අප්පච්චිට ඉක්මනින්ම සුව වෙයි ප්‍රියා සූරියසේන ගැන දියණිය කරපු විශේෂ හෙළිදරව්ව




අෑත රන් විමන් තුළින්, සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා ලියූ ආදරණීය හඬ ඔබට මතක ඇති. ළයාන්විත හඩින් රසික හදවත් ස්පර්ශ කළ ඒ හඬ පෞරුෂය ආදරණීය ප්‍රියා හෙවත් ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේනයන් පිළිබඳව කතාබහක් පසුගිය සුමති සම්මාන උළෙලෙන් පසුව ඇතිවුණා. ඒ පිළිබඳව කතාබහ කිරීමට එක් වන්නේ ගායන ශිල්පිනියක වන ප්‍රියා සූරියසේනගේ ආදරණීය දියණිය ඉරෝෂි සූරියසේන. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස් හරිම කාර්යබහුලයි. සුමති සම්මාන උළෙලෙන් පසුව බොහෝදෙනා අප්පච්චිගෙ සුව දුක් විමසලා කතාබහ කරනවා. අප්පච්චිගෙ අසනීප තත්ත්වය ගැන කවුරුත් දැන ගෙන සිටියෙ නැහැ. ඒ නිසා මට ගොඩක් දෙනා කතා කරනවා. ඒ වගේම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙමින් මගේ සංගීතමය කටයුතුත් සිදු කරමින් කාලය ගෙවී යනවා.


සුමති සම්මාන උළෙලේදී ප්‍රියා සූරියසේනයන්ට ලැබුණු උපහාරය පිළිබඳව ඔබේ අදහස?


මම ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. තිලංග සුමතිපාල මහත්මයා මට කතා කළාම මම අප්පච්චිගෙ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිව්වා. නමුත් ඔහු කිව්වා මට ප්‍රියාට මේ සම්මානය දෙන්නම ඕනෑ කියලා. මම අපේ පවුලෙ අයගෙනුත් අවසර අරගෙන තමයි මේ වැඩේට අප්පච්චිව අරගෙන ආවේ. අම්මට මම මේ දෙය කිව්වම අම්මා කිව්වා අප්පච්චිට ලැබෙන්න තිබෙන දෙය වළක්වන්න හොඳ නැහැ අපි යමු කියලා. සංවිධායක මණ්ඩලය මේ දේ කරන්න විශාල කැපකිරීමක් කළා. ඔවුන් අප්පච්චිව එහාට මෙහාට ගෙනියන්න දෙන්නෙක්ව තිබ්බා වගේම හදිස්සියක් වුණොත් කියලා වෙනම කාමරයක් පවා වෙන් කරලා තිබුණා. ඊට පස්සෙ අපේ අවසරය ඇතිව අප්පච්ගෙ ගීත එකතු කරලා ගායනයක් කරන්න භාතිය සන්තුෂ්ලට භාර දීලා තිබුණා. තිලංග සුමතිපාල මහත්තයා අපේ අප්පච්චිගෙ ගීතවලට හරිම ආසයි. එදා ඒ ගීත ගායනාව ඉතා විශිෂ්ට විධියට තිබුණා. වැදගත්ම දෙය තමයි මේ ගායනාවට සහභාගි වුණු කිසිදු ගායකයෙක් මුදල් අය නොකරපු එක. මේ සෑම දෙයකටම මම සුමති සම්මාන උළෙලේ සංවිධායකයන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මේ සඳහා විශාල කැපකිරීමක් කළා.


ඔබේ ආදරණීය පියා ප්‍රියා සූරියසේනයන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය කෙසේද?


අප්පච්චි කොරෝනා එන්නතින් පසුව තමයි අසනීප වුණේ. ඉන්පසුව ඔහු සුවය ලැබුවත් විස බීජයක් ශරීරගත වුණා. ඒ අවුරුද්දකට විතර කලින්. එදා සුමති සම්මාන උළෙලට ඔහු රෝද පුටුවෙන් ආවට ගෙදරදී රෝද පුටුව භාවිත කරන්නෙ නැහැ. එදා ඔහු රෝද පුටුවෙන් ආවේ අමාරු වෙයි කියලා සිතුණු නිසා. අප්පච්චිට එයාගේ සාමාන්‍ය වැඩ කටයුතු කර ගන්න පුළුවන්. නමුත් මම ඉංග්‍රීසි බෙහෙත්, සිංහල බෙහෙත් දෙකම කරනවා. අප්පච්චිට ඉක්මනින් සුව වෙයි කියලා මම හිතනවා.


