අපි දැන හඳුනාගෙන ටික කාලයක් වුණත් ලස්සන ආදරයක අයිතිකාරයෝ වුණා



කලා කෙතේ හොඳ නමක් රැකගත් නිමේෂා ප්‍රේමචන්ද්‍ර රංගන ශිල්පිනියක්. නිවේදිකාවක් වගේම දරුවන් රැසකගේ දෑස් පාදන ගුරුවරියක්. පසුගිය දවසක මේ සුන්දර කලා ශිල්පිනියගේ ජීවිතේ සුන්දර වෙනසක් සිදු වුණා. ඒ මනාලියක් වෙලා තමන්ගේ හීන කුමාරයා එක්ක දිග ගිය ඇයට සුබ පැතුම් එකතු කරමින් මේ කතා බහ ඇයටත් ඇගේ ජීවන සහකරුවාටත් වෙන් වුණේ අලුත් ජීවිතය පිළිබඳ කතා කරන්නට බොහෝ දෑ තිබූ නිසයි.


ජීවිතේ අලුත් වෙනසක් වුණානේ. සතුටින් ඇත්තේ?


ඔව්. මම විවාහ වුණා. ඇත්තටම මේ දවස් ජීවිතේ ලස්සනම දවස් විදියට තමයි මට දැනෙන්නෙ. මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. වගකීම් නම් ටිකක් වැඩි වුණා. ඒත් මම ඒ වෙනස එක්ක සැහැල්ලුවෙන් ඉන්නවා.


කවුද මේ ඔබේ හිත අරන් අත ගත්ත වාසනාවන්තයා ?


එයා වාසනාවන්ත නම් එයාට වඩා ගොඩක් මම වාසනාවන්තයි. එයා වගේ කෙනෙක් ලැබීම වාසනාවක්. එයාගේ නම මලිත් විතාන. ඔහු කරන්නේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ විධායක ශ්‍රේණියේ රැකියාවක්.


ඔබ හීන දැක්ක කෙනාද මේ මුණගැහිලා ඉන්නේ ?


හ්ම්ම් එයාම තමයි. මගේ හිතේ තිබුණා මම විවාහ වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් තමයි වෙන්න ඕනි කියලා.නැත්තම් තනියම ඉන්නවා කියලා හිතන් හිටියේ. එයා හරි පිළිවෙළයි. ආදරණීයයි. ඒ වගේම හැම වෙලාවෙම මාව සතුටින් තියනවා. ඉතින් මේ මගේ හිතේ හිටපු සිහින කුමාරයාම තමයි හීනයක් වගේ ආවේ .


තනියම ඉන්න හිතන් හිටපු නිමේෂාගේ අදහස වෙනස් කරන්න තරම් මලිත් විශේෂ වුණේ ඔය කාරණා නිසාමද?


එයාව දැකපු ගමන් මම දෙපාරක් එයා දිහා බැලුවා. ඒ එයාගෙ කඩවසම්කමටම නෙමෙයි. හරි නිවුණු පෙනුමක් එයාට තිබුණේ… පස්සෙ තේරුණා ඒ පෙනුම එයාට ආවේ එයාගෙ ඇතුළතිනුත් නිවුණු ගතිගුණ තියෙන නිසා කියලා. එයාට කේන්ති යනවා හරිම අඩුයි. එයා මට වඩා අවුරුදු 3ක් වැඩිමල්. ඒත් එයා මට යාළුවෙක් වගේ. වෙලාවකට මගෙම අයියා වගේ. තවත් වෙලාවකට මගෙ තාත්‍තා වගේ. එයාට මම කියන්නෙ රෝස මල කියලා. එයාගෙ අත්, සම හරි මෘදුයි. ඒ වගේමයි හදවතත්. හරිම මෘදුයි. මගෙන් වෙන චූටි අඩුපාඩුවකටවත් එයා මට බණින්නෙ නෑ.


මලිත්ව මුණගැහුණේ ආදර සම්බන්ධයකින්ද? විවාහ යෝජනාවකින්ද ?


විවාහ යෝජනාවකින් අපි හමුවෙන්නේ. පස්සෙ ඒක ආදර සම්බන්ධයක් බවට පත් වෙනවා.


ඔහුගේ මුණගැසීම සිද්ධ වුණේ කොහොමද කියලා මතක් කරමු?


