කාලෙකට පස්සේ News කියපු චතුරිකා




මීට දශක කිහිපයකට පෙර මිහිබට සුරංගනාවියකට එක් රැයකින් මුළු මහත්  ලාංකික ප්‍රජාවගේම හදවත් තමන් වෙත නතු කරගන්නට හැකියාව ලැබිණි. විවේකා ලෙසින් පුංචි තිරයේ රූප රාමු මැවූ ඇය ඒ යුගය තුළ මෙරට තරුණයන් සියල්ලගේම පාහේ සිහින කුමරිය වූවාය. දශක කිහිපයක් ගෙවුණද එදා ඇය ලද රසික ආදර, ජනප්‍රියත්වය අදටත් එක සේ වලංගු වේ. සුරතල් දියණියකට මවක් වෙමින් සාර්ථක යුග දිවියක් ගෙවන ඇය


පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වන්නේ එදා පුංචි තිරයේ සැරසූ ඇය අද ප්‍රවෘත්ති නිවේදිකාවක් බවට පත්වී ඇති නිසාය.  මුළු මහත් ලාංකික රසික ප්‍රජාවගේම හදවත දිනූ ඇය නමින් චතුරිකා පීරිස්ය. 


මේ දිනවල තොරතුරු ටිකක් කියලම කතාව ආරම්භ කරමු?


මේ දිනවල මම වැඩ කිහිපයකම යෙදිලා ඉන්නවා. එකක් තමයි මම ෆිල්ම් එකකට ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන යනවා. ඒ වගේම පසුගිය වසරේ පස්සට ගිය වැඩ කිහිපයක් තිබෙනවා. ඒවත් නැවත ආරම්භ කරන්න ට්‍රයි එකක් දෙනවා. ඊට අමතරව මේ දිනවල ස්වර්ණවාහිනියෙ ප්‍රවෘත්ති නිවේදන කටයුතුවල යෙදෙනවා.


අවුරුදු ගාණකට පස්සේ ඔබ නැවත්ත් ප්‍රවෘත්ති කියනවා. ඒ ගැනත් කතා කරමු?


මම මුලින්ම 2002 වර්ෂයේදී තමයි රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන වෘත්තිය තෝරා ගන්නේ. නමුත් එතනදි මට ලැබුණු ටෙලි ඩ්‍රාමා එක්ක මට ඒ වෘත්තියේ දිගටම නියළෙන්න බැරි වෙනවා. මොකද ඒ වෙද්දි ජාතික රූපවාහිනියේ නීතියක් තිබුණා ප්‍රවෘත්ති නිවේදිකාවකට වෙනත් නිර්මාණ සඳහා දායක වෙන්න බැහැ කියලා. නමුත් ඒ නීතිය පසු කාලයේදී වෙනස් වුණා. මම ප්‍රවෘත්ති කියවන්න ගත්තේ මට අවුරුදු 14දී. මම සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංගමයේ හිටියා. ඒ කාලයේ ගුවන් විදුලි සංස්ථාවේ විකාශන කාලයක් තිබුණා බොදු සිසු පුවත් කියලා. ඒක විනාඩි


විස්සක පමණ විකාශන කාලයක්. ඒ විකාශන කාලයේදී මම එතැන බොදු සිසු පුවත් කිව්වා. ඉතිං ඒ අනුව ප්‍රවෘත්ති කීමේ හැකියාව එන්නේ අවුරුදු 14දී විතර ඉඳන්. ඉතිං මම දැන් ආපහු මේ විධියට ප්‍රවෘත්ති කියන්න ආරම්භ කළේ අවුරුදු 30කට පමණ පස්සේ. එතැනදී නැවත හොඳට පුරුදු පුහුණු වීම අත්‍යවශ්‍යයි. මොකද  කාලාන්තරයක් නොකියා ඉඳලා ආපහු පටන් ගද්දි හොඳට පුරුදු වෙන්න අවශ්‍යයි. ඉතිං මම විශ්වාස කරනවා පුහුණුවත් සමඟ තව හොඳට ප්‍රවෘත්ති නිවේදන  කටයුතු  කරගන්න පුළුවන් වෙයි කියලා.