ඔබේ සංගීතමය දිවිය ගැන කතා කරනවා නම්?


මම කුඩා කාලයේ පටන්ම ඉගෙන ගත්තෙ බටහිර සංගීතය. මම පියානෝව සහ ගිටාරය වාදනය කළා. දැන් නම් ගොඩ කාලයකින් මම පියානෝවයි ගිටාරයයි ඇල්ලුවෙවත් නැහැ. මම ගීත ගායනා කරන්න හරිම ආසයි. නමුත් අප්පච්චි කිව්වා ඉගෙන ගෙන ඉවර වෙලා සංගීතය කරන්න කියලා. මම වාණිජ අංශයෙන් තමයි ඉගෙන ගත්තේ. මම පොඩි කාලේ ගීත දෙකක් ගායනා කරලා තිබෙනවා. ඊට පස්සෙ 2020දී දැනෙනා හමනා ගීයත් 2021දී දකින රූ සේයා කියලා ගීයකුත් නිකුත් කළා.


අෑත රන් විමන් ගීතය ඔබ නව මුහුණුවරකින් ගායනා කළා. ඒ පිළිබඳව කතා කරමු?


මම ඒ ගීතය විඳිමින් ඉන්න විධිය තමයි රූප රචනාව තුළ තිබෙන්නේ. මම ඒ ගීතය විඳිමින්ම තමයි ගායනා කළේ. මම ඒ ගීය තුළ ඉන්නේ 70 දශකයේ විධියට. මම ඒ ගීතයට කිසිදු හානියක් නොකර ගීතය වෙනස් නොකරමින් තමයි ගායනා කළේ. මම මගේ අප්පච්චිගෙ දුව විධියට ඒ ගීතය විනාශ කරන්න බැහැ. මම ඒ ගීතය ආරක්ෂා කරමින් නව්‍යත්වයට පත් කළා කියා සිතනවා.


ප්‍රියා සූරියසේන නම් මහා නාමකායේ හෙවණැල්ල මත හැදුණු වැඩුණු මතකයන් අවදි කරමු?


අප්පච්චි හරිම උත්සාහවන්ත කෙනෙක්. ඔහු නිතරම නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කරනවා. අප්පච්චි කියන්නේ පවුලට හරිම ආදරය කරන කෙනෙක්. එයා ඕනෑ තැනක ගියාම මිනිස්සු වටකර ගන්නවා. අපි පාඩම් කරනවා කිව්වම එයා එයාගේ පුහුණුවීම් නවත්තලා යනවා. ඔහු අපි වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. අප්පච්චිට ඕනෑ කළේ අපිට උගන්වන්න. අප්පච්චි අපේ ගෙදර පාටියක්වත් තිබ්බෙ නැහැ. එයා අපේ ගෙදරට වැඩිය යාළුවො එහෙම ගෙන්නුවෙත් නැහැ. ඒ අපේ ගෙදර ගැහැනු ළමයි තුන් දෙනා නිසා. එයා අපි එක්ක ෆුට්බෝල්, වොලිබෝල් සෙල්ලම් කරන්න එනවා. ඒක හරිම සුන්දර කාලයක්. අපේ අප්පච්චි එක්ක ඕනෑ දෙයක් කතා කරන්න පුළුවන්. එයා ඒ තරමට අපිත් එක්ක සමීපයි. අපේ අප්පච්චි උයන්න හරිම ආසයි. ඉව්වට පස්සෙ අපි එයාගෙ අතින්ම කන්නත් ඕනෑ. කෑවෙ නැත්නම් එයාගෙ හිතට හොඳ නැහැ. අපි පොඩි කාලේ ඉඳන්ම හරිම සමඟියෙන් ආදරයෙන් ජීවත් වුණා. අපේ අප්පච්චි හරිම ආදර්ශවත් චරිතයක්.


ඉදිරි වැඩ කටයුතු ගැන කියනවා නම්?


මම හිතාගෙන ඉන්නවා අප්පච්චිගෙ ගීත ගායනා කරලා ගීත ඇල්බමයක් කරන්න. ඒ වගේම මගේ අලුත් ගීත කිහිපයකුත් ඉක්මනින්ම නිකුත් වෙනවා. ආදරණීය රසිකයන්ට එය ඉක්මනින්ම විඳගන්න ලැබේවි.


ගිහාන් සචින්ත



Previous Post Next Post