රයිගම් සම්මාන උලෙළ දා ලොවටම ඇසෙන්න තාත්තාට ආදරෙයි කියූ සිඟිත්තිය සාරන්‍යා




කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ 20 වැනි වතාවට පවත්වනු ලැබූ රයිගම් ටෙලීස් සම්මාන උලෙළ – 2023 සම්මාන උලෙ‍ෙළ් කැපී පෙනෙන සිදුවීම් අතර ශාලාවේ හිටි බොහෝ දෙනාගේ මුවඟ සුන්දර මෙන්ම ආදරණීය මතකයක් එකතු කරන්නට වූයේ සිඟිත්තියකැයි කීම නිවැරදිය. ඒ නම් ජනප්‍රියම නළුවාට හිමි සම්මානයට හිමිකම් කියූ සාරංග දිසාසේකරගේ දියණිය වූ සාරන්‍යා දිසාසේකරය. සම්මාන උලෙළේදී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට දිනක්ෂි ප්‍රියසාද් සමඟ සාරන්‍යා දිසාසේකර වේදිකාවට පැමිණීම ඒ මොහොතේ කාගෙත් සිත් ගත් දසුනක් විය. හුරුබුහුටි සිඟිත්තිය තම පියාට හිමි සම්මානය ගැනීමට වේදිකාවට නැඟීම හරි අපූරු දසුනකි. ඒ මොහොත ගැන අපත් සමඟ කතා කළේ සාරංගගේ ආදරණීය බිරිය දිනක්ෂිය.


“එදා සාරංග එතැනට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. කොයිකටත් කියලා මම එදා බබාට කියලා තිබුණේ හදිසියෙන් හරි දැන් අර ආන්ටි තාත්තිගේ නම කිව්වොත් අපි දුවලා දුවලා යමු කියලා. එයා ඒක මතක තියාගෙනම ඉඳලා. සාරංගගේ නම කියපු ගමන් දුවන්න ගත්තා. ඒ වෙලාවට මම එයාව පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන ඉන්නකොට සාරංගගේ නම ජනප්‍රියම නළුවා ලෙස කිව්වා. ඒ වෙලාවේ අපි දෙන්නා එක සැරේටම දුවන්න පටන් ගත්තා. ඒ මොහොත හරිම ලස්සන සුන්දර මොහොතක් වුණා. ඒ වගේම ඒ මොහොත අපි දෙන්නට වැඩිය සාරංගට අමතක නොවන මොහොතක් කියලයි මට හිතුණේ.


හිරු ස්ටාර් ලයිව් එක ඉවර කරලා තමයි සාරංග එදා සම්මාන උළෙලට ආවේ. එයා එන ගමන් මගෙත් එක්ක කතා කළා. මම ඇහුවම කොහෙද කියලා, දැන් පිටත් වුණා කිව්වා. ඒ එන අතරවාරයේ තමයි ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දුන්නේ. එයා එන අතර වාරයේ රයිගම් ලයිව් එක බලමින් ඇවිත් තිබ්බේ. ඒ නිසා එයාට ඒ මොහොත මිස් වුණත් Fb live එක එක්ක හිටිය නිසා ඒ මොහොතේ එතැන හිටියා වගේ හැඟීමක් ආවා කියලා කිව්වා. සාරංග කිව්වේ මට එන්න බැරි වුණු එකත් හොඳයි. එයා සම්මානය ගත්තාටත් වඩා එයා සතුටුයි කිව්වා දුව ඒ සම්මානය ගත්ත එක. “තාත්තා ට ආදරෙයි“ කියලා සාරන්‍යා වේදිකාව මත කියද්දී දැනුණු හැඟීම සාරංගට අමතක කරන්නම බැරි සිදුවීමක් කියන එක එයා මා එක්ක කිව්වා. ඒ නිසා තමයි මම කිව්වේ ඒ සිදුවීම අපි දෙන්නට වඩා වටින්නේ සාරංගට.


දැන් වෙද්දී ගොඩක් අවස්ථා, විවිධ මාර්ග තියෙනවා කලාවට යොමු වෙන්න. නමුත් අපේ පැවැත්ම තීරණය වෙන්නේ අපි කරන දේට කොයි තරම් නම් කැප වෙනවද අවංක වෙනවද කියන එකත් එක්ක. මම සාරංගගේ දැකලා තියෙන්නේ එයාට ලැබෙන වැඩවලට හොඳටම කැපවෙන කෙනෙක් සහ ගොඩක් ආදරෙන් කිසිම දෙයකට බැහැ නොකියා කම්ප්ලේන් නොකර වැඩේට උපරිම සහයෝගය දීලා වැඩ කරන එක. ඒ හින්දාම තමයි එයාට හොඳ ප්‍රතිපල ලැබෙන්නේ. අද වෙද්දී මේ ක්ෂේත්‍රයට එන්න ලේසි වුණාට ලැබෙන ජනප්‍රියත්වය රැකගන්න එක තමයි අමාරු වැඩේ. සාරංගට වාසනාව එක්කම එයාගේ දැඩි කැපවීම තමයි මෙච්චර කාලයක් ජනප්‍රිය තලයේ රැඳෙන්න හේතු වෙන්නේ‍.