චතුරිකාව ප්‍රවෘත්ති  නිවේදිකාවක් විධියට දැකපු රසිකයන්ගේ ප්‍රතිචාර මොන වගේද?


ගොඩාක් දෙනෙක් හොඳ කියලා තිබුණා. විශ් කරලා තිබුණා. සමහර අය කියලා තිබුණා ඒක ආපස්සට යෑමක් කියලා. නමුත්  මම හිතන්නේ නැහැ ඒක ආපස්සට යෑමක් කියලා. මොකද රඟපාන්න අද ඕනෑ තරම් පිරිසක් ඉන්නවා. රඟපාන්න පුළුවන් අයයි බැරි අයයි සේරම රඟපානවනේ. නමුත් ප්‍රවෘත්ති කියනවා කියන්නේ එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට හොඳ සංයමයක් තිබෙන්න ඕනා. හොඳට වචන උච්චාරණය කිරීමේ හැකියාවක් තිබෙන්න ඕනා සහ ඒක හොඳ අවබෝධයකින් කරන්න අවශ්‍ය දෙයක්. ඉස්සර අපේ රංගන වෘත්තියත් එහෙම තමයි. නමුත් කාලයත්


එක්ක  රංගන වෘත්තියට ඒ තිබුණු තැන නැතිවෙලා ගියා. අපෙන් පස්සේ පරම්පරාවට පසු පරම්පරාව පිළිබඳව ප්‍රේක්ෂකයෝ දන්නේ නැති තැනට ආවා. ජනප්‍රියම නළුවා කිව්වම කවුද අනේ ඒ කියලා අහන තැනට පත් වුණා. එහෙම බලද්දි ප්‍රවෘත්ති නිවේදනය කියන වෘත්තිය මම කවදාවත් බාල්දු කළේ නැහැ. මම ඒක දකින්නේ හරිම බැරෑරුම් කටයුත්තක් විධියට. ප්‍රවෘත්ති නිවේදනය කියන දේ, ඒ පිළිබඳව හොඳ අවබෝධයක්, පුහුණුවීමක් සහ සංයමයක් නැති කෙනකුට කරන්න බැහැ.


ප්‍රවෘත්ති නිවේදිකාවක් විධියට ක්ෂේත්‍රයට ආපු ඔබ පසුව රංගනය තෝරා ගන්නවා ඒ තීරණය ගැන අද වෙද්දි මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?


පසුගිය කිසිම දේකට මම පසුතැවෙන්නේ නැහැ. මොකද මම හිතන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා. මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විධියට දිගටම  ඉන්නවට වඩා අද වෙද්දි මිනිස්සු අතරට ගිහින් තිබෙනවා. දැන් මම ප්‍රවෘත්ති කියද්දි රසිකයන්ට දැනෙන්නේ තමන්ට ළඟ ළෙන්ගතු පවුලේ කෙනෙක්  ප්‍රවෘත්ති කියනවා වගේ හැඟීමක්. මම හිතන්නේ නැහැ එතැනදී මට වරදක් වුණා කියලා. මම  රංගනයේ යෙදෙනවා වගේම, ගායනය පැත්තෙන් මට පුළුවන් දේවල් කරනවා. ඒ වගේම නිවේදන වෘත්තියේත් යෙදෙනවා. මම හිතන්නේ නැහැ ප්‍රවෘත්ති නිවේදනය කියන දේ වෙනම කැටගරයිස් වෙන දෙයක් කියලා. අපි කරන දේ අවබෝධයෙන්,  හරියට කරන්න අවශ්‍යයි. ඉතිං මම හිතනවා මේක මට නාට්‍ය නොබලන නිව්ස් විතරක්ම බලන පිරිස අපිත් එක්ක රඳවාගන්න  ලැබුණු හොඳ අවස්ථාවක් කියලා.


ඔබ පසුගිය කාලයේ කලා නිර්මාණවලට දායක  වුණේ සීමිතව, එයට විශේෂ හේතුවක් තිබෙනවද?