එයාර්පෝර්ට් ගාර්ඩ්න් හොටෙල් එකේ ෆුඩ් ෆෙස්‍ටිවල් එකක් තිබුණා. ඒකට මම ගියේ රූපවාහිනී වැඩසටහනක පටිගත කිරීම්වලට. ඒ වෙලාවෙ මලිත්ගෙ යෙහෙළියක් මගෙ නිෂ්පාදකතුමාට කියලා තිබුණා මලිත්ව මට යෝජනා කරන්න කියලා. පස්සෙ අපි කතා බහ කරලා හඳුනාගත්තා. හිතපු නැති වෙලාවක හිතපු නැති විදියට අම්මලා තාත්‍තලා වැඩිහිටියෝ අපි දෙන්නට කැමැත්ත දුන්නා. ඉතින් අපි දැන හඳුනාගෙන ටික කාලයක් වුණත් ලස්සන ආදර කතාවක අයිතිකාරයෝ වුණා.


අම්මගෙයි තාත්තගෙයි රැකවරණයේ හිටපු ඔබට මලිත් හොඳ රැකවරණයක් වෙයිද?


එයා අම්මා තාත්තා වගේ මාව හොඳට බලාගන්නවා.. දෙන්න පුළුවන් හොඳම දේවල් අඩුපාඩු නොකර දෙනවා. රැකවරණය ආරක්ෂාව උපරිමයි. අසනීප වුණත් ළඟ ඉඳන් මාව බලාගන්නවා අලුත් පරිසරයක ඉන්නවා කියලා නොදැනෙන්න.


විවාහ ජීවිතේ කියන්නේ තනිකඩ ජීවිතේ තරම් සැහැල්ලු දෙයක් නෙමෙයි.කොහොමද ඔබට ඒ වගකීම දැනෙන්නේ?


ඇත්තටම මට එයත් එක්ක ගත කරන ජීවිතේ වගකීමක් නැති තරම්. ගෙදර අම්මා තාත්තා ළඟ හිටපු කාලෙ වගේමයි දැනුත්. ගැහැනු ළමයෙක්ට විවාහයෙන් පස්සෙත් මේ වගේ නිදහසක් දැනෙන්නෙ වාසනාවට. මලිත්ගෙ තාත්තා වුණත් මට දුවෙක්ට වගේ තමයි සලකන්නෙ. මම හිතලා වගකීම් ගන්න අවස්ථා විතරයි තියෙන්නේ. පවුලක් විදියට මට මේ ජීවිතේ වගකීම් තාම දැනිලා නැති තරම්.


ඒ කියන්නේ මලිත්ගේ පවුලේ අය ඔබ දිනාගෙන ඉන්නේ?


මලිත්ගේ තාත්තා මගෙ තාත්තා වගේමයි. මට උයන්නවත් දෙන්නෙ නෑ. මලිත් ඔෆිස් ගියා ම තාත්තායි මමයි මගේ බලු පැටව් දෙන්නා එක්ක ගෙදර ඉන්නේ. අපි යාළුවෝ වගේ කතා කර කර ඉන්නවා. මලිත්ගෙ මල්ලි මගෙ වයසේ. අපි කොහොමත් යාළුවෝ වගේ. පවුලේ අනිත් නෑදැයොත් හරිම ආදරෙයි මට.


ඔබ ගුරුවරියක්, නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්. විවාහයෙන් පස්සේ ඔබට මේ භූමිකා නියෝජනයට සීමා පැනවෙන එකක් නැද්ද?


කොහෙත්ම නැහැ. මේ කිසිම දේකට එයා නීති තහංචි දාලා නැහැ. මට කතා කරන වැඩවලට මම යන්න කම්මැළි නම් එයා තමයි මාව ඒවට යන්න උනන්දු කරවන්නෙ. එයා නිවාඩු නම් අනිවාර්යයෙන්ම මාව වැඩවලට එක්කන් යනවා. මලිත් කියන්නේ තෝරා ගැනීම අතින් අංක එක. ඒ වගේම මගේ ජීවිතේ කැමති තීරණ ගන්න නිදහස අඩු නැතුව දීලා තියෙනවා. ඒ නිසාම තමයි අපි විවාහ වෙන්න තීරණය කළේ. මලිත් හැමදාම මට “මම” වෙන්න ඉඩ දුන්නා.


රංගන කටයුතු පැත්තෙන් මොකද වෙන්නෙ?


මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වෙන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ “සුසුම් රස්තියාදුව” ටෙලි නිර්මාණයේ රුවිනිගේ චරිතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. විදෙස් රටවල්වල ඉන්න අය ගොඩක් මේ නාට්‍යයට සමාජ මාධ්‍ය මඟින් ප්‍රතිචාර ලබාදෙනවා.


අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණාද?


ළඟදි අලුත් නිර්මාණ කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. ඒත් මම විවාහ උත්සවය වෙනුවෙන් තමයි පහුගිය කාලය වෙන් කළේ. ඒ නිසා අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා.


