අතපය දිගහැරලා වැඩ කරන්න ඕනෑ – කෝරලගේ සමන්

 


ජීවිතයේ හීන සැබෑ කරගන්න හද්දා පිටිසර ගමක ඉඳලා කොළොම්තොටට ඇවිදින් අනේකවිද රස්සාවල් කරලා අවසානයේ තමන්ගේ හීනය සැබෑ කරගත්තු හාදයෙක් එක්ක තමයි අද අපේ කතාබහ. මෙයා පසුගිය දවස්වල පාරදිගේ සිකුරා, මෙට්‍රෝ හීන සමන්ත ලෙසින් වගේම අඳුන්ගිරේ කාක්කා ලෙසින්ද ඔයාල හමුවට ආවා. අද දවසේ අපට හමුවන්නේ වෙනස්ම චරිතයකිනි. ඒ වගේම මෙයා පසුගිය දවස්වල වැඩි සද්ද බද්දයක් නැතිවම අධ්‍යක්ෂණ කාර්යයටත් අතගසලා. කියවලා බලන්නකෝ කෝරලගේ සමන් හාදයාගේ කතාව.


මේ දවස්වල කෝරලගේ සමන් වෙනස්ම වැඩකට අතගසලා කියලා ආරංචියි ?


ධනුෂ්ක රත්නායකගේ SEE YOU කියන ටෙලිනාට්‍යය ස්වර්ණවාහිනියේ සතියේ දින පහේම රාත්‍රී 9.30 ට විකාශනය වෙනවා. වෙනස් විදිහේ ටෙලිනාට්‍යයක්. පොඩ්ඩේ අයියා තමයි මගේ චරිතය.


පොඩ්ඩේ අයියා දාමරිකයෙක් වගෙයි ?


දාමරිකයෙක් තමයි. නමුත් දාමරිකයෙක් වුණත් මනුස්සයෙක්නේ. මේ සමාජය ඇතුළෙන්ම තමයි දාමරිකයා කියන මනුස්සයා නිර්මාණය කරන්නේ. එයාටත් හැඟීම් දැනීම් තියෙනවා. අම්මා නැති දරුවෙකුට රැකවරණයක් දෙන තාත්තා කෙනෙක් තමයි පොඩ්ඩේ අයියා.


පොඩ්ඩේ අයියාට හම්බවෙන්නේ හොඳ ප්‍රතිචාරද? නරක ප්‍රතිචාරද?


හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චරිතයේ දෙපැත්තක් තිබෙනවා. ඇත්තටම සමාජය ගැන ඛේදවාචකයක් එනවා හැරෙන්න චරිතය ගැන වෛරයක් එක තැනකවත් නැහැ. ඒක තමයි මේ නාට්‍යයේ තිබෙන සුවිශේෂත්වය.


පසුගිය කාලයේ වෙනස් වැඩ කිහිපයකින්ම දකින්න ලැබුණා?


ඇත්තටම මට ඕනෑ එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න. මට ඇත්තටම අතපය දිගහැරලා ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරනවා වගේ නළුවෙක් විදිහට සෙල්ලම් කරන්න මම කැමැතියි. එහෙම නිර්මාණ ටිකකට තමයි පසුගිය කාලයේ දායක වුණේ. විශේෂයෙන්ම තුම්පනේ ටෙලිනාට්‍යය. රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට විදිහටත් මාව නිර්දේශ වුණා. අඳුන්ගිර ටෙලි නාට්‍ය සඳහා සුමති සහ සිග්නීස් සම්මාන උළෙලේදී හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයට හිමිකම් කිව්වා. මෙට්‍රෝ හීනත් වෙනස් හැඩතලයක ටෙලිනාට්‍යයක්.


පාරදිගේත් වෙනස්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ ටෙලිනාට්‍යයක්


දැන් වැඩ භාර ගන්නකොට ටිකක් පරිස්සම් වෙනවාද?


පසුගිය කාලයත් එක්ක අපි හැමෝටම වගේ බොහෝ වැඩ සීමා වුණා. තෝරාබේරාගෙන තමයි මට බොහෝ දෙනා කතාබහ කරන්නේ.


ඔබට ලැබෙන චරිත ගැන සෑහීමකට පත්වෙනවාද?


චරිත තව ලැබෙනවා නම් තව කරනවා. සෑහීමකට පත්වෙලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ මේක. නමුත් අපි ආසයි දිගින් දිගටම ඉතාම හොඳ නාට්‍ය රඟපාන්න. රසම කෑම අපිට හම්බවෙනවා නම් අපි කන්න බෑ කියන්නේ නෑනේ. අන්න ඒ වගේ මම රඟපාන්න කෑදරයි.


මේ වෙලාවේ SEE YOU වල විතරද රඟපාන්නේ ?


නැහැ. හිරු නාලිකාවේ විකාශනය වෙන අකුරට යන වෙලාවේ කියලා වැඩක්. සුදත් දේවප්‍රියගේ අධ්‍යක්ෂණයක්.


කෝරලගේ සමන් අධ්‍යක්ෂණයට අතගැසුවා කියලත් ආරංචියි ?


