හිත ළඟ හිනැහුණා මිනෝලිගේ චරිතයට මං වඩාත් කැමැතියි - අෂිකා මතසිංහ




විටෙක ඇය බිරිඳක් .තවත් විටෙක ඇය මවක්. අප දන්නා පරිදි ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. දහසක් මැද වුවත් දුටුවන් මන බඳීන කොහොඹ රුක් සෙවණැල්ලේ සිනහා මවන කොහොඹ සුරඟන අෂිකා මතසිංහ,ඇය සරසවිය හා මෙසේ සම්මුඛ විය.


ඔබ කලා දිවියට ප්‍රවිෂ්ට වූ අයුරු සිහිපත් කළොත්?


මම අනුලා එකේ Social එකට Dres කරගන්න ගියේ කමලා කහගලගේ Aunty  ළඟට. ඒ Aunty අපේ අම්මගේ යාලුවෙක්. ඒ නැන්දා තමයි මිස් අත්තනායක ළඟට මාව ඒක්ක ගියේ Commercial  එකට දාන්න ඕනේ කියලා. ඒකෙන් තමයි ඇත්තටම මම ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුණේ.


ඔබ රංගනයෙන් දායකත්වය සැපයීමේදී චරිත තෝරාගැනීමක් සිදු කරනවද?


ඔව් ඇත්තටම චරිත තෝරා ගැනීමක් සිදු කරනවා. මොකද මම මවක්, බිරිඳක් ඒ දේවල් හිතලා තමයි මම චරිත තෝරාගන්නේ. හොඳ චරිතයක් තිබ්බොත් මම අනිවාර්යයෙන් බාරගන්නවා. අපිට කරන්න පුළුවන් සීමාවන් තියෙනවා. මොකද ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නිසා. ඒ නිසා මම ගොඩක් දුරට චරිත ගන්න කොට තෝරගැනීමක් කරලා තමයි චරිතය භාර ගන්නේ.

ඔබ රංගනයෙන් දායකත්වය සැපයූ චරිතවලින් වඩාත් ප්‍රිය කරන චරිතයක් තිබේද? එයට හේතුව කුමක් ද?


මම කරපු චරිත වලින් මම ගොඩක්ම ආස කරන්නේ “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයේ “මිනෝලි” කියන චරිතයට. ඉතින් ඒකට ගොඩක්ම ආස වුණේ ඒ චරිතය ඔස්සේ ටිකක් කල් යනකොට මට ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණා. ප්‍රේක්ෂක ආදරය ඒ චරිතයට ගොඩක් ලැබුණ නිසා, මට ඒක දැනුණ නිසා ඊළඟට තියෙන ඉජඥදඥ ටික හොඳටම කරන්න මට පුළුවන් වුණා. ඒකට මට අධ්‍යක්ෂක ප්‍රදීප් රසාංග මහතා සහාය වුණා. මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහතා ගොඩක් ලස්සනට පිටපත රචනා කරලා තිබුණ නිසා පහසුවෙන් ඒ චරිතය සාර්ථකව කරගන්න මට අවස්ථාව ලැබුණා.


ඔබත් සමඟ වැඩ කළ අධ්‍යක්ෂවරු පිළිබඳ පැවසුවොත් ?


මම අවුරුදු විස්සක් වෙනවා ක්ෂේත්‍රයට ඇවිත්. එක එක්කෙනාගෙ නම් එහෙම කියන්න බෑ. මොකද මට කාගේ හරිම නමක් මඟහැරුණොත් ඒක හරි නැති නිසා. මෙතෙක් මම වැඩ කරපු හැම අධ්‍යක්ෂකවරයෙක්ටම හදවතින්ම ගරු කරනවා. ඔවුන්ට දීර්ඝායුෂ ලැබෙන්න කියලා නිතරම ප්‍රාර්ථනා කරනවා. ඔවුන් එක්ක නිතර නිතර වැඩ කරන්න සමහර අවස්ථාවලදී මට අවස්ථාව ලැබුණා .ඒ හැම දෙනාටම මම මේ මොහොතේ ගොඩක් ස්තූතිවන්ත වෙනවා.


ඕනම රංගන ශිල්පිනියක් බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂක ජනප්‍රියත්වය ලැබෙනම කාලයේ ඔබ විවාහ වෙනවා. ඒ පිළිබඳ පැවසුවොත්?


