පෙම් චරිත ඕනා කියල අධ්‍යක්‍ෂවරුන්ට කියල නැහැ- චන්න පෙරේරා

 


චන්න පෙරේරා කියන්නෙ වෙනස්ම චරිතයක්. පරම්පරා තුනහතරක් එක්ක වැඩකළත්, අදටත් ඔහු තිරයේ පෙම්වතා. රංගන ශිල්පියෙක්, අධ්‍යක්‍ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිර රචකයෙක් ලෙස ක්‍ෂේත්‍රයේ කටයුතු කරන චන්නගෙ අලුත් වැඩ කිහිපයක්ම ඉදිරියේදී දැකගන්න පුළුවන් කියලයි ඔහු කියන්නෙ.


බඹර වසන්තය චිත්‍රපටයත් එක්ක චන්න ආපහු රිදී තිරයේ පෙම්වතා වෙලා?. කොහොමද ප්‍රතිචාර?


ඉතාම හොඳයි. මොකද ප්‍රේක්ෂකයන්ට තිබුණු අඩුවක් සම්පූර්ණ වුණා කියලා හිතනවා. මොකද ඒක බයිස්කෝප් එකක්. අපි හැත්තෑව අසූව දශකයේ නරඹපු බයිස්කෝප් ඝනයේ චිත්‍රපටයක් තමයි බඹර වසන්තය. මේකේ හාස්‍ය, කුතුහලය, සටන් ජවනිකා, ආදරය කියන සියල්ලම ගැබ්වෙලා තියෙන නිසා ප්‍රේක්ෂකයන්ට අපිරිමිත ආශ්වාදයක් ලබන්න පුළුවන් චිත්‍රපටයක්.


රිදී තිරයේ හැමදාම තරුණියන්ට පෙම්කරන්න අවස්ථාව ලැබෙනව. මොකක්ද රහස?


සිනාසෙමින්. ඇත්තටම කියන්න සතුටුයි. මම පරම්පරා තුන හතරක් එක්කම ආදර ජවනිකා කරලා තියෙනවා. මට වඩා ගොඩක් ලාබාල යුවතියන් එක්ක පෙම් චරිත කරන්න හම්බවෙලා තියෙනවා. ඒක මොකක් හරි සසරෙන් ගෙනාපු පිනක් වෙන්න ඇති. ඉතිං ඒ ගැන සතුටුයි.


‘බඹර වසන්තය’ ට ආරාධනා ලැබුණෙ කොහොමද?


මොහොන් නියාස් සහ ජගත් ගලප්පත්ති දෙපළගෙන් තමයි මට ආරාධනාව ලැබුණේ. මොහාන් නියාස් කියන අධ්‍යක්ෂවරයා සමග මම මීට කලිනුත් වැඩකරලා තියෙනවා. අනික ලස්සන පරිසරයක තමයි රූගත කිරීම් සිදුකළෙත්. අපි හරි සතුටෙන් ගත කරපු කාලයක්.


මොනවාද චන්නගේ අලුත් වැඩ?


මම අධ්‍යක්ෂණ කළ ‘සිහින අනන්තය’ චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. ඒක මේ අවුරුද්දේ අග භාගයේ දී විතර තිරගත වේවි. තව මම අධ්‍යක්ෂණය කළ ‘එකයි දෙකයි තුනයි’ කියන ළමා චිත්‍රපටයක් තියෙනවා. ඒකත් මේ වසරේ අග භාගයේදී තිරගත වේවි කියලා විශ්වාසයක් තියෙනවා. ලයිකා චිත්‍රපට සමාගමෙන් ඔවුන්ගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මට ආරාධනාවක් ලැබිලා තියෙනවා. එහි මූලික වැඩකටයුතු තමයි මේ දිනවල සිදුකරගෙන යන්නේ.


මෑත කාලයේ සිනමාවේ ලොකු පිබිදීමක් තිබෙනවා කියලා හැමෝම කියනවා. ඒ කතාව ඇත්තක්ද?


ඔව්, පිබිදීමක් තියෙනවා. අලුත් අධ්‍යක්ෂවරුන්ගේ ආගමනයක් සිද්ධවෙනවා. හොඳ නිර්මාණ සිදුකෙරෙනවා. නමුත් ප්‍රදර්ශනය පිළිබඳව ගැටලු තවම විසඳිලා නැහැ. එතැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. මොකද අපිට තිබෙන චිත්‍රපට ශාලා සංඛ්‍යාව ඉතාම සීමිතයි. ඒ සීමිත සිනමාශාලාවල සමහර චිත්‍රපටවලට එක දර්ශන වාරයක් පමණයි ලැබෙන්නේ. ඒ තත්ත්වය යටතේ චිත්‍රපටයකට යොදවල මුදල නැවත හම්බකරගන්න පුළුවන් කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ.


චිත්‍රපට හැදුවට වැඩක් නැහැ, පෙන්නගන්න විදිහක් නැහැ, කියන කතාව ඔබට බලපාල තියෙනවාද?


