අන් සතු ඔබ මගේ කලා ගමනේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණා – නිපුනි පූජිත ගුණවර්ධන




‘අන්සතු ඔබ’ ගීතයේ මියුසික් වීඩියෝව මගින් රටක් හඳුනාගන්නා ඇය” නාඩගම්කාරයෝ හි සංවර්ධන මිස් ලෙසින් ඔබේ ආලින්දයට ගොඩ වුණා’ දැන් ‘සර්කස්කාරයෝ’ එක්ක ලස්සන වැඩක් කරන බව ඔබ දන්නව ඇති. වැඩි කතාබහක් නැතිව අපි ඇයගේ කතාව අහමු. මේ නිපුනි පූජිත ගුණවර්ධන.

සර්කස්කාරයෝ හි චරිතයට ප්‍රේක්‍ෂකයන් මොකද කියන්නෙ?


විශේෂයෙන්ම කියන්න ඕනා” සද්ධාමංගල මහත්මයාගේ සහ ශිවගුරුනාන් මහත්මයාගේ වෙනත් නිර්මාණයකටත් මම සම්බන්ධ වෙලා හිටියා. ඒක මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. මේ නිසා ඔවුන් සමග වැඩකරන එක මට හරිම පහසුයි. ප්‍රේක්‍ෂකයන්ගෙ ප්‍රතිචර ගැන කතාකළොත් ඇත්තටම කියන්න සතුටුයි” ඉතා හොඳ ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතිනව.


නාඩගම්කාරයෝ ටෙලියේ සංවර්ධන මිස් ජීවිතේ අලුත් පිටුවක් පෙරලුවද?


අනිවාර්යයෙන්ම ඔව්” ඒ චරිතය තුළින් තමයි බොහෝ දෙනා මාව හඳුනාගන්නෙ. අදටත් ඒ චරිතයට ප්‍රේක්‍ෂකයන් ආදරය කරනව.


නාඩගම්කාරයෝ කියන්නෙ එක කාලෙක ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය. එවැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.


සංවර්ධන මිස් කෙනෙක් නොවුණා නම් නිපුනි මොනව කරයිද?


සංවර්ධන මිස්ගෙ චරිතය නොලැබුණා නම් වෙනත් චරිතයකින් හරි මම ක්‍ෂේත්‍රයේ වැඩ කරයි. කලාවෙන් ඈත් වෙලා වෙනම දෙයක් කරයි කියන එක හිතන්න බැහැ.


සර්කස්කාරයෝ දර්ශන තලයේ අත්දැකීම් මොන වගේද?


එතනත් හරිම සතුටින්” නිදහසේ වැඩ ටික කරගෙන යනව. දසුනි සහ ශිරෝෂි අක්ක කියන්නෙ මගේ සහෝදරියන්. සැබෑ ජීවිතයෙත් මම තනියම තැනකට ගියාම


කාංචනාගෙන් අහලද ආවේ” නැත්නම් ගෙදර ගියාම කන්න වෙයි කියල විහිළු තහළු පවා කරනව. සෙට් එක ඇතුළෙත් ඇත්තටම අපි තුන්දෙනා සහෝදර බැඳීමකින් වැඩකරන්නෙ.


වෙන මොනවද වෙන්නෙ මේ දවස්වල?


මේ දවස්වල මං වඩාත් ආදරය කරන වේදිකාවේ” දේදුණු කළුපහණගෙ ‘බයිල ගහන දවසක්. කෙටි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නව.


ඇයි වේදිකාවට මේ තරම් ආදරේ?


මම මේ ගමන ආරම්භ කරන්නෙ වේදිකා නාට්‍යයෙන්. එතන වැඩ කරනකොට මට දැනෙනව මම ජීවත් වෙනව කියල. ඒ නිසා වේදිකාවට ගොඩක් ආදරෙයි.


වේදිකාවේ ජීවිතය මොන වගේද?


මම වේදිකාවට ගොඩවෙලා අද වන විට අවුරුදු හයක් විතර වෙනව. ‘ප්‍රේමයේ නගරය’ නාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුදු හතරක් වැඩ කළා. 2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය බවට පත්වෙන්නෙ මේ නාට්‍යය. ‘බයිල ගහන දවසක්’ නාට්‍යයත් 2023 යෞවන සම්මාන උළෙලෙදි සම්මාන කිහිපයක්ම ලබාගත්තා. එහිදී හොඳම සහය නිළියට හිමි සම්මානය මට ලැබෙනව. පටන්ගත්ත දා ඉඳන් අද වන තුරුත් මම වේදිකාව අතහැරියෙ නැහැ. ඒ නිසා කොච්චර වැඩ තිබුණත් වේදිකාවේ වැඩ කරන්න මම ඉඩක් හදාගන්නව. ඒකෙන් ලබන පන්නරය මගේ කලා ජීවිතයට ලොකු රුකුලක්.