ඇත්තටම ප්‍රේක්ෂක ජනප්‍රියත්වය ලැබෙන කාලේ තමයි මම විවාහ වෙන්නේ. මොකද මට පවුල කියන දේ වැදගත් වුණා. මේ වෙනකොට මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දුවයි, පුතාලා දෙන්නයි. ඒ අය ටිකක් ලොකු උණාට පස්සේ තමයි මම නැවත ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. ඉතින් අද වෙනකොට මට සාර්ථක පවුල් ජීවිතයක් වගේම ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයත් තියෙනවා.


රංගන ශිල්පිනියක්, බිරිඳක්, මවක් ලෙස ඔබ ඔබේ කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?


රංගන ශිල්පිනියක් නිසා ගොඩක් වෙලාවට ගෙදර සමහර දේවල් මගහැරෙනවා කියලා මට හිතෙනවා. මම අවුරුදු ගාණක් මගේ දරුවන්, පවුල වෙනුවෙන් කැප කරපු නිසා දෑන් මට අවස්ථාව ලැබිල තියෙනවා රංගන ක්ෂේත්‍රයට යම් දෙයක් කරන්න. මගේ හිත ඇතුළේ තියෙන්නේ රංගනය උපරිමයෙන් කරන්න. ඒකෙන් තමයි මට ආත්ම තෘප්තියක් ලැබෙන්නේ කියලා මම හිතන්නේ. හැම කෙනෙක්ටම කැමැත්තක් තියෙනවනේ හිතේ. ඉතින් මම හරි කැමැත්තෙන්, ආසාවෙන් තමයි රඟපාන්නේ. මම Shooting  ගියාමත් කැමරාවට වැඳලා තමයි වැඩ පටන් ගන්නේ. අධ්‍යක්ෂකවරුන්ට, කැමරා ශිල්පීන්ට, මාත් සමඟ වැඩකරන හැමෝටම ගරු කරමින් තමයි මම මේ කර්තව්‍යයේ යෙදෙන්නේ. මම විශ්වාස කරනවා එතකොට තමයි රංගනය පිහිටන්නේ කියලා. මට ලැබෙන හැම Scene  එකක්ම හොඳට, උපරිමයෙන් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. වැඩත් එක්ක ඉතින් මම හිතනවා සමහර වෙලාවල්වලට අපේ ගෙදර දේවල් මට මගහැරෙනවා කියලා. හැබැයි මම කොහොමහරි හිතේ ධෛර්යයෙන් මට පුළුවන් උපරිමයෙන් අඩුපාඩුවක් නැතිව වැඩ ටික කරන්න උත්සාහ කරනවා. මොකද මම ආස දේ කරන්න මට එයාලා උදව් කරනවනම් ඒ අයට පහසු වෙන්න, ඒ අයව සතුටින් තියන්න හැමදේම කරන්න මම උත්සාහ ගන්නවා. එක ළඟ දවස් දෙකක් ෂූටින් වැටුනාම හරි අමාරුයි. ගෙදර වැඩ කළමනාකරණය කරගන්න. දරුවන්ට එළියෙන් කෑම ගන්න වෙනවා. මම පුළුවන් දේවල් හදලා යනවා. ඉතින් කරන්න දෙයක් නෑ ඒවා ඉතින් ටික කාලයක් යනකම් කරන්න වෙනවා. මගේ දරුවන්ටත්, සැමියාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මාව තේරුම් අරන් මගේ රැකියාවට, මගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න උදව් කරනවට.


මවක් ලෙස ඔබ දරුවන් සමග කාලය ගත කරන්නේ කොහොමද?


