අවුරුදු 9යි මාස 6කට පස්සෙ පරණ රස්සාවට අතගහපු නිරෝෂන් ප්‍රේමරත්න




ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදියෙක් ලෙස සිය මාධ්‍ය දිවිය ඇරඹූ ඔහු ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙක් මෙන්ම නිවේදකයෙක් ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වූ අති විශිෂ්ටයෙක්. ස්වාධීන රූපවාහිනි සේවයේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අයෙක් එහි සභාපති තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාවට හිමිකම් කීමට භාග්‍යය ලැබූ ඔහු වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදකයා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ මාධ්‍යවේදියෙක්. අද  එක් වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී නිරෝෂන් ප්‍රේමරත්න. 


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස් ඉතා කාර්ය බහුල අයුරින් ගෙවී යනවා. මේ දිනවල අපි අලුත් කර්තව්‍යයක් ආරම්භ කළා. එය නම් කරලා තිබෙන්නේ ජීවිතය කියලා. ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුළ තමයි ජීවිතය කියන මෙම වැඩසටහන අපි සිදු කරගෙන යන්නේ. ජීවිතය කියන වැඩසටහන තුළ බොහෝ දේ තිබෙනවා. විවිධ වූ තේමාවන් යටතේ විවිධ කටයුතු අපි එහිදී සිදු කරනවා. මේක ඉතා ලස්සන, ආකර්ෂණීය වැඩසටහනක්. ඔන්න ඔය විධියට තමයි මේ දිනවල ජීවිතය ගෙවී යන්නේ.


අවුරුදු 9කට පස්සෙ ස්වාධීන රූපවාහිනි මැදිරියට ගිහින් සුපුරුදු වැඩසටහන සහ සුපුරුදු වෘත්තිය නැවතත් කරන්න ලැබුණු අත්දැකීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම චැට් ඇන්ඩ් මියුසික් කියන්නේ ඒ කාලයේ ඉතා ජනප්‍රිය වැඩසටහනක්. ඒ වගේම ලංකාවේ ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් මේ වැඩසටහනට ආදරය කළා. චැට් ඇන්ඩ් මියුසික් කියන්නේ ඒ දවස්වල තිබුණු වෙනස් ආකාරයක වැඩසටහනක්. මේ වැඩසටහන ආරම්භ කළේ දෙදහස් හතර වර්ෂයේ. මම චැට් ඇන්ඩ් මියුසික් වැඩ සටහන සම්බන්ධ වුණේ දෙදහස් හත වර්ෂයේදී. මම වසර අටක් මේ වැඩසටහන කළා. මිනිස්සු හරිම ආදරෙන් මේ වැඩසටහන බැලුවා. වයස් භේදයකින් තොරව වැඩිහිටියන්, තරුණයන් වගේම කුඩා ළමයින් පවා මේ වැඩසටහන වැලඳ ගත්තා. කාටත් රසවිඳින්න බලන්න පුළුවන් ආකාරයේ වැඩසටහනක් විධියට තමයි මම මේ වැඩසටහන කරගෙන ගියේ. ඊට පස්සේ මට වැඩසටහනෙන් යන්න වුණා. ඉන් අනතුරුව අවුරුදු නවයයි මාස හයකට පස්සේ ස්වාධීන රූපවාහිනියේ හතළිස්පස්වැනි සංවත්සරය නිමිත්තෙන් මට නැවතත් එක් වරක් මේ වැඩසටහන කරන්න කියලා ආරාධනා කළා. මට වගේම ස්වාධීන රූපවාහිනියේ සිටි පැරණි නිවේදකයන් වන සංජීව එදිරිමාන්න, මහේෂ් සේනානායක වැනි අයටත් තමන් කරපු වැඩසටහනක් නැවතත් කරන්න කියලා ආරාධනා කරලා තිබුණා.


වසර ගණනාවකට පසුව ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහන සිදුකළ පසුව ලැබුණ ප්‍රතිචාර ගැන කියනවා නම්?


