මගේ දරුවා එක්ක ජීවිතය පුදුමාකාර සැනසීමක් - කෝරළගේ සමන්



සමන්... මේ දවස්වල මොකද කරන්නේ?


මේ දවස්වල අලුත් චිත්‍රපටයක වැඩ කළා. ඒ ගැන අපි වැඩි විස්තර ඉදිරියේදී කතා කරමු. ඊට අමතරව ධනුෂ්ක රත්නායක අධ්‍යක්‍ෂණය කරන "see you” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඒකට ඉතා හොඳ ප්‍රතිචාර මේ වෙද්දී ලැබෙමින් පවතිනවා. ඒ වගේම ධර්මප්‍රිය ඩයස්ගේ "මම නෙවෙයි වෙන කෙනෙක්" වේදිකා නාට්‍යයත් එක්ක රට වටේ සංචාරය කරනවා.


“පොඩ්ඩේ" ටිකක් වෙනස් චරිතයක්. ඒ ආරාධනාව ලැබුණට පස්සේ මොකද හිතුණේ?


“See you” ටෙලිනාට්‍යයේ "පොඩ්ඩේ" චරිතයට මම ගොඩක් කැමති වුණා. ඒක මැර චරිතයක් වුණාට තමන්ගේ දරුවට අසීමිතව ආදරේ කරන තාත්තා කෙනෙක්ගේ චරිතයක්. මමත් සැබෑ ජීවිතයේ තාත්තා කෙනෙක්. ඉතින් ඒ දරු සෙනෙහස කියන්නේ අමුතුම වෙනස් හැඟීමක්. "පොඩ්ඩේ" කොයි තරම් මැරයෙක් වුණත් ඔහු තුළ දරු සෙනෙහස උපරිමයෙන්ම තියෙනවා.


දැන් පුතාට වයස කීයද?


දැන් පුතාට වයස අවුරුදු දෙකයි. එයා එක්ක ගත කරන ලැබෙන කාලය පුදුමාකාර සැනසීමක්. ඒක තමයි හිත නිවන තැන වෙන්නේ. හැඟීම් දැනීම්  තියෙන තැන එතැනමයි. ඉතින් දවසින් දවස එයා ලොකු වෙන හැටි, පුතාගේ ඉරියව්, දඟකාරකම්, බලාගෙන ඉඳිද්දි හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා.


සමන් මේ ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් හිටපු කෙනෙක්ද?


ඔව්... මම මේ ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ඒ කැමැත්ත වර්ධනය  කරමින්, ඉගෙන ගනිමින්, මම මේ ක්ෂේත්‍රයට ආවා. අදටත් ලැබෙන අත්දැකීම් එක්ක ඉගෙන ගනිමින් මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. චරිතයක් ලැබෙද්දි වුණත් මම එවැනි චරිත ගැන සොයා බලනවා, අධ්‍යයනය කරනවා.


ඔයාගේ වැඩි කැමැත්ත සිනමාවටද? වේදිකාවටද? පුංචි තිරයටද?


මේ ක්ෂේත්‍ර තුනම හරියටම තියෙනවනම් ක්ෂේත්‍ර තුනටම මම කැමතියි. හැබැයි ප්‍රශ්නය වෙන්නේ එහෙම නොතිබීමයි. කොහොමටත් මගේ දැන් වැඩි කැමැත්ත චිත්‍රපට සහ වේදිකාවටයි. අපිට වේදිකා නාට්‍ය හරහා රට වටේ යන්න අවස්ථාව ලැබෙනවා.

ඒ ලැබෙන ප්‍රතිචාර සජීවීව විඳින්න අපිට අවස්ථාව ලැබෙනවා. අද වෙද්දි සෑහෙන ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. මිනිස්සු එක්ක අදහස් හුවමාරු කරගන්න අවස්ථාව  ලැබෙනවා. ඒ වගේම දිනෙන් දින අලුත් අත්දැකීම් ජීවිතයට ළංකර ගන්න අවස්ථාවක් ලැබෙනවා.


බාරගත්ත තවත් නිර්මාණ තියෙනවද?


මම රඟපෑ නිර්මාණ දහයක් පමණ ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා. ඒ අතරින් නිර්මාණ හතරක පමණ වැඩ කටයුතු බාගෙට බාගයක් අවසන් කරලා තියෙනවා. තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා.


ඒ කියන්නේ මේ දවස්වල සමන් කාර්යබහුලයි. එහෙම නේද?


ඔව්... ටිකක් කාර්යබහුලයි. ඒ කොයි තරම් කාර්යබහුල වුණත් මගේ බිරිඳ වෙනුවෙන්, පුතා වෙනුවෙන්, පුළුවන් විදියට මම කාලය වෙන්කර ගන්නවා. මොනවා කළත් ගෙදර වෙනුවෙන් මගේ ලොකු ඉඩක් දීලා තියෙනවා. මගේ ඔළුව ඇතුළේ මම ගෙයක් හදාගෙන තියෙනවා. ඒ දෙන්නා එක්ක ඉන්න තැන තමයි මගේ ජීවිතේ වෙන්නේ. කොච්චර කාර්යබහුල වුණත් මට ගෙදරට තියෙන කාලෙ හරි වැඩියි.


කොත්මලේ ඉඳලා කොළඹ ඇවිත් නළුවෙක් වීම හීනයක් සැබෑවීමක්ද?


ඔව්.. ඇත්තටම මේක හීනයක් සැබෑවීමක් කියලා කියන්න පුළුවන්. පාසල් කාලයේදීම කලාවට, රංගනයට මට කැමැත්තක් ඇතිවුණා. මම පාසල් තුනක ඉගෙන ගත්තා. පාසල් තුනේදීම විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙමින් නිර්මාණවලට දායක වුණා. කොළඹ තරුණ බෞද්ධ නාට්‍ය උළෙලකට සහභාගිවෙලා ඒකෙන් "නාට්‍ය කරන්න ඕනෑ" කියන අදහස තව තවත් මගේ හිතට දැනුණා. උසස් පෙළ සමත් වෙලා නාට්‍ය කරන්න තිබුණු ආසාව නිසාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. කොත්මලේ ඉඳන් කොළඹට ආව ජීවිතය එතරම් ලේසි වුණේ නෑ. අපි කටු කෑවා. අපිට වෙන මුකුත් කන්න ඉතිරිවෙලා තිබුණේ නැහැ. ඕනෑම දෙයක් සුන්දර කරගන්න නම් ගිරි දුර්ගයක් වගේ නගින්නම වෙනවා. හැම දුකක්ම විඳින්න වෙනවා. අපි ඉපදෙන එකත් කට්ටක්. මැරෙන එකත් කට්ටක්. ජීවත්වෙන එකත් කට්ටක්. ඉතින් මේ කට්ට ඇතුළේ හොඳ යහනක් හදාගන්න ගන්න අපි උත්සාහ කරනවා. විශ්වවිද්‍යාල ජීවිතයේදී මම හොඳට වැඩ කළා. බොහෝ දේවල් ජීවිතයට එකතු කර ගත්තා. ජීවිතයම විශ්වවිද්‍යාලයක් කර ගත්තා.


• දිශානි



Previous Post Next Post