මම ගොඩක් වෙලාවට දරුවන්ගේ අධ්‍යාපනික වැඩ වගේම බාහිර වැඩ වලටත් උදව් කරනවා. හැමදාම මම දරුවන් දහම් පාසල් යනවා. පුළුවන් වෙලාවල් වලට මමත් එයාලත් එක්ක පන්සලට ගිහින් ඉන්නවා. shooting  නැති දවස්වල මම දරුවොත් එක්ක ගිහින් සිල් ගන්නවා. ළඟදී නම් සිල් ගන්න වුණේ නෑ. සිල් ගන්න අයට උපස්ථාන කරන්න පුළුවන් වුණා. දහම් පාසලේ ගුරුවරුත් මගේ දරුවන්ට ගොඩක් ආදරෙයි. දහම් පාසල් ගුරුවරුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන දහසකුත් වැඩ තියෙද්දී දහම් දැනුම දරුවන්ට ලබාදෙන්න තමන්ගේ කාලය කැප කරනවට. සතියෙම වැඩ කරලා ඉරිදට විතරක් නිවාඩුවක් තියෙද්දිත් තමන් ගැන හිතන්නේ නැතුව දරුවෝ ගැන හිතලා දහම් පාසල් ඇවිත් දරුවන්ට උගන්වනවා. සමස්ත පරපුරක් මේ අය අතින් තමයි හොඳ පුරවැසියන් බවට පත්වෙන්නේ. ඉතිං මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. මගේ දරුවන්ගේ බාහිර වැඩවලට මම ගොඩක් උදව් කරනවා.මගේ දුව Girl Guiding  කරනවා. පුතා බාල දක්ෂ කරනවා. චූටි පුතා චෙස් සෙල්ලම් කරනවා. ඉතිං මම ඒ ගුරුවරුන්ටත් ස්තූතිවන්ත වෙනවා මගේ දරුවෝ වෙනුවෙනුත් අනිත් දරුවෝ වෙනුවෙනුත් කැප කිරීම් කරලා උගන්වනවට. ලේසි නෑ ඉතින්. ඒත් ටික කාලයයිනේ. අපි දරුවන්ව බිහි කළා නම් ඒ අය හොඳ පාරක අරගෙන යන එක දෙමව්පියන්ගේ යුතුකමක්. වගකීමක්. ඒ බර කරට අරගෙන කොහොමහරි මම මගේ මහත්තයත් එක්ක එකතු වෙලා කරගෙන යනවා.


සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔබට ප්‍රේක්ෂකයින් වෙත යමක් පැවසීමට අවස්ථාවක් ලැබුණොත්?


ඔව් ඇත්තටම මම හිතනවා මම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා කියලා. ගිය මැයි 25 වෙනිදට අපි විවාහ වෙලා අවුරුදු 15ක්. Photo Shoot එකක් කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ මහත්තයා ගොඩක් කාර්යබහුලයි මේ දවස්වල. ඉතින් මම එයාව තේරුම් අරන් ඉන්නේ. එයත් එහෙමයි. මාව තේරුම් අරන් වැඩ කරන්නේ. අපි සාමාන්‍ය පුරවැසියෝ. ගොඩක් සල්ලි නෑ. ඉතිං අපි අපේ ජීවිතේ ඉස්සරහට අරන් යනවා. සල්ලි ගොඩක් තිබ්බනං හරි ලේසියෙන් පහසුවෙන් කරගන්න දේවල් තිබ්බා කියලා අපිට දැනෙන අවස්ථා තියෙනවා. ඒත් අපි පුළුවන් විදිහට ජීවත් වෙනවා. දරුවා තමයි එකම බලාපොරොත්තුව. එයාලව හොඳ මාර්ගයකට ගන්න ඕන, හොඳට උගන්වන්න ඕන කියල තමයි හිතේ තියෙන්නේ. මගේ මහත්තයා මට දෙවි කෙනෙක් වගේ. මම ෂූටින් යද්දි වුණත් එයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා තමයි යන්නේ. මහත්තයා ගොඩක් මට උදව් කරනවා මගේ වැඩ කරගන්න. මගේ හදවතේ එයා වෙනුවෙන් ගරුත්වය, ආදරය, භක්තිය තියෙනවා. ඉතින් මම හිතනවා මගේ පවුල් ජීවිතය සාර්ථකයි කියලා. අපි හිතන විදිය වෙනස් කර ගත්තොත් ගොඩක් දුර යන්න පුළුවන්. අපි හැම වෙලේම එකිනෙකාට ස්තුතිවන්ත වෙන්න ඕනා. එතකොට තමයි සමාජයක් ලස්සන වෙන්නේ කියලා තමයි මම හිතන්නේ. මගේ දරුවෝ තුන්දෙනා වුනත් එකිනෙකාට උදව් කරමින් වැඩ ටික කරගන්නවා.


