ඉන්දියාවේදී ගීත කෝකිලාවක් වූ යාපනයේ පුංචි කිල්මිෂා




“කිල්මිෂා” යාපනයට ඇද හැලෙන මහා ධාරානිපාත වර්ෂාවට තවත් විදුලි කෙටීමක් එක් කළාය. එක් රැයකින් මුළු ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් හදවත් සොරා ගැනීමට ඇගේ අපූර්ව ගායන විලාශයට හැකියාව ලැබුණි.දකුණු ඉන්දියාවේ ‘සී ටැමිල්’ ZEE Tamil නමැති රූපවාහිනී නාලිකාව සංවිධානය කළ “ස..රි..ග..ම…ප…” නමැති සංගීත රියැලිටි වැඩ සටහනේ 2023 වසරේ කිරුළ හිමි කරගැනීමට යාපනයේ මේ පුංචි කිල්මිෂාට හැකියාව ලැබීමත් සමගම බොහෝ දෙනකු මේ දිනවල ඇය ගැනම කතා කරයි.


යාපනයේ අරියාලේ ගම්මානයේ උපත ලැබූ කිල්මිෂා උදයසීලන් තවමත් වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යාවකි. යාපනයේ චුණ්ඩිකුලි ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය මේ වන විට විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.


එක්තරා ගැමි කතාවක හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියා කීවා සේ කිල්මිෂා ගැනද බොහෝ දෙනෙකු කියා සිටින්නේ ඇගේ වයසේ තරමට නෙමෙයි වැඩ කියලයි.


මේ පුංචි ගායිකාවට වයස අවුරුදු අටක් වුණත් ