කතාබහ කරලා අපි දෙන්නා වෙන් වුණා- විනූ පෙරේරා




සංගීතේ ටෙලි නිර්මාණයෙන් සිය කුලුඳුල් රංගන අත්දැකීම ලැබූ ඇය මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නිර්මාණයේ ටෙහානි ලෙසින් ද ඔබ හමුවට එන්නීය. ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්කගේ හදවතේ කෙල්ල මියුසික් වීඩියෝවට ලැබුණු මිලියන ගණන් ප්‍රතිචාරවල කොටස්කාරියක් වූ ඇය ශක්ති ටෙලි නිර්මාණයේ රන්මලී ලෙසින් ද ප්‍රේක්ෂක හදවත් වැලඳ ගත්තාය. සියත නාළිකාවේ සංසාරේ ටෙලි නිර්මාණයේ ෂෙනාලි ලෙසින් මේ දිනවල බොහෝ ප්‍රතිචාර ලබන විනූ පෙරේරා සමඟයි අපේ කතාබහ.


ෂෙනාලි කියෙන්නෙ මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. කොහොමද ඔබට අවස්ථාව ලැබෙන්නේ?


මේ දවස්වල විකාශය වන නිර්මාණ අතරින් සියත නාළිකාවේ විකාශය වන සංසාරේ ටෙලි නිර්මාණය බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ සහ නිපුණ මහහර්ෂගේ සම අධ්‍යක්ෂණයක් ලෙසින් නිපදවුණු සංසාරේ ටෙලි නිර්මාණයේ ෂෙනාලිට පුදුම විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ෂෙනාලි කියෙන්නෙ නපුරු මැඩම් කෙනෙක් වුණත් ඇය සේවය කරන තැන තරුණයෙක්ට ආදරේ කරනවා. මේ චරිතයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයො මේකට කොතරම් ඇබ්බැහි වෙලාද කියනව නම් පහුගිය දවස්වල මැච් එක නිසා ටෙලි නාට්‍යය විකාශය වුණේ නැති එකටත් මටයි බණින්නෙ. සතියේ දවස් පහේම තියෙනව කිවුවට කෝ තියේද? චරිතෙ නපුරු නිසා බැණුම් අහනවා මදිවට කතාව නැති දවසට ඇයි අද නැත්තෙ කියලත් බණිනවා. එහෙම ප්‍රතිචාර ලැබෙනව කියන්නෙ මං ඒ චරිතය හොඳටම කළා කියන එකනෙ. එහෙම හිතද්දි ඒ ගැන සතුටුයි.


එම්.ජී. ධනුෂ්ක කියන්නේ රියැලිටි කලාවේ බ්‍රෑන්ඩ් එකක් වුණු චරිතයක්. ඔහුගේ හදවතේ කෙල්ල වෙන්න ලැබුණු අවස්ථාව ගැනත් කියමු?


මට ඒ අවස්ථාව ලැබෙන්නෙ ධනුෂ්ක අයියා ක්ෂේත්‍රයට ඇවිල්ල ගොඩක්ම ජනප්‍රිය වෙලා හිටිය කාලෙ. ඒ වගේ ජනප්‍රිය කෙනෙක්ගෙ මියුසික් වීඩියෝවකට මං වගේ ආධුනික කෙනෙක් තෝරාගත්ත එකම මට ලොකු හයියක්. සතියක් ඇතුළත ඒක මිලියන 5ක් බලල තිබුණා. ඒ ලැබුණු අවස්ථාවත් අද මං ඉන්න තැනට ඍජුවම බලපෑව කිවුවත් හරි. ඒ දවස්වල හැමෝම මාව හැඳින්නුවේ හදවතේ කෙල්ල කියලා. අදටත් මට එහෙම කතා කරන අය ඉන්නවා. හදවතේ කෙල්ල වෙද්දි මං රංගනය පැත්තට යොමු වුණා විතරයි. කවුරුවත් මගේ හැකියාව දැකල තිබුණෙ නෑ. මට එහෙම හැකියාවක් තියේද කියලවත් හොයන්නෙ නැතුව මට ඒ අවස්ථාව දුන්න ධනුෂ්ක අයියව ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. හදවතේ කෙල්ලයි සංගීතේ ටෙලි නාට්‍යයි දෙකම එකම දවසෙයි ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒකත් හරියට දෛවයේ ලියවිලා තිබුණු දෙයක් වගේ. විනූ පෙරේරා කියන චරිතය ප්‍රේක්ෂකයන් එකම අවස්ථාවෙ දෙවිදිහකට දැක ගත්තා.