ඔබ යූටියුබ් නාලිකාව ගැන පැවසුවොත්?


youtube නාලිකාව හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ වැඩ කරන කාලේ කළා. ඉතිං ඊට පස්සෙ ගොඩක් Video  දාන්න උණේ නැහැ. මගේ පවුලේ විස්තර තමයි මම දැම්මේ මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිස වෙනුවෙන්. ලේසි නැහැ ගොඩක් වෙලා යනවා Edit කරන්න එහෙම. ඉතිං අවශ්‍යම ඒවා විතරයි දැම්මේ. මේ දවස්වල නම් Video  දාන්න උණේ නැහැ දරුවන්ගේ විභාගේ තිබ්බ නිසා. ගොඩක් වෙලාවට Video හදලා Edit  කරලා දෙන්නේ මගේ දුව . එයාටත් මම ස්තූතිවන්ත වෙනවා. shooting කරන කාලෙ මහත්තයා වීඩියෝ හදලා එඩිට් කරලා දුන්නා. ඊට පස්සේ එයාට ඒක එපාවුනා. මොකද එයා හදලා දුන්න වීඩියෝ එකක් දාන්න බැරි උණ නිසා. කොරෝනා කාලේ තමයි ඇත්තටම මම මේ චැනල් එක පටන් ගත්තේ. දැන් නම් ඒ තරම් සක්‍රීය නෑ. හැබැයි නාලිකාවක් විදිහට තියෙනවා. මට ආදරය කරන අය බලනවා. මට ආදරේ කරන අයට බලන්න කියලත් ආරාධනා කරනවා.


ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයක් ලබා ගැනීමද වැදගත්? එසේත් නැතිනම් ප්‍රේක්ෂක ආදරය ලබා ගැනීමද වැදගත්?


ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වීම කියන්නේ හිතේ තියෙන ආදරයම තමයි. ආදරේ නම් තමයි අපිව ජනයාට ප්‍රිය වෙන්නේ. ජනයාට ප්‍රිය වීම කියන්නේ ජනප්‍රියත්වයනේ. ඉතින් ඒ අයගේ ආදරේ දිනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ප්‍රසිද්ධ වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ජනප්‍රිය වෙන්න ලේසි නැහැ. ජනප්‍රිය වෙන එක මට ලැබුණු වාසනාවක්. කොහේ හරි ගියාම මම තනිවෙලා නෑ කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව මගේ රැකියාව. මට ගොඩක් සතුටුයි හොඳ මිනිස්සු ගොඩක් ඉන්න එක ගැන. අපි හිතනවනේ අපිට ආස නැති අය අපෙන් ඈත්වෙලා අපිට ආස අය විතරක් ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මට ඒ වාසනාව ලැබිලා තියෙනවා. ඒ ගැන මම ගොඩක් සතුටුයි.


සැබෑ ඔබත් ඔබ පණ පෙවූ “සිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයේ මිනෝලිත් සැබෑවටම චරිත දෙකක්. ඒ ඔබේ රංගනයේ සාර්ථකත්වය. මිනෝලිගේ චරිතයට ඔබ පණ පෙවූ ආකාරය පිළිබඳ පැවසුවොත්?


මම කලින් කිව්වා වගේ රංගනය සාර්ථක වෙන්න ගොඩක් බලපෑවේ ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම මාත් සමඟ වැඩ කළ සහෝදර ශිල්පීන්ගේ සහයෝගය. අධ්‍යක්ෂක ප්‍රදීප් රසාංග, කලින් අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක එතකොට මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහතා මට ගොඩක් සහයෝගය දැක්වුවා චරිතය සාර්ථකව කරගන්න. මහේෂ් මහතාගේ හිතේ මැවුණු චරිතය මම හොඳටම කළා කියලා මම හිතනවා. නාට්‍ය ඉවරවෙලා දැන් ටික කාලයක් වෙනවා. ඒත් තවමත් මට සමහරු මිනෝලි කියලා කතා කරනවා. ඒ චරිතය ආදරණීය ප්‍රේක්ෂකයින්ගේ හිතේ තියෙන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. සිරස ටීවී ආයතනයටත් ස්තූතිවන්ත වෙනවා අපි වගේ රංගන ශිල්පීන් විශ්වාස කරලා අපේ නාට්‍ය ඔවුන් අරගෙන, අපිව වෙන වැඩසටහන්වලටත් ගෙන්නලා ප්‍රේක්ෂකයින් අතරට ගෙන යනවට. ඒ වගේම නිෂ්පාදක මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මම දරුවන් තුන්දෙනෙක් ඉන්න මවක්. මම වගේ කෙනෙක් මේ වගේ දැවැන්ත කාර්යයකට විශ්වාස කරලා යොදාගැනීම සම්බන්ධයෙන් නැවත වරක් මම ස්තූතිවන්ත වෙනවා ඒ හැම දෙනාටම. ඔවුන්ගේ විශ්වාසයත්, ප්‍රේක්ෂක ආදරයත් මත තමයි මම සාර්ථක වුණේ කියලා තමයි මම හිතන්නේ.