සිනමාව ගැන අදහස මොන වගේද?


සිනමාව කියන්නෙ මම බොහොම ආසා කරන තැනක්. ඕනෑම රංගන ශිල්පියකුගේ හීනය වෙන්නෙ සිනමාව. මමත් බලාගෙන ඉන්නව ගැළපෙන නිර්මාණයකට ආරාධනයක් ලැබෙනතුරු.


නිපුනි වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද?


රංගනය වෘත්තිය කරගන්න මම හරි කැමතියි. නමත් දැන් ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක රංගනය වෘත්තිය කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනව. මම තවමත් අධ්‍යයනය කරන ගමන් ඉන්නෙ. ලැබෙන වැඩ අනුව රංගනය වෘත්තිය වශයෙන් කරන්න පුළුවන්ද කියල ඉදිරියේදී සලකා බලනව.


ගෙදරින් ලැබෙන සහය?


මම පොඩි කාලෙ ඉඳන් කළේ ඩාන්සිං. මගේ අම්මා තමයි ඒ හැමදේටම ලොකු සහයෝගයක් දුන්නෙ. එයා හරි කැමති වුණා මම රඟපානව දකින්න. මට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්නව. ඔවුන් අද වෙනම ක්‍ෂේත්‍රවල හිටියත් මගේ හැම වැඩකදිම ලොකු සහයෝගයක් ලබාදෙනව.


රංගනයට අමතරව මොන වගේ හීනයක්ද නිපුනිට තිබුණෙ?


ඇත්තටම මම රංගනයට යොමු නොවුණා නම් ගුරුවරියක් වෙයි. ඒක පොඩිකාලෙ ඉඳන් තිබුණ ආසාව. ටික කාලයක් පෞද්ගලික පාසලක ගුරුවරියක් හැටියට වැඩ කළා. නමුත් රංගනයට එකතු වීමත් එක්ක පාසලේ කටයුතුවලට කාලවේලාව වෙන්කරගන්න අපහසු වුණා.


නිපුනිගේ බලාපොරොත්තුව ජනප්‍රියත්වයද?


එහෙම දෙයක් නැහැ. නමුත් මම කරපු චරිතයක් ගැන දැනගෙන” ඒකට කැමැත්තෙන් කතාකරනකොට” ඒ චරිතය හොඳින් රඟපෑවා කියනකොට ලොකු සතුටක් දැනෙනව. මම තවමත් බොහොම අඩු නිර්මාණ ප්‍රමාණයකට සහභාගි වෙලා තියෙන්නෙ. ඒ තුළ මේ ලබල තියෙන ජනප්‍රියත්වය ගැන නිහතමානීව සතුටු වෙනවා.


ඕනෑම චරිතයක් භාරගන්නවද?


මගේ හැකියාවන්ට අනුව මට කරන්න පුළුවන් කියල හිතෙන චරිතයක් විතරයි මම භාරගන්නෙ. මොකද චරිතයක් රඟපානව කියන්නෙ අපි එළියෙ ඉඳන් දකිනව වගේ නෙමෙයි. ඒක අමාරුයි. අධ්‍යයනය කියන දේ තියෙන්නම ඕන.


මේ තාක් ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?


ඇත්තටම ඔව්. ගොඩක් සතුටුයි. නිපුනිව බොහෝ දෙනෙක් හඳුනාගන්නෙ ‘අන් සතු ඔබ’ මියුසික් වීඩියෝව නිසා. එතන තමයි මගේ කලා ගමනේ හැරවුම් ලක්‍ෂ්‍යය. 2015 වසරේ ආරම්භ කළ මේ ගමන අද දක්වා ආවෙ බොහොම හෙමින්.


දැන් ඒවාට සම්බන්ධ වෙන්නෙ නැද්ද?


මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණොත් භාරගන්නව. ඒවාත් ටෙලි නාට්‍ය වගේම තමයි. මට ගැලපෙන” කරන්න පුළුවන් ඒවා විතරයි භාරගන්නෙ. රංගන ශිල්පීන් හැටියට අපිට නිර්මාණ ලඝු කරන්න බැහැ. නමුත් එහෙමයි කියල සීමාවකින් තොරව භාරගන්නත් බැහැ.


කැපිලි කෙටිලිවලටත් මුහුණ දෙන්න ඇති?


ඔව්” හැම ක්‍ෂේත්‍රයකම වගේම මේ ක්‍ෂේත්‍රයෙත් කැපිලි කෙටිලි තියෙනව. මමත් ඒවාට මුහුණ දීල තියෙනව. නමුත් ඒක එතනින් අමතක කරනව. මොකද මම හිතනව එහෙම දේවල් තියෙන්න ඕන කියල. ඒවායින් තමයි අපිට ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්නෙ.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post