ඔබ තාමත් වඩා ප්‍රිය කරන්නේ නිවේදනයටද?


නිවේදනය කියන්නෙ වෙනම ක්ෂේත්‍රයක්. ඒක හැම කෙනෙක්ටම නොලැබෙන අවස්ථාවක්. විශේෂයෙන්ම ජාතික රූපවාහිනී නාළිකාව වගේ තැනක. ඉතින් මම ලංකාවේ ඉන්නකම් නිවේදිකාවක් විදියට කටයුතු කරයි.


විවාහයෙන් පස්සේ කලාවට සමුදෙන අය අපි දැකලා තියෙනවා.ඔබ කලා කටයුතු අතහරින එකක් නැද්ද?


කොහෙත්ම නැහැ. මොකද මම අකමැති වුණත් මගෙ මහත්තයා මලිත් මගෙ හැකියාවට වැට බඳින්නෙ නෑ. එයා හිතන විදිහ සාම්ප්‍රදායික නැහැ. ඒකට හේතුව එයා වසර ගණනක් විදේශගතව හිටපු එක වෙන්න ඇති. එයාට මගෙ රංගන කටයුතු බලන්න වෙලාව නැති වුණාට රංගනය වෙනුවෙන් වෙලාව හදලා දෙනවා.


නිමේෂා ප්‍රේමචන්ද්‍ර එක්ක කතා කරලා ඉවර වෙලා අපි ඊළඟට හැරුණේ මලිත්ගේ පැත්තට.


මලිත් කොහොමද අලුත් ජීවිතේ?


අලුත් ජීවිතේ හොඳින් සතුටින් ගත කරනවා. අපි ජනවාරි 22 තමයි සිංහල චාරිත්‍රවලට අනුව විවාහ වුණේ. දැන් අපි ඉන්නෙ අපේ ගෙදර. වගකීම් වැඩි වුණා. ඒත් ආදරණීයව සතුටින් ජීවත් වෙනවා.


ඔබේ හිත නිමේෂා දිනා ගත්තේ කොහොමද ?


එයාව මුලින්ම දැක්ක වෙලාවේ විශේෂ හැඟීමක් තිබුණේ නෑ. ඒත් අපි කතා කරලා ආශ්‍රය කරද්දි මම කැමැති ගතිගුණ එයා තුළ දැක්කා.. ඉතින් මට හිතුණා ජීවිතේ මට එයත් එක්ක එකට දුර ගමනක් යන්න පුළුවන් කියලා.


මගේ රැකියාව අනුව සහ මම විදේශගතව හිටපු කාලෙත් ගොඩක් ගැහැනු ළමයි මට මුණ ගැහිලා තියෙනවා. ඒත් මම හොයපු ගතිගුණ දැක්කේ නිමේෂාගෙන් . පවුලක් විදියට ජීවත්වෙන්න තේරුම් ගැනීම අවශ්‍යයි. අපි දෙන්නා නීති දාගෙන බැඳීම් රැකගන්න උත්සහ කරන්නෙ නෑ. ඕනිම දෙයක් කතා කරලා තීරණය කරන්නෙ. එයාගෙ රූපයම නෙමෙයි එයාගෙ සරල බව, දෙයක් තේරුම් ගන්න, වගකීමක් අරන් ඕනි ම අභියෝගයකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්කම වගේ ගතිගුණ තමයි එයාට මම ආදරය කරන්න හේතු වුණේ. ඇත්තටම එයාගෙ ගොඩක් ගතිගුණවලට මම කැමතියි. ඒ අතරින් කැමතිම සරලකමට.


ඇය හොඳ පෙම්වතියක් වගේම හොඳ බිරියක් වෙයි කියන විශ්වාසය තියෙනවද ?


අනිවාර්යයෙන්ම ඔව්. ඒ ගැන කිසි ම සැකයක් නෑ. එයා විවාහයට කලින් ගෙදර උයන පිහන වැඩ ලොකුවට කරපු කෙනෙක් නෙමෙයි. ඒත් දැන් පුළුවන් විදියට එයා හැමදේම තනියම කරන්න උත්සාහ කරනවා. ඉතින් මට විශ්වාසයි එයා පෙම්වතියක් විදියට මට ආදරේ උපරිම දුන්නා වගේම බිරියක් විදියටත් ඒ ආදරේ ඒ විදියටම දෙයි කියලා.


ඔබේ පවුලේ අයටත් නිමේෂා සමීපයි නේද?