ඔබ ආගමට දහමට ලැදි කෙනෙක්.ඉතිං කුසල,අකුසල කර්මයන් ඔබේ ජීවිතයට බලපෑ අවස්ථා සිහිපත් කළොත්?


මට අවුරුදු දහයෙදි තමයි මගේ තාත්තා මේ ලෝකයෙන් සමු ගන්නේ. ඒක මම කරපු අකුසල කර්මයක් කියලා මම හිතනවා. මගේ තාත්තා කින්ස්ලි මතසිංහ. මහජන බැංකුවේ සේවය කළේ. ඉතින් ඔහු අපෙන් ඈත්වීම මම කරපු පාපකර්මයක් පටිසන් දුන්නා කියලා මම හැමවෙලේම හිතනවා. හැබැයි ඒත් ඒ වෙනුවට මම කරපු කුසල කර්මයක් විදිහට මට හොඳ සැමියෙක් ලැබුණා. ඒක මගේ පින. ඇත්තටම මම ආගම දහමට ලැදි. අපේ ගේ ඉස්සරහා සතියක් පිරිත් තිබ්බා. ඒත් මට සහභාගී වෙන්න ලැබුණේ පැය භාගයක් විතර කාලයක්. මොකද මගේ ලොකු පුතා අසනීප වුණා. ඒ හිටපු පැය භාගෙත් මට දැනුණෙ දවස් හතේම මම එතන හිටියා වගේ. පහන් සීයක් පත්තු කරත් හිත පිරිසිදු නැත්නම්, හිත ආලෝකමත් නැත්නම් වැඩක් නැහැ. අපිට තියෙන්නේ ධර්මයේ පිහිට විතරයි කියන එක මගේ හිත ඇතුළෙ තියෙනවා. මම පන්සිල් පද පහ රකිනවා. මම දැන් මැරුණත් මගේ හිතට සැනසීමයි මම පව් කරලා නැති නිසා.


ටෙලි නාට්‍ය පිළිබඳ ඔබේ අදහස?


ක්ෂේත්‍රයක් විදිහට ගොඩක් අයගේ පවුල් ජීවිත මේ ඔස්සේ රැකෙනවා. මේ නිර්මාණ කවුරු කරත් ඒ නිර්මාණවලට අපි හදවතින්ම ආශිර්වාද කරන්න ඕන. මොකද මේක පුළුල් පරාසයක් තියෙන ක්ෂේත්‍රයක්. රැකියා අවස්ථාවන් බිහිවන අංශයක්. ඉතින් අපි ආශිර්වාද කරන්න ඕන තව තවත් නිර්මාණ බිහිවෙන්න. මොකද ගොඩක් පිරිස් ජීවත් වෙන්නේ මේ බිහිවන නිර්මාණ මඟින්.ඉතින් මම හැමදාම තව තවත් නිර්මාණ බිහිවෙන්නෙ කියලා මෛත්‍රී සිතින් හැමෝටම ආශිර්වාද කරනවා.


සිනමාවට පිවිසීමට ඔබේ කැමැත්තක් නැද්ද?


සිනමාවට ප්‍රවිෂ්ට වීමට කැමැත්තක් තියෙනවා. ගොඩක් ආරාධනා තියෙන්නෙ ටෙලි නාට්‍යවලට. සිනමා නිර්මාණ වලට කතා කරනවා අඩුයි. සිනමා පට හයකට විතර මම රංගනයෙන් සහයෝගය ලබා දුන්නා. සුබා තෙරණිය චිත්‍රපටයේ මහාතරණයන්ට හිටියේ මම. මගේ නම නාමාවලියට දාන්න අමතක වෙලා තිබුණත් ප්‍රේක්ෂකයින් මාව හඳුන ගත්තා. ගොඩක් අය මට කතා කළා. ජ්චජඥ බධ ටචජඥ චිත්‍රපටයේ වෛද්‍යවරියෙකුගේ චරිතයකට රංගනයෙන් සහයෝගය දුන්නා. කොළඹ සන්නිය ,හොරා අංකල්,පාද යාත්‍රා, ඇලඩින්ගේ පුදුම පහන චිත්‍රපටයන්ට මම රංගනයෙන් සහයෝගය ලබා දීලා තියෙනවා.