ඔබ වෘත්තියෙන් හෙදියක් විදිහට කටයුතු කළා. හෙද සේවය අත්හැරලා කලාවට සම්බන්ධ වෙන්න හිතුවෙ ඇයි?


මං අධ්‍යාපනය හැදෑරුවේ කලා අංශයෙන්. ඒ උස්වැටකෙයියාව සෙන් මේරීස් කොලේජ් එකේ. මට අවුරුදු 3 විතර ඉඳන් නර්තන හැකියාව තිබුණා. ලොකු වෙද්දි ගෙදර අය කැමැති වුණේ මං හෙදියක් වෙනවට. ඒත් කලා අංශයෙන් ඉගෙන ගත්ත නිසා මට සිදු වුණේ පෞද්ගලික අංශයේ හෙදියක් විදිහට සේවයට බැඳෙන්න. ඒ කාලයේම තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් 5 දෙනා අතරට එන්න හැකියාව ලැබෙන්නේ. ඒත් එක්කම ෆොටෝ ෂූට්වලට පෙනී හිටියා. ඒවා ෂෙයාර් වෙනවත් එක්කම මට රංගනයට ආරාධනා ලැබුණා. පළමු රංගන අත්දැකීම වුණේ සංගීතේ ටෙලි නිර්මාණයේ මාෂිගේ චරිතය. ඒකට ආරාධනා ලැබුණේ මගේ පොඩි කාලෙ ඉඳන්ම දන්න අයිය කෙනෙක් නිසා. ඔහු ප්‍රභාත් චතුරංග. එයා ඒ වෙද්දි සංගීතේ ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වෙලා හිටියා. ඊට පස්සෙ කැලුම් උඩුවාවලගේ බ්ලැක් ෆූල් නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒත් එක්කම තිළිණ බොරලැස්සගේ ශක්ති නිර්මාණයේ රන්මලී කියන ප්‍රධාන චරිතය ලැබුණා. කලාවෙන් ආරාධනා එද්දි රැකියාවයි කලාවයි දෙකම කරගෙන යන එක ගැටලුවක් වුණා. තාත්තා කිවුව දෙකෙන් ඔයා කැමති එක තෝරගන්න කියලා. එතැනදි මං ඉගෙන ගත්ත දේ කොහොමත් අපතෙ යන්නෙ නැහැනෙ කියල හිතලා හෙද සේවයෙන් අයින් වෙලා වාසනාවට ලැබුණු කලාව බාර ගත්තා. කම්බිලි සහ සූරිය සුළඟ ඔස්සේ මේ වෙද්දි සිනමාවටත් සම්බන්ධ වෙලා තියෙනවා.


ඔහු නැත්නම් සමහර විට ඔබත් කලාව තුළ නොහිටින්න ඉඩ තිබුණා?


හත් වසරක ප්‍රේමයක් මටත් තිබුණා. ගෙදරින් අකැමැති වෙලා තියෙද්දි මට කලාවට සම්බන්ධ වෙන්න ගෙදර අවසරය ලබා දුන්නෙත් ඔහු. ඔහු හරිම හොඳ කෙනෙක් වුණත් විවාහයක් දක්වා යන්න අපේ අදහස් නොගැළපීම නිසා කතාබහ කරලා අපි දෙන්න වෙන්වුණා. අදටත් අපි හොඳ යාළුවෝ. කලාව තුළ මං යම් තැනක ඉන්නව නම් ඔහු තමයි එහි මූලික කොටස්කරුවා. කවදා හරි මටත් ඕන මගේ අම්ම වගේම සැමියටයි දරුවන්ටයි සලකගෙන ඉන්න හොඳ ගෘහණියක් වෙන්න. විවාහ වුණ දවසට මං පළමු තැන දෙන්නේ මගේ පවුල් ජීවිතේට.


නාමලී ගමගේ




Previous Post Next Post