එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නෙ වසර හතකට පස්සෙ - සේමිණී ඉද්දමල්ගොඩ

 


ප්‍රසන්න ජයකොඩි අපිට පෙන්නපු ‘සුද්දි. ට මේ වසරේදී සම්මාන පිට සම්මාන ලැබෙනව. චරිතය නිරූපණය කළ සේමිණීට මේක සුවිශේෂී අවස්ථාවක්. මොකද වසර හතකට පස්සෙ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණ ඇයට, වසර විසි දෙකකට පස්සෙ හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනව. උණුසුම යන්නත් කලින්ම, වේදිකාවෙන් බැහැපු සේමිණී ඉද්දමල්ගොඩ එක්ක මීවිත අපි මේ විදිහට කතාබහක යෙදුණා.

සුද්දි මේ වසරේ සම්මාන උළෙල දෙකකදී හොඳම නිළිය වෙනව. සුද්දිට ජීවය දුන් සේමිණීට දැනෙන හැඟීම වචනවලට පෙරළුවොත්?


‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නෙ වසර හතකට පස්සෙ. මේ කතාවේ සුද්දි කියන චරිතය නියෝජනය කරන්නෙ රැකියාවක්. සමාජයේ මිනිස්සු කොන් කරල වැරදි විදිහට තමයි ඇය දිහා බැලුවෙ. එතනදි ඔවුන්ගෙ මතය වෙන්නෙ ගැහැනිය වැරදියි, පුරුෂයා නිවැරදියි කියන එක. ඉතිං මේ චරිතය හරහා සුද්දිලා වැනි අය කියන්නෙ ආදරය, කරුණාව වගේම අවධානය ලබන්න ඕන අය කියල සමාජයට පෙන්නුවා. මේ නිසා වෙන්න ඇති සුද්දිට මේ තරම් ආදරයක් ලැබුණෙ.


සේමිණීගේ රංගන ජීවිතයට සුද්දි බලපෑමක් කළාද?


සුද්දී කියන චරිතය මම මුලින්ම නිරූපණය කළේ ‘28′ චිත්‍රපටයෙන්. ඒක මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා. ශක්තිමත් කාන්තාවන් නියෝජනය කරන්න, එහෙමත් නැත්නම් කාන්තාව කියන කෙනා දුර්වල නැහැ කියල පෙන්නන චරිතයක් විදිහට මේ චරිතයක් මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා. මේ නිසා මට දැන් විවිධාකාරයේ චරිත ලැබෙනව. මොකද අවුරුදු හතක නිහැඬියාවකින් පස්සෙ තමයි මම ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ රඟපෑවෙ.


සුද්දි වගේම සිරි අයියාත් එකම වේදිකාවේ අගැයීමට ලක්වෙනව. ඒක මොන වගේද දැණුනෙ?


ඒක හරිම සතුටුදායක අවස්ථාවක්. සිරි වගේම එහි රඟ පෑ චරිත සියල්ලමත්” මුළු නිෂ්පාදන කණ්ඩායමත්, අධ්‍යක්‍ෂවරයා, නිෂ්පාදකවරයා යන හැම කෙනකුටම ඉතාමත් ලොකු සාධාරණයක් වුණා. අපේ ටීම් වර්ක් එකේ සඵලතාව තමයි ඒකෙන් පෙන්නුම් කළේ. මට සම්මානය ලැබිල මහේන්ද්‍ර අයියට ඒක නොලැබී යනකොට මට පුදුමාකාර දුකක් දැණුනෙ. නමුත් ඉන් පස්සෙ ඔහුගෙ නම කියවෙනකොට මට පුදුමාකාර සතුටක් දැණුනෙ. කෙනකුට තනියෙන් දිනන්න බැහැ” කණ්ඩායමක් ඉන්නව. ඒ කණ්ඩායම අතර තමන් එක්ක අනෙක් පාර්ශ්වයෙන් රඟපාන ශිල්පියා හෝ ශිල්පිණියගේ තියෙන දක්‍ෂතාව තමයි අනෙක් කෙනාට ලැබෙන්නෙ. ඒ වගේම අපි අතර රංගන තරගයක් තියෙන්න ඕනා. එතකොට තමයි හරිම දේ එළියට ගන්න පුළුවන් වෙන්නෙ. මේ සම්මානය මහේන්ද්‍ර අයියත් එක්ක එකට ගන්න ලැබුණ එක මට ලොකු ගෞරවයක්.


‘එයා දැන් බැඳලා‘ ටීම් එකේ සියලුදෙනාම වගේ

වේදිකාවට ගොඩවෙනව?


මෙතනදි අපිට නොලැබුණේ සම්මාන තුනක් වගේ ප්‍රමාණයක්. අනෙක් සියලුම සම්මාන අපි විසින් හිමිකර ගන්නවා. මගේ වෙලාවෙන් පස්සෙ මම දකිනව අපේ කණ්ඩායමේ සියලු දෙනාම වගේ වේදිකාවේ ඉන්නව. අපේ මුළු කණ්ඩායමේම කැපවීමේ ප්‍රතිඵල තමයි එදා දැක්කෙ.


විශාල අර්බුද මැද, ලොක්ඩවුන් කාලෙක තමයි මෙහි රූගතකිරීම් සිදු වුණේ?


