නේ අපිට ඒ මාසෙම ලැබෙන්න තියෙන ආදායම වෙන්න පුළුවන්. අපි දුක් මහන්සි වෙලා මේ තැනට ඇවිත් තියෙන්නේ. ඒ අයට මාසෙට ප්‍රසංග ගොඩක් තිබ්බත් අපිට තියෙන එක ප්‍රසංගය වෙන්න පුළුවන් එයාලා කැන්සල් කරන්නේ. ඒ නිසා එහෙම කරන්න හොඳ නැහැ.


අනුෂා රණසිංහ



Previous Post Next Post