සනත් විමලසිරි, ශේන් සිං, නිලාන් හෙට්ටිආරච්චි, ගයාන් වික්‍රමතිලක, හේෂානි ලියඳිපිට, හනා ශෆා, ශාන් පුතා සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියන පිරිසගේ සහභාගීත්වයෙන් මේ වැඩසටහන ඉතා හොඳින්  ගලාගෙන ගියා. මේ ගැන ගොඩක් ප්‍රේක්ෂකයන් කලින්ම දැනගෙන තිබුණා. ඒ වගේම ඇතැම් පිරිසක් ඒ මොහොතේ දැකලා මේ වැඩසටහන නැරඹා තිබුණා. ඇතැම් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේත් මේ වැඩසටහන නරඹලා තිබුණා. ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. මාව ගොඩක් අය මෙහෙම දැක්කේ කාලයකට පස්සෙනේ. සමහරු කතා කරලා ආයි මේක කරන්න කියලා කිව්වා. සමහරු දැකපු එකත් සතුටුයි කියනවා. සමහර අය කතා කරලා ඇඬුවත් එක්ක. මේ ආකාරයේ විවිධ ප්‍රතිචාර මට ලැබුණා.


ඔබ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදකයා බවට පත්වුණා. ඒ වගේම ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ වැඩසටහන්  මෙහෙය වූවා. මේ අන්ත දෙක අතර ‍ෙදා්ලනය වීම ඔබ දකින්නේ කෙසේද?


රාජ්‍ය මාධ්‍යයක් තුළ ප්‍රවෘත්ති වාර්තාකරණය  කියන එක වෙනස් ආකාරයක බරපතළ කර්තව්‍යයක්. ඒක සිදු වන්නේ අනෙක් මාධ්‍යයක සිදුවන ආකාරයට සපුරාම වෙනස් අයුරකින්. පිටපත් රචනයේ විධිය වෙනස් වගේම එය ඉදිරිපත් කරන විධියත් වෙනස්. ප්‍රවෘත්ති කියන විට ගාම්භීරත්වයෙන් යුතුව මිනිස්සුන්ට දැනෙන ආකාරයෙන් කියන්න ඕන. මේ කාලයේම මම ඒ කියන්නේ දෙදහස්පහ වසරේදී හැඩකාර හැන්දෑව කියලා වැඩසටහනක් කළා. හැඩකාර හැන්දෑව මම ඉදිරිපත් කරපු ආකාරය දැක්කම ඔවුන් තීරණය කළා මාව ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩ සටහනට යොදා ගන්න. මට හිතෙන විධියට මම ඒ තුළ නිවේදකයෙක් විධියට විශේෂ දෙයක් කළේ නැහැ. මට තිබුණේ සමාජ ආචාර ධර්ම ආරක්ෂා කර ගනිමින් සාමාන්‍ය මිනිහෙක් වෙන්න. මම නිවේදක අසුන උඩ අසුන්ගෙන සාමාන්‍ය මිනිහෙක් විධියට මා ගාවට එන මිනිසුන්ට වැදගත්කමක් දීලා ඔවුන් පැමිණි ආකාරයට වඩා වටිනාකමක් එක් කරන්නත් උත්සාහ කළා. ඒ  වගේම ප්‍රේක්ෂකයන් හිතන ආකාරයට හිතලා කතා කළා. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත එක්ක තමයි මම වැඩසටහනේ සිටියේ. මේ නිසා මේ දේවල් මට අභියෝගයක් වුණේ නැහැ. මම ඒ ඒ දේවල්වලට අදාළ සීමාවන් දැනගෙන සිටියා.


ඔබ විවිධ පරාසයන් තුළ නිවේදන කටයුතු සිදු කර තිබෙනවා මේ දේවල් ගැනත් කියනවා නම්?