සාරන්‍යා අපේ ජීවිතේට ආවත් එක්කම අපේ ජිවිත ගොඩක් හොඳ විදියට වෙනස් වුණා. අපි දෙන්නා කොච්චර කාර්යබහුල වුණත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ බබා එක්ක කාලය ගත කරන්න හැකි වෙලාව හදාගන්න. මට නම් සාරංගට වැඩිය බබා එක්ක ඉන්න වෙලාව හම්බ වෙනවා. එයාට දැන් අවුරුදු දෙකහමාරයි. සාරන්‍යා දැන් හරිම කටකාරයි. ඒ නිසා එයාගේ කටකාරකම් අහගෙන බැණුනුත් අහගෙන ඉන්නවා. දැන් අපි ජීවත් වෙන්නේ සාරන්‍යාට ඕනේ විදියට. එයා තමයි අපි දෙන්නව කන්ට්‍රෝල් කරන්නේ.“


මේ දිනවල බොහෝ සෙයින් වයිරල් වෙනවා දිනක්ෂි – සාරංග දෙන්නා නර්තන පුහුණුවක් පුරුදු වෙන වෙලාවේ සාරන්‍යා ඒකට දක්වන ප්‍රතිචාරය. ඒ ගැනත් මේ කතා බහේදී අපි දිනක්ෂිගෙන් ඇහුවා.


“ඒ මමයි සාරංගයි සරසවි සම්මාන උළෙලට සාරංගගේ තාත්තා ගැයූගලන ගඟකි ජීවිතේ කියන සින්දුවට ඇක්ට් එකක් පුරුදු පුහුණු වුණා. චන්න සර්ගේ ගෙදර රිහසල් තිබ්බේ. අපි දෙන්නා එදා බබාවත් එක්කගෙන ගියා. ගොඩක් වෙලාවට පුළුවන් හැම වෙලාවේම එයාවත් අරන් යනවා. එතකොට අපිත් එක්ක කාලය ගත කරන්න වෙලාව ලැබෙන නිසා. විශේෂයෙන් ඩාන්සින්වලදී. මොකද එයා ඩාන්සින්වලට, සින්දු කියන්න හරි ආසයි. ඔය එදා අපි දෙන්නගේ ඇක්ට් එක බල බලමට වැරදෙන වෙලාවට එයා හිනා වේවි එයා එන්ජෝයි කරනවා. අපි හිතුවා ඒ මොහොත අපි අපේ ප්‍රේක්ෂකයින් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. ඒ නිසයි සෝෂල් මිඩියාවලට දැම්මේ.


අපි කරන වැඩවලට පුංචි සාරන්‍යාත් එකතු කර ගන්නවා. ඉස්සරහට එයා කොයි විදියට එයාගේ ජීවිතේ ගෙනි යයි ද කියන්න අපි දන්නේ නැහැ. අපි දෙන්නම ආසයි එයත් කලාවට එකතු වෙනවට. ඒ වුණාට ඒක එයාගේ තීරණයක් නේ. සමහර වෙලාවට දැන් ඔහොම කළාට කලාවට සම්බන්ධ නැති වෙනමම ක්ෂේත්‍රයක් තෝරා ගන්නත් ඉඩ තියෙයි. ඒ නිසා එයා කැමති දෙයක් කරන්න නිදහස දෙනවා කියන තැන අපි දෙන්නා ඉන්නේ. එයා කැමතියි කිව්වොත් රංගන ශිල්පිනියක් වෙන්න මම ඒකට උඩින්ම කැමැත්ත සහ සහයෝගය දෙනවා. වෙන ක්ෂේත්‍රයක් ගැන කිව්වත් එයා කැමති දේ කරන්න සහයෝගය දෙනවා කියන තැන ඉන්නේ.


අපි දෙන්නා හරි ආසයි සාරන්‍යාත් කලාවට එනවට. අපි දෙන්නට මේ හැමදේම ලැබුණේ කලාව නිසා. ජීවිතේට ජීවත් වෙන්න අවශ්‍ය කරන හැමදේම මට ලැබුණෙ කලාව නිසා. විශේෂයෙන්ම සාරන්‍යාව මට ලැබෙන්නෙත් කලාව නිසා. සාරංග මට ලැබීමත් එක්කනේ. මම කැමතියි සාරන්‍යාත් මේ ක්ෂේත්‍රයටම එනවට.“


අමතක කරලා යන්න බැහැ මේ වසරේ නැවත සරසවි සම්මානයකටත් දිනක්ෂි හිමිකම් කිව්වා.


“ඔව්. ඇත්තටම මේ මට ලැබුණු දෙවන සරසවි සම්මානය. මින් පෙර මට ලැබුණා චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කළ මේ වගේ ආදරයක් චිත්‍රපටයට. මේ සැරේ මට ලැබුණේ සුජීව ප්‍රියලාල් අයියාගේ සුපර්ණා චිත්‍රපටය තිරගත වෙලා තිබුණු නිසා. ඒකත් ප්‍රේක්ෂක මනාපයෙන් ලැබුණු සම්මානයක් නිසා අපි එක්ක ඉන්න ප්‍රේක්ෂකයින්ට තමයි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ.


ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් ප්‍රේක්ෂක ආදරේ අපිට තියෙන්න ඕනේ. අපි කොච්චර හොඳ වැඩ කළත් මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කළත් අපිට ප්‍රේක්ෂකයින් එක්ක ගනුදෙනුවක් නැති නම් අපේ වැඩ ෆේල් වෙනවා. ප්‍රේක්ෂකයින් තමයි අපේ නිර්මාණ නරඹන්නේ. හැම වෙලවෙම අපි ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රේක්ෂකයින්ට. අපි කරන වැඩ බලලා හොඳ නරක විවේචන අපි එක්ක බෙදා ගන්නවා. ඒ කතා බහ තමයි අපේ ගමනට ඉස්සරහට අරන් යන්න වැදගත් වෙන්නේ. “


අනුෂා රණසිංහ





Previous Post Next Post