අපේ සම්බන්ධයට දැන් අවුරුදු හතරකටත් වැඩියි-රිද්මා රසාංජලී

 


ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම තිබූ ටෙලි නිර්මාණ අතරින් සද්ධා – සිවා සුසංයෝගයේ සුවිශේෂී නිර්මාණයක් වුණු පාර දිගේ ටෙලි නිර්මාණයෙන් රංගනයට පිවිසි ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන ප්‍රදීප් ධර්මදාසගේ දිව්‍යාදරී ටෙලි නිර්මාණයේ චාන්‍යා ලෙසින් ද අපට හමුවෙයි. පාර දිගේ, පාර වසා ඇත, පියාඹන මූනිස්සම්, ගගන පියවර, දිව්‍යාදරී වැනි ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගත් ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසකින් ඔබ හමුවට ආ ඇය රිද්මා රසාංජලීය. ඇය අප හා අත්දැකීම් බෙදාගත්තේ මෙලෙසිනි.


කුඩා කල පටන්ම රංගන ශිල්පිනියක වීමේ ආසාවෙන් සිටි ඇයට එය සිහිනයක්ම නොවී සැබෑවක් කර ගැනීමට ලැබුණු අවස්ථාව ගැන රිද්මා අප හා පැවසුවාය.


“මගේ ගම නාවල කොස්වත්ත. අම්මා, තාත්තා හැරුණම මට හිටියෙ අයියා විතරයි. මේ වෙද්දි මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා තමයි මගේ හෙවණැල්ල වගේ ඉන්නේ. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තෙ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ. ඊට පස්සෙ උසස් පෙළ හදාරන්න කොළඹ ආනන්ද බාලිකාවට ඇතුළත් වුණා. උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරුවත් කලාව පැත්තට මගේ හිතේ තිබුණේ පුදුම ආසාවක්. අහම්බෙන් වගේ ඒ ආසාව ඉටු කරගන්න මට උදවු කළේ මගේ යාළුවෙක්ගෙ අයිය කෙනෙක්. ඒ විදිහට තමයි සද්ධා මංගල සූරියබණ්ඩාර තිර රචනය කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ අතිශයින් ජනප්‍රිය වුණු පාර දිගේ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. පාර දිගේ විකාශය වෙද්දි ඒකෙ හිටිය හැම රංගන ශිල්පියකුටම වගේ පුදුමාකාර විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මිනිස්සු මාව හඳුනගත්තෙත් පාර දිගේ ටෙලි නිර්මාණයෙන්. ඊට පස්සෙ ඔවුන්ගේම ‘පාර වසා ඇත’ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට පියවරෙන් පියවර තමයි මං මේ දක්වා ආවේ. මට මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ වෙද්දි මං නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඒ අතරින් පියාඹන මූනිස්සම්, ගඟන පියවර, රාජිනී, දිව්‍යාදරී ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය නිර්මාණ බවට පත්වුණා. රාජිනී මේ වෙද්දි විකාශය අවසන් වෙලා. මේ දවස්වල විකාශය වෙන දිව්‍යාදරී ටෙලි නිර්මාණයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.“


කලාවට පිවිසෙද්දී ක්ෂේත්‍රය ගැන ලොකු අවබෝධයක් නොතිබුණත් මේ වන විට ලද අත්දැකීම් ඉදිරි කලා කටයුතුවලට ලොකු අත්වැලක් වනු ඇතැයි ද රිද්මා පැවසුවාය.


“පාර දිගේ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙද්දි මට කලාව ගැන ලොකු අවබෝධයක්වත් අත්දැකීමක්වත් තිබුණෙ නැහැ. ලොකු චරිතයක් නොවුණත් මුලින්ම මට හමුවුණේ රංගන පාසලක් වගේ අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක්. ඔවුන් මට ගොඩක් දේවල් කියල දීලා ලොකු සහායක් දුන්නා. ඒකෙන් පස්සේ ඔවුන්ගේ ‘පාර වසා ඇත’ ටෙලි නිර්මාණයටත් මාව දායක කරගත්තා. ඔවුන් හරහා ලද අත්දැකීම් ඉන්පසුව සම්බන්ධ වුණු හැම නිර්මාණයකටම අත්වැලක් වුණා. ටෙලි නිර්මාණවලට අමතරව වෙළෙඳ දැන්වීම් රැසකටත් මං දායක වෙලා තියෙනවා. ඒ අතර ෆීනික්ස්, සොෆ්ට් ලොජික්, බැංකු සඳහා දායක වුණු ඒවා විශේෂයි. තාම ප්‍රචාරය නොවුණු වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් තියෙනවා ඉදිරියේදි එන්න.“


මියුසික් වීඩියෝ කිහිපයකටම රංගන දායකත්වය සැපයූ බව පැවසූ රිද්මා ඉන් එකක් ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එක් කළ බව ද පැවැසුවාය.


“‘ගොඩ යමු’ කියලා තීම් සෝන් එකක් කළා. එදා ඒක උදේ හතේ ඉඳන් රෑ නවය වගේ වෙනකල්ම රූගත කළා. ඒකෙ හොඳම කොටස කියන්නෙ ඒ මුළු දවසම අපිට ගිනි නිවන හෝස්වලින් අල්ලන වතුරින් නාන්න වුණා. දවස තිස්සෙම නෑවා. කොහොමහරි ඒක මං ආසාවෙන්ම කළ නිර්මාණයක් වගේම අමතක නොවන අත්දැකීමක් එකතු කළ නිර්මාණයක් බවටත් පත්වුණා.”


මිණි දඬු මංකඩ නමින් අලුත්ම ටෙලි නිර්මාණයක උප ප්‍රධාන චරිතයකින් ඉදිරියේ දී ප්‍රේක්ෂකයා හමුවට එන බව පැවසූ ඇය දිව්‍යාදරීහි චාන්‍යා මෙන්ම රාජිනීහි සඳුනි ද සාමාන්‍ය ස්වභාවයෙන් ඔබ්බට යමින් අනෙක් චරිතයන් හා නිරතුරුවම ගැටෙන චරිත බව ද සඳහන් කළාය.


තවමත් විසි තුන් වැනි වියේ පසුවන රිද්මා තම කලා කටයුතු සඳහා නිරතුරුවම සහාය වන ආදරණීය පෙම්වතා ගැන මතක් කරන්නත් අමතක නොකළාය.


“මට පෙම්වතෙක් ඉන්නවා. අපේ සම්බන්ධය පටන් අරන් දැන් අවුරුදු හතරකටත් වැඩියි. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නොවුණත් මගේ කලා කටයුතුවලට ගොඩක් උදවු කරනවා. එයා මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට මගේ අම්ම මගේ හෙවණැල්ල වගේ මගේ පස්සෙම ඉන්නවා. අම්මට එන්න බැරි වෙන හැම වෙලාවකම එයා මාත් එක්ක ඉන්නවා. මං හරි වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලබන්න.“


නාමලී ගමගේ




Previous Post Next Post