ඔබ සහභාගී වූ Mrs Sri Lanka  වැඩසටහන පිළිබඳ පැවසුවොත්?


රංගන ශිල්පිනියක් වෙලා දරුවෝ තුන්දෙනාමත් ඉද්දි තමයි මම මේකට සහභාගි වුණේ. ඉතින් 2016 තරගාවලියට සහභාගි වුණත් මම එතනදි කිසිම ජයග්‍රාහී අවස්ථාවක් ලබාගත්තේ නැහැ. මොකද ඒ දවස්වල මම ටිකක් මහතයි. මගේ කකුලේ අබාධයක් නිසා හරියට වෝක් එකවත් කරගන්න බැරි වුණා. මම ඒ ගැන දුක් වෙන්නේ නෑ. 2019 දී මම හිතට අරන් නැවත ඉදිරිපත් වුණා. ඒකෙන් මට ජයග්‍රාහී අවස්ථාවන් රැසක් උදාකර ගන්න හම්බවුණා. මම එතනදි අංගම්පොර දර්ශනයකුත් කරා. ඒකට මට අංගම්පොර ඉගෙනගන්න උණා. Best costume  අංශයටත් නිර්මාණයක් මම ඉදිරිපත් කළා. මේ තරගාවලියේදී කාන්තාවක් විදිහට ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. මව දැන් විනිශ්චය මණ්ඩලයටත් සහභාගි වෙනවා. ඒ හැම අවස්ථාවක්ම ලැබුණේ මම මේ තරගාවලියට සහභාගි වුණ නිසා. මාව ආදර්ශයට අරන් වැඩ කරන අය ඉන්නවා. ඉතින් මට හරි සතුටුයි. ජීවත්වන ටික කාලෙ මොනවා හරි ජීවිතයට වැදගත් දෙයක් කරන්න ඕන. මගේ ජීවිතය දිහා හැරිලා බලද්දි මට සතුටු වෙන්න පුළුවන් මම සාර්ථකයි කියලා. අපි හැමෝටම ඒක තමයි ඕන. ජීවිතේ දිහා හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් දේවල් කරලා තියෙනවනම් ඒක තමයි අපේ සාර්ථකත්වය.


ඔබ රංගන ජීවිතයට ප්‍රවිෂ්ට වූ මුල් කාලයේ සිටින ප්‍රේක්ෂකයින් හා අද සිටින ප්‍රේක්ෂකයින් අතර යම් වෙනසක් පවතිනවා ද?


ඔව් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තියෙනවා මේ වෙනකොට ගොඩක් අය මාව දන්නවා. ඔවුන් මාත් සමඟ කතා කරනවා. මම කවුද, මගේ පවුල් ජීවිතය ගැන දන්න නිසා හරි ආදරෙන් සුහදශීලීව මාත් එක්ක කතා කරනවා. ඒක මට ලොකු වටිනාකමක්. මම ක්ෂේත්‍රයට අවකාලේ Social media තිබුණේ නෑ. මාව TV එකෙන් තමයි ප්‍රේක්ෂකයින් දැක්කේ. දැන් නම් Social media ඔස්සේ මාව දැකලා, අඳුරගෙන ප්‍රේක්ෂකයින් මාත් එක්ක කතා කරනකොට මගේ ජීවිතය තියෙන වටිනාකම මට දැනෙනවා. ලොකු ප්‍රේක්ෂක වෙනසක් තියෙනවා කියලා තමයි මට දැනෙන්නේ.


ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ ඉඟියක් දුන්නොත්?


දැනට ප්‍රාර්ථනා නාට්‍යයේ යනවා දෙරණ TV  එකේ. ජානු ටෙලි නාට්‍ය, ආයාචනා ටෙලි නාට්‍ය විකාශය වෙනවා  ITN නාලිකාවේ. සිහින පාරාදීසය, තටු නැති කුරුල්ලෝ නාට්‍ය දෙක විකාශය වෙන්නේ නැහැ තාම Shooting  තියෙනවා. ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට මාව විවිධ චරිත තුළින් දැක ගන්න පුළුවන්.



Previous Post Next Post