කලාව අතහරින්න කිසිම බලාපොරොත්තුවක් නෑ-තාරුකා වන්නිආරච්චි



තාරුකා වන්නිආරච්චි කියන්නේ එදා වගේම අදත් කලා ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ රුවන්ගේ අම්මාගේ චරිතයෙන් ඔබ හමුවට එන තාරුකා මෙවර ‘හදගැස්ම’ සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. ඉතින් ඔබට කොහොමද?


ඇත්තටම මේ දිනවල සතුටින්, හොඳින් කාලය ගත කරනවා. මේ කාලයේදී නම් මම නිතරම මගේ පුංචි පුතා එක්ක කාලය ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සෑම දෙයක් එක්කම කලා කටයුතුවලටත් මම දායක වෙනවා.


ඔබ රංගනයෙන් දායකවන කලා නිර්මාණ ගැනත් කතා කළොත්?


මේ දිනවල නම් අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය තමයි විකාශය වෙන්නේ. නමුත් මම කාබන් කියලා අලුත් ටෙලි නාට්‍ය නිර්මාණයකටත් රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණයත් ප්‍රේක්ෂකයන්ට ළඟඳීම නරඹන්නට හැකි වේවි.


ඔබට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කළොත්?


ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද මේ අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය බොහෝ පිරිසක් නරඹනවා. ඒ වගේම මම මේ නාට්‍යයේ අම්මාගේ චරිතයට තමයි පණ පොවන්නේ. අම්මාගේ චරිතය කියන්නේ ඕනෑම කෙනකුට දැනෙන චරිතයක්. ඒ වගේම මමත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ලෙස, ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා. මට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති.


ඔබ මේ ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් ඔබ කඩින් කඩ නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබීමට හේතුව මොකක්ද?


ඇත්තටම මට පසුගිය කාලය පුරාම නිර්මාණ බොහෝ ප්‍රමාණයකින් නම් ආරාධනා ලැබුණා. නමුත් මම විටින් විට විදේශගත වුණ නිසා ඒ නිර්මාණ භාරගත්තේ නැහැ. මොකද ඒ අධ්‍යක්ෂවරුන්ට නිර්මාණ කරගෙන යන්න අපහසු වෙන නිසා. ඒ හැරුණම ඉස්සර තරම්ම මම නිර්මාණවල දැක ගන්න ලැබෙන්නේ නැහැ කියන කතාව ඇත්ත. මොකද මගේ ජීවිතයේ මුල්තැන දීලා තියෙන්නේ මගේ පෞද්ගලික ජීවිතයට. නමුත් මම නිර්මාණ දිගින් දිගටම කරනවා. කලාව අතහරින්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ.


ඔබ නිතරම අහිංසක චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ඇයි?


මම රංගනයේදී චරිත තෝරා බේරා ගෙන අහිංසක චරිතවලටම රඟපාපු රංගන ශිල්පිනියක් නෙවෙයි. නමුත් මට ගොඩක්ම ලැබුණේ අහිංසක චරිත. ඒ නිසා වෙන්න ඇති බොහෝ ප්‍රේක්ෂකයන්ට මම අහිංසක චරිත බොහොමයකට රංගනයෙන් දායක වුණා කියලා හිතෙන්නේ. නමුත් මම සිතාමතා චරිතවලට සීමා වුණේ නැහැ.


වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ?


අද කාලයේ නවක කලාකරුවන්ට මේ ක්ෂේත්‍රයට එන්න බොහෝ මාවත් විවෘත වෙලා තියෙනවා. විශේෂයෙන්ම විවිධ සමාජ මාධ්‍යයන්ගෙන් ජනප්‍රිය වෙලාත් රංගනයට එන නවක කලාකරුවන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ක්ෂේත්‍රයට එන කලාකරුවන්ගෙන් නම් අඩුවක් නැහැ. නමුත් මේ එන නවක කලාකරුවන්ට කලා ක්ෂේත්‍රය ඇතුළේ හොඳ පැවැත්මක් තිබෙනවාද කියලා නම් දෙවරක් සිතන්න වෙනවා. මොකද කලාකරුවකුට මේ ක්ෂේත්‍රයේ දිගින් දිගටම පවතින්නට නම් ඔවුන්ගේ කැපවීම, දක්ෂතාව සහ වාසනාවත් තිබිය යුතුයි. මම නම් දකින ආකාරයට වර්තමානයේ බිහිවන හොඳ ටෙලි නාට්‍ය නිර්මාණ වේවා සිනමා නිර්මාණ වේවා මේ සෑම කලා නිර්මාණයක්ම හොඳ ගුණාත්මක මට්ටමක තියෙනවා.