මගේ චිත්‍රපටවලට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. දැනට මගේ චිත්‍රපට හතරක් විතර තිරගත වෙලා තියෙනවා. හැබැයි බලනොපෑවා කියලා කියන්නත් බැහැ. මොකද දර්ශන වාර ගණනේ සහ වේලාවන් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් මෑත කාලයේ තිරගත කළ චිත්‍රපටවලට ආවා. එතකොට අපේ නරඹන්නන් අතරමං වෙනවා. සමහර මණ්ඩලවලට හිතුන හිතුන විදිහට තමයි චිත්‍රපට තිරගත වෙන වේලාවන් තීරණය කරන්නේ. ඉතිං මේක සමහරුන්ට අඩුවැඩි වශයෙන් බලපානවා. ගිය වසරේ තිරගත වුණු මගේ


‘යුගාත්‍රා’ චිත්‍රපටයටත් මේ තත්ත්වය බලපෑවා. මම හිතනවා අපි හැමෝම එකතුවෙලා මේකට සාධාරණය විසඳුමක් සොයාගන්න ඕනෑ. මොකද මගේ චිත්‍රපටය විතරක් දුවලා හරියන්නේ නැහැනේ. අපි හැමෝටම ඒ අවස්ථාව විධිමත් විදිහට සලසලා දෙන්න ඕනෑ. බෙදාහැරීමේදී සහ ප්‍රදර්ශනයේදී නියාමනයක් ඕනෑ.


සිනමාහල් අඩුවීම මොන විදිහටද දකින්නේ?


අපිට තියෙන්නේ හරි සීමිත සිනමාහල් සංඛ්‍යාවක්. ඒවායෙනුත් ඇතැම් ඒවා වැසී යනවා. මම හිතනවා මේ තත්ත්වය උඩ ගොඩාක් නිෂ්පාදකවරු පසුබැහැලා තියෙනවා චිත්‍රපටවලට ආයෝජනය කරන්න. අපි හැමෝම එකාවගේ ඉන්නවා නම් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැරිකමක් නැහැ. සිනමාවේ නියුතුවූවන් එකතුවෙලා තමයි මේකට විසඳුම් සොයන්න ඕනෑ.


ඔබ වැඩිපුරම කැමැති රඟපාන්නද?. අධ්‍යක්ෂණයටද ?


දෙකටම කැමැතියි. නළුවෙක්, රංගන ශිල්පියෙක් කියන කාරණාවට හැමෝටම ළඟාවෙන්න අමාරුයිනේ. ඒකට මම හැමදාම ගරු කරනවා, ආදරය කරනවා. වැඩි කැමැත්ත අධ්‍යක්ෂණයට තිබුණත් මම රඟපෑමෙන් ඉවත්වෙන්නේ නැහැ.


තිරයේ රඟපාන්න කැමැති පෙම්වතාගේ චරිතය විතරමද?


අනේ නැහැ. එහෙම එකක් නැහැ. මට වැඩිපුර ලැබිලා තියෙන්නේ පෙම්වතාගේ චරිතය. ඒක අධ්‍යක්ෂවරුන්ගේ තීරණයනේ. මම කවදාකවත් අධ්‍යක්ෂවරුන්ට කියලා නැහැ මට පෙම් චරිත කරන්න ඕනෑ කියලා. උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ සෙනසුරු මාරුව චිත්‍රපටයේ වගේ වෙනස් චරිත කරන්න ආසයි.


එතකොට ටෙලිනාට්‍ය රඟපාන්නේ නැතිද?


ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන ඉදිරි කාලයේදී සලකලා බලනවා. මොකද පසුගිය කාලයේම ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත්වෙලා හිටියා. මොකද මෙගා නාට්‍යවලට විශේෂ කැමැත්තක් නැති නිසා. ඒත් ටෙලිනාට්‍යයක මට තෘප්තිමත් වෙන්න පුළුවන් චරිතයක් ලැබුණොත් රඟපානවා.


පසුගිය කාලයේ ඔබ අධ්‍යක්ෂණය කළ යුගාත්‍රා චිත්‍රපටයට මොකද වුණේ?


ඒක ප්‍රේක්ෂකයෝ අතරට ගියා. ඔවුන් ඒක ඉතාම ආදරයෙන් වැළඳගත්තා. දර්ශන වාර ප්‍රශ්නය ඒ චිත්‍රපටයට බලපෑවා. මම බලාපොරොත්තු වුණ විදිහටම ප්‍රතිඵල නොලැබුණත් ඒ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.


වර්තමානයේ බිහිවන මිනි සිනමාහල් ගැන අදහස මොන වගේද?


ඉතාම හොඳයි. ඒක තමයි විය යුත්තේ. අඩු ආසන සංඛ්‍යාවක් තියෙන චිත්‍රපට ශාලා ඉදිවිය යුතුයි. ඒ වගේම සුපිරි වෙළෙඳසලක් ඇතුළේ මිනි තියටර් නිර්මාණය වීම ඉතාම හොඳයි. දැන් බලන්න පී වී ආර්, ස්කෝප්, මැජෙස්ටික්, කැන්ඩි සිටි සෙන්ටර් කියන සිනමා සංකීර්ණ. ඒවායේ සිනමා ලෝලීන් පිරී ඉතිරී පවතිනවා. ප්‍රේක්ෂකයන්ට කැමැති චිත්‍රපටයක් එතැනින් නරඹන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඉතාම හොඳ වැඩක්.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post