කොරෝනා කාලෙ ගොඩක් දෙනෙක් වැඩ නැතිව ගෙවල්වලට වෙලා හරිම පීඩාවෙන් ජීවත් වුණේ. ඒ කාලෙ තමයි ප්‍රසන්න අයියට මේ අදහස එන්නෙ. ඇත්තටම චිත්‍රපටයකට නගන්න හිටපු නිර්මාණයක් තමයි මේ පිටපත වෙනස් කරල ටෙලි නාට්‍යයක් කළේ. නමුත් අදහස් මොන තරම් ආවත් ඒකට පිරිවැයක් දරන්න නිෂ්පාදකවරයෙක් හොයාගන්න එක තමයි ලොකුම අපහසුතාව. පිට රටක ජීවත් වන මෙහි නිෂ්පාදක වසන්ත කන්නන්ගර මහත්මයා අපි ගැන කිසිම දෙයක් නොදැන සුමුදුගෙ දැනහැඳුනුම්කම් මත අපිව මුණගැහිල” මේ කාල වකවානුවේ හැටියට යොදන පිරි වැය නැවත ලැබෙයිද නොලැබෙයිද කියල නොදැන එතුමා ඒ වෙලාවෙ කළේ පරිත්‍යාගයක්. ඒ පරිත්‍යාගයට කෘතගුණ සැලකීමක් විදිහට අපි මේ නිර්මාණය ඉහළම තැනකට අරන් දුන්නා.


සිරි මාමාව සුද්දිට දැනෙන්නෙ මොන විදිහටද?


සුද්දි කියන්නෙ ආදරයක්” කරුණාවක් නොලැබුණ ගැහැනියක්. ඒ ආදරය කරුණාව සිරීගෙන් ලැබුණා. ඒ වගේම සිරි ඇස් දෙකෙන්ම දකිනව එයා හිටපු නරා වළ මොන වගේද කියල. ඒ දැන දැනම ඇය එක්ක විවාහ වෙනව. එතැනින් පස්සෙ සිරීගෙ පුරුෂ ගතිය නැතිව සාම්ප්‍රදායික පිරිමියකුගේ ලක්‍ෂණ මතු වෙන්න ගත්තා. සැකය, වපරැහින් බලන එක වගේ දේවල් එක්ක කොන්දක් නැති පිරිමියකුගේ තැනට වැටුණා. සුද්දි වගේ කෙනෙක්ව ජීවිත කාලය පුරාවටම රැකගන්න ඕන නම්, සිරි වගේ කෙනෙක්ව මුණගැහෙන්න ඕන වගේම ඔහුට කොන්දකුත් තිබිය යුතුයි.


සුද්දි සමාජයට දුන්න පණිවිඩය මොකක්ද?


සමාජයේ නරක විදිහට කතාකරන කාන්තාවට සුද්දිගේ චරිතය තුළින් යම් වටිනාකමක් දුන්නා කියල මම විශ්වාස කරනව. කාන්තාවන් මේ රැකියාවට යන්නෙ කැමැත්තෙන් නෙමෙයි, කළ හැකි අන් දෙයක් නොමැති නිසා කියන දේ මිනිස්සු දැනගෙන හිටියත් පිළිගන්න සූදානම් වුණේ නැහැ. නමුත් මේ නිර්මාණය හරහා සානුකම්පිත පැත්තක් මතුවෙලා සුද්දිලා වගේ අයටත් ආදරේ කරන්න මිනිස්සු පෙළඹෙයි, ඔවුන්ගේ ජීවිත ඉහළට ගන්න පෙළඹෙයි කියල විශ්වාස කරනව.


ඔබේ සැමියා ධම්මික මොකද කිව්වෙ?


ඇත්තටම ඔහුට ගොඩක් සතුටුයි. ඔහු දන්නව මම යම් දෙයක් කරනවා නම් කැපවීමෙන්ම ඒ දේ කරනව කියල. මට යම් නිරවුල් මානසිකත්වයෙන් නිර්මාණ කටයුත්තක යෙදෙන්න නම් මගේ පවුළ තුළ සාමකාමී විය යුතුයි. ප්‍රශ්න තියාගෙන මට ඒක කරන්න බැහැ. ඒ දේවල්වලින් මාව මුදවල නිදහස දෙන එකට මම ඔහුට ස්තූතිවන්ත වෙනවා.


දුවගෙ ප්‍රතිචාරය මොන වගේද?


ඇයටත් හරිම සතුටුයි. අද ඇය මට මැසේජ් එකක් දාල තියෙනව අම්මගේ අගය එළියට එන කාලය ඇවිල්ලා. කියල.


රංගන ජීවිතය ගැන නැවත විමසීමක් කළොත්?


ටෙලි නාට්‍යවල මම රඟපෑ ගොඩක් චරිත හොඳම නිළියට නිර්දේශ වුණත්” මට සම්මානය ලැබුණෙ නැහැ. මෙවර සුමති සම්මාන උළෙලේදී මුල්ම වතාවට වසර 22කට පසුව ‘එයා දැන් බැඳලා’ හි සුද්දිගේ චරිතයට හොඳම නිළිය සම්මානය ලැබෙන්නෙ. දෙවැනි වතාවටත් මේ වසරේදීම එම චරිතයටම රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් සම්මානිත වෙනව. මඟහැරුණ දේවල් ගැන දුකක් නැහැ. මොකද මට හිතෙනව මඟහැරුණ දේවල් මාව තව තවත් උත්තේජනය කළා කියල. මට පසුතැවෙන්න කිසිම දෙයක් නැහැ.


මොනවද අලුත් වැඩකටයුතු?


මේ දවස්වල තත්පරයක් දෙන්න, ලලයි ලිලයි ලයි, තුළින් දකින්න පුළුවන්.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post