අද කාලේ වෘත්තීයමය කලාකරුවකුට පැවැත්මක් තියෙනවාද?


කලාව රැකියාව කර ගත් බොහෝ ප්‍රවීණ කලාකරුවන් අපේ රටේ ඉන්නවා. ඒ අය තමන්ගේ සම්පූර්ණ ආදායමම ලබන්නේ කලා නිර්මාණවලින්. නමුත් ඔවුන් ඒ මාර්ගය ගොඩනඟාගන්නට බොහෝ කැප කිරීම් කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් මහන්සිවෙලා තමයි තමන්ගේ ස්ථාවරත්වය ගොඩනඟාගෙන තිබෙන්නේ. ඉතින් තමන්ගේ දක්ෂතාවත් එක්ක මේ ක්ෂේත්‍රයේ රැ‍ෙ¾දනවා නම් වෘත්තීයමය කලාකරුවකුට පැවැත්මක් තියෙනවා. නමුත් හරිම තෝරාගැනීම තමන්ම තෝරාගන්න ඕනෑ.


ඔබේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී ඔබව සිනමාවෙන් දැකගන්න ලැබෙයිද?


ඇත්තටම ඔව්. මම මේ වන විට සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා.  නමුත් ඒවා තවම තිරගත වුණේ නම් නැහැ. මගේ ප්‍රේක්ෂකයන්ට තවත් නොබෝ දවසකින් මම රංගනයෙන් දායක වෙන භ්‍රමණය කියන අලුත්ම සිනමා නිර්මාණය දැකගන්නට ලැබේවි.


කලාකරුවන්ට සම්මාන ලැබීම ගැන ඔබ මොකද හිතන්නේ?


කලාකරුවකුට සම්මාන ලැබෙනවා කියන්නේ හොඳ උත්තේජකයක්. මම නම් හිතන්නේ අනිවාර්යයෙන්ම කලාකරුවන්ව ඇගැයීමට පාත්‍ර කිරීම වැදගත්.  කලාකරුවකුට තව තවත් හොඳ නිර්මාණ කරන්න සම්මානයක් කියන්නේ ආශීර්වාදයක්. ඒ වගේම සැඳෑ සමයේදී වුණත් තමන් ලබාගත් සම්මානය දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. බොහෝදෙනකු එතරම් නොසිතුවාට සම්මානයක් කියන්නේම තමන් කළ කැපවීමවල සහ මහන්සියේ ප්‍රතිඵලයක්. සම්මාන ලැබීම ගැන කොතරම් විවේචන ආවත් මම නම් දකින්නේ කලාකරුවන්ට සම්මාන ලැබිය යුතුයි කියලා.


කලාකරුවකුට අත්දැකීම් කෙතරම් වැදගත්ද?


ඕනෑම ක්ෂේත්‍රයක පරිණත වෙද්දී තමයි අත්දැකීම් ලැබෙන්නේ. ඉතින් කලා ක්ෂේත්‍රය ඇතුළේත් එහෙමයි. කලාකරුවකුට මේ ක්ෂේත්‍රයට එද්දී රංගනය හදාරලා එන්න පුළුවන්. ඒ වගේම ක්ෂේත්‍රයට ඇවිල්ලා අත්දැකීම් ලබලා කලාව හදාරන්න පුළුවන්. ඉතින් පළමුවැනි නිර්මාණය ඇතුළේ අපි දකින රංගන ශිල්පියා හෝ ශිල්පිනිය නිර්මාණ කිහිපයකට පස්සේ එදා ආකාරයට නම් දැකගන්නන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම නම් දකින්නේ කලා ක්ෂේත්‍රය ඇතුළේ හොඳ ගමනක් යන්න නම් අත්දැකීම් බොහොම වැදගත්.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කළොත්?


මම මගේ ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මගේ පෞද්ගලික ජීවිතය හෝ රංගන ජීවිතයේ මට ළඟා කරගන්න දේවල් නැහැ. නමුත් මට ලැබෙන දේ මම සතුටින් භාරගන්නවා. මගේ පුංචි පුතා ඉක්මනින් මගේ උසට ලොකුවෙනවා නම් මම කැමැතියි.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post