අනිවාර්යයෙන්ම. මගේ අම්මා මේ වෙනකොට අපි අතර නෑ. තාත්තායි මල්ලියි මමයි ඉන්නේ. තාත්තාට නිමේෂා ගොඩක් ආදරෙයි. එයාගේ අම්මා තාත්‍තා එක්ක වගේම තමයි එයා අපේ ගෙදර ඉන්නෙත්.


ගැළපීම් වගේම නොගැළපීම් ඕනම දෙන්නෙක් අතර තියෙන්න පුළුවන්. ඔබ දෙදෙනාගෙත් නොගැළපීම් ඇති. නොගැළපීම්වලට විසඳුම විදිහට ඔබ දකින්නේ?


මම නම් හිතන්නේ නොගැළපීම්වලට අපිට තියෙන සුදුසුම විසඳුම අන්‍යොන්‍ය අවබෝධය. නිමේෂට ටිකක් ඉක්මනින් තරහා යනවා. මට තරහා යනවා හරිම අඩුයි. හැබැයි මම පෙම්වතියක් විදියට මට ආදරේ උපරිම දුන්නා වගේම බිරියක් විදියටත් ඒ ආදරේ ඒ විදියටම දෙයි කියලා ඉතින් ඒ නොගැළපීම ගළපගන්න මට පුළුවන් වෙලා තියෙනවා.


බිරියක් වුණාම ගෙදරට සීමා වෙනවටද? ඇය වෘත්තීමය පසුබිමක් ගොඩනඟා ගන්නවටද ඔබ කැමැති?


ඕනෑම කාන්තාවක් තුළ හැකියාවන් අසීමිතව තියෙනවා. නිමේෂා මේ වෙනකොට ක්ෂේත්‍ර කිහිපයක් තුළ ඉන්න කෙනෙක්. රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් , රූපලාවණ්‍ය ශිල්පිනියක් වගේම ඇය ගුරුවරියක්. ඇය මනාව කාලය කළමනාකරණය කරගනිමින් ඒ සියලු කටයුතු හොඳින් කරනවා. ඒ වගේ කෙනෙක්ව මට බිරියක් විදියට ගෙදරට කොටු කරන්න අවශ්‍ය නෑ. ඇය ඇගේ ගමන යා යුතුයි කියන තැන මම ඉන්නවා. ඉතින් ඇයගේ වෘත්තීමය පසුබිම වෙනුවෙන් උපරිම සහය ලබාදෙනවා.


ඔබ නිමේෂා රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියටත් දකින්න කැමැතිද?


අනිවාර්යයෙන්ම. ඒක එයාගෙ හැකියාව. මම කවදාවත් එයාගෙ නිර්මාණ වැඩසටහන් බලලා තිබුණේ නෑ. අදටත් මම ඒවා බලන්නෙ නෑ. ඒකට හේතුව මගෙ වෘත්තීය එක්ක මම කාර්යබහුල නිසා. මට ඒකට වෙලාවක් නෑ. ඒත් මම දකිනවා ඇයගේ රංගනයට ආදරය කරන අය ඇවිත් ඇය එක්ක කතා කරනවා. ඒ ඇයගේ හැකියාවට ආදරේ නිසා. නිමේෂා රංගන ශිල්පිනියක් විදියට දිගටම ඉන්න එක හොඳයි.


ඒ කියන්නේ ඔබ ඇයට සීමා පනවන කෙනෙක් නෙමෙයි?


ඇයට කිසිම සීමාවක් නීතියක් මම දාලා නෑ. වැරදියි කියලා හිතෙන තේරෙන තැන්වලදි ඇය මගෙන් අහනවා මේක මම කරන්න ද කියලා. ඒකට හරි කියලා දැනෙන දේ මම කියනවා. ඒ හැර එයාගෙ ෆෝන් එකවත් මම බලන්නෙ නෑ. ඒකට හේතුව නීති සීමා දාලා ආදරේ රැකගන්න බෑ .එහෙම අවශ්‍යත් නෑ. නිමේෂා දන්නවා හරි දේ වැරදි දේ තෝරගන්න.


මොනවද දෙන්නගේ ජීවිතේ ඉදිරි බලාපොරොත්තු?


මට අවශ්‍ය එකම දේ හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක. ඒකට අවශ්‍ය පසුබිම මම එයාට හදලා දීලා තියෙන්නේ. අපි දෙන්නා වෘත්තීය ජීවිතේ ටිකක් කාර්යබහුලයි. ඒ නිසා ඉඩ ලැබෙන හැමවෙලාවකම නිමේෂා එක්ක විවේකයෙන් විනෝදයෙන් ගත කරන එක තමයි මට තියෙන එකම බලාපොරොත්තුව.


තිළිණි කෞශල්‍යා විජේසිංහ




Previous Post Next Post