මම ප්‍රවෘත්ති කියන්න ගිය විටෙක ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස කටයුතු කළා. මම ඒ තුළ තිබෙන සීමාවන් සහ කළ හැකි දේ පිළිබඳව අවබෝධයකින් සිටියා. ඒ වගේම වැඩසටහනක් තුළ තිබෙන නිදහස ගැන මම තේරුම් අරගෙන තිබුණා වගේම කළ හැකි දේ පිළිබඳ අවබෝධයක් තිබුණා. මීට අමතරව මම ප්‍රසංග වේදිකාව තුළ නිවේදක කටයුතු සිදුකරලා තිබෙනවා. රාජ්‍ය උත්සවවලට සහභාගි වෙමින් ඒවා තුළ කටයුතු කරලා තිබෙනවා. නිවේදකයෙක් ලෙස මට බොහෝ තැන් ස්පර්ශ කරන්න හැකි වෙලා තිබෙනවා. ඒ කාලය ගැන මට සතුටුයි.


නිවේදන වෘත්තීය වත්මන තුළදී සමාජ මාධ්‍ය ජාලා තුළ සිටින නිසි හැදෑරීමක් නොමැති පිරිසගේ ආක්‍රමණයට නතු වෙලාද?


මාත් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. ඒවා නරඹනවා. සමාජ මාධ්‍ය තුළ සිටිනවා. අද සමාජයේ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ අද තිබෙන ප්‍රශ්නය, අද දවස ගැන හිතලා. අද දවසේ වෙන දෙය ගැන කතා කළා නම් ඒ දෙය හරි ඕකේ කියලා තමයි ඔවුන් වැඩ කරන්නේ. ඒ තුළ අද එක් කෙනෙක් මාතෘකාවක් බවට පත්වුණා නම් හෙට තවත් කෙනෙක් මාතෘකාවක් බවට පත්වෙන්න බලනවා. එහෙම වුණාම දීර්ඝකාලීනව පැවැත්මක් නැති වෙනවා. සමාජ මාධ්‍ය ඕනෑම කෙනෙක්ට විවෘතයි.  ඒ නිසා ඕනෑම කෙනෙක්ට නිදහස තිබෙනවා. මේ නිසාම තමන්ගේ අවබෝධයේ ප්‍රමාණයෙන් බොහෝ අය මෙහි වැඩ කරනවා. ඒ තුළත් ඇතැම් අය විවිධ දෙය කරනවා. නමුත් ඉතා නරක දෙය තමයි ජනප්‍රියත්වයට පත්වෙන්නේ. හැබැයි ඉතින් පසුකාලීනව මේ දේවල් වෙනස් වෙයි. ඒ වගේම ප්‍රේක්ෂකයන් ඉදිරියේදී ඒ දේවල්වලට දක්වන ප්‍රතිචාර එක්ක මේ දේවල් ගොඩක් වෙනස් වෙයි. මේ අතරම විශිෂ්ට දක්ෂතා තිබෙන පිරිසකුත් සිටිනවා. ලෝකය දැන් විවෘත වෙලා සමීප වෙලා. 


අපි සමාජ මාධ්‍ය තුළින් අපේ දෙය වටිනාකමක් ඇතුව ලෝකයට ගෙනියනවා නම් තවත් හොඳයි.


දේශපාලනය නිසා කලාව ඔබට ගිලිහී ගියාද?


කලාව කියන එක මිනිහෙක්ගේ ඇඟෙන් මැරෙනකල්ම ගිලිහී යන්නේ නැහැ. අවුරුදු නවයකට පස්සෙත් මම නිවේදකයෙක් වුණා කියලා මට වෙනසක් දැනුණෙත් නැහැ ප්‍රේක්ෂකයාට වෙනසක් දැනුණෙත් නැහැ. කලාව කියන දෙය ප්‍රකාශය කිරීමේ හැඩහුරුකම් මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. දේශපාලනය කියන්නෙත් විෂයක්, කලාව කියන්නෙත් විෂයක්. දේශපාලනය තුළින් කරන්නේ ලස්සන මිනිහෙක් නිර්මාණය කරන එක. ඒකත් කලාවක්. ඒ වගේම ඊට එහා ගිය විද්‍යාවක්.


ගිහාන් සචින්ත



Previous Post Next Post