ඒකට විශේෂම හේතුව තමයි ආරාධනා. මම ආරාධනා ඉපදුණු අලුත නාට්‍යයකට සම්බන්ධ වුණා. එතැනදී ඇයව බලාගන්න දෙන්නෙක්ම හිටියත් මට ඒ දෙන්නගේ වැඩ පිළිබඳව පොඩ්ඩක්වත් සෑහීමකට පත් වෙන්න බැරි වුණා. එතැනින්  පස්සේ මම නාට්‍යවලට සම්බන්ධ වුණේ මට වැය කරන්න පුළුවන් කාලය එක්ක ගැළපෙනවා නම් විතරයි. මාසෙකට දවසක් දහයක් විතර ෂූටිං තියන වැඩවලට සම්බන්ධ වුණේම නැහැ. ඒ වගේම යමක් කළ


නොහැකි චරිත වෙනුවෙන් කාලය වැය කරන්නත් මම කැමැති වුණේ නැහැ. පසුගිය කාලයේ රටේ තිබුණු ආර්ථික තත්ත්වයත් එක්ක අඩු බජට් නිර්මාණවලට ආරාධනා ලැබුණත්, එවට ගිහින් කාලය නාස්ති කරගන්න මට අවශ්‍ය වුණේ නැහැ. ලෝ බජට් වුණත් මම එකඟ වෙනවා ඒ ලැබෙන චරිතය ඇතුළේ යමක් කළ හැකි නම්. නමුත් සමාජ මාධ්‍ය නිසා වැඩක් නොකරපු බව හෝ ටී.වී. එකේ පෙන්න නැහැ කියන දේවත් තේරුණේ නැහැ. මොකද සමාජ මාධ්‍ය හරහා අපි නිතරම අපේ ප්‍රේක්ෂකයාට දැක ගන්න ලැබෙන නිසා.


චතුරිකා වෙනුවෙන් මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වෙනම යුගයක් ලියවිලා තිබෙනවා. ඔබ පුංචි තිරයේ සිහින කුමරිය බවට පත්වෙලා හිටපු ඒ කාලය ගැනත් මතක් කරමු?


ඒ කාලය තමයි මගේ කලා ක්ෂේත්‍රයේ හොඳම කාලය. ඒ කාලයේ අතිශය කාර්යබහුලයි. සමහර වෙලාවට අධ්‍යක්ෂවරු මාත් එක්ක අමනාප වෙලා පවා තිබෙනවා ඔවුන්ගේ නිර්මාණවලට දෙන්න දින නැති නිසා. එහෙම කාලයක් තිබුණා. ප්‍රේක්ෂකයන්ට නම කියපු ගමන් මතක අවසාන ජෙනරේෂන් එක තමයි අපි. ඊට පස්සේ ආපු බොහෝමයක් දෙනා එක චැනල් එකකට පමණක් සීමා වුණා. මොකද ඒ බහුතරයක් ආවේ එක එක චැනල්වලින් පවත්වපු තරගවලින් නිසා. හරිම සුළු පිරිසක් විතරයි ඒ රාමුව කඩාගෙන එළියට ආවේ. අදටත් මිනිස්සු මට විවේකා කියලා, චාපා කියලා කතා කරනවා. මිනිස්සු ඒ චරිතවලට අදටත් ආදරෙයි. මම හිතනවා අපේ ජෙනරේෂන් එක හරිම වාසනාවන්තයි කියලා එහෙම කාලෙක මේ ක්ෂේත්‍රයට එන්න ලැබීම ගැන.


අවසන් වශයෙන් ඔබේ ආදරණීය පවුල ගැනත් කියමු?


ඇත්තටම හරිම සුන්දරයි. වෙලාවකට මට හිතෙනවා වැඩ සේරම නතර කරලා ‍ෙදා්ණිව බදාගෙන ගෙදරට වෙලා ඉන්න. ඒ තරම් පුදුම ආදරණීය දරුවෙක් එයා. මම එයාව දකින්නේ මට ලැබුණු ආශීර්වාදයක් විධියට. මට එයාව දැනෙන්නේ එහෙම. එයා හරිම පිංවන්ත දරුවෙක්. එයත් එක්ක ගෙවෙන අපි දෙන්නාගේ කාලය හරිම සුන්දරයි. මම මට එන වැඩ භාර නොගන්න ලොකුම හේතුවත්  මම මගේ පවුලට, ‍ෙදා්ණිට තිබෙන බැඳීම.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post