ඔව්. මම අධ්‍යක්ෂණය කළා අමුතු දොස්තර කියලා ටෙලිනාට්‍යයක්. කොටස් තිහ හතළිහක වැඩක්.


අමුතු දොස්තරව කවදද මිනිස්සුන්ට දකින්න හම්බවෙන්නේ ?


මේ අවුරුද්දේ දැකගන්න පුළුවන් වෙනවා. මේ කතාව මම පළමුවෙන්ම පත්තරයකට කියන වෙලාව. ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණා.


පසුගිය කාලයේ නිහඬව හිටියේ මේ වැඩේ හින්දාද?


අධ්‍යක්ෂණ කාර්යයට අතගසනවාට වඩා මට එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්න සිද්ධ වුණා. ඒකත් එක්ක ලොකු කාලයක් ඒකට වැයවුණා. තව චිත්‍රපටයක් දෙකක් ගිය අවුරුද්දේ නිර්මාණය වුණා. නමුත් මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය දහයක් විතර විකාශනය වීමට නියමිතයි.


අමුතු දොස්තර පිටපත ඔබේමද?


නැහැ. සුසිත් විජේමුණිගේ පිටපතක්. නිෂ්පාදනය නිලන්ත කොටිකාවත්තගේ.


නළු නිළියන් ගැනත් කතා කරමු නේද?


කලණි දොඩම්තැන්න, සේමිණී ඉද්දමල්ගොඩ, ඩිලංක දහනායක, සම්පත් පෙරේරා, මැල්කම් මචාඩෝ, ශ්‍යාම් ප්‍රනාන්දු, ආලෝකා ගයාත්‍රි, සමන්ත පරණලියනගේ, සම්පත් ජයවීර ආදී නළු නිළියන් රැසක් මේ වැඩේට සම්බන්ධ වුණා.


සිහිනය සැබෑ වුණා කියලා හිතනවාද?


එහෙම හීන සැබෑවෙලා නැහැ. අනික හීන සැබෑ වෙන්නේම නැහැ. හැබැයි හීන සැබෑ කරගන්න අපි ෆයිට් එකක් දෙනවා. ඇත්තටම මේකත් එහෙම හීන සැබෑ කරගන්න දුන්නු පොඩි ෆයිට් එකක්. සමාජය ඒකට කොච්චර උදව් කරනවාද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කෙසේ වෙතත් අපි අභියෝග පස්සට තියලා යන්න ට්‍රයි කරන්නේ නැහැනේ.


අධ්‍යක්ෂණයට අතගසනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි?


ඒක ඇත්තටම ලේසි පහසු වැඩක් නෙමෙයි. හරි සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් ඉතිං මමත් දිගින් දිගටම අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම පොඩි අත්හදා බැලීමක් කළේ. නළුවෙක් විදිහට වැඩ කරන්න තමයි මගේ මූලික ආශාව. මට නළුවෙක් විදිහට හොඳට අතපය දිගහැරලා වැඩකරන්න ඕනෑ.


ගුරුවරයාගේ භූමිකාවට මොකද වෙලා තියෙන්නේ?


මේ වෙනකොට ඒකත් කරගෙන යනවා. සියලු දේවල් කළමනාකරණය කරගනිමින් කරගෙන යනවා.


කොත්මලේ ඉඳලා ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?


ඇත්තටම කොත්මලේ ඉඳලා ආපු ගමන ගැන සතුටක් තිබෙනවා. නැත්තේ නැහැ. නමුත් අපිට යනකොට විවිධ ගිරිදුර්ග වගේ පොඩි පොඩි කාරණා ටිකක් හම්බවෙනවානේ. අපිට වැඩකරන්න පුළුවන් කාලයට අදාළ පසුබිම මේ රටේ හිටපු පාලකයෝ විසින් හදලා නොදීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒක ඇතුළේ අපිට මුහුණදෙන්න තියෙන ප්‍රශ්න එමටයි.


කොළඹ ඇවිත් කාපු කටුවල ප්‍රතිඵලයක් තියෙනවාද?


ඇත්තටම ඒවා තමයි අත්දැකීම්. ඒ අත්දැකීම් ඒකක ආපස්සට හැරිලා බලද්දී සතුටක් තියෙනවා. අපි මේ ගමන අවබෝධ කරගෙන වෙන තැනකට ගමන් කරන්න උත්සාහ කළා කියලා විශ්වාසයක් තිබෙනවා.


සිනමා නිර්මාණවල අත්දැකීම් ගැනත් කතා කළොත්?


සිනමා නිර්මාණ හත අටක්ම එළියට එන්න තියෙනවා. ඒවා තවම පෙළගැසෙමින් පවතිනවා. ඔය අතරේ ලබන මාසයේ තවත් චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට නියමිතයි. මේ වසරේ චිත්‍රපට දෙකකට ආරධනා ලැබිලා තිබෙනවා. ඒවාට යන්න බලාගෙන ඉන්නවා. සිනමාත්මක සිහිනයක තමයි අපි හැමෝම ගත කරන්නේ.


දිනේෂ් විතාන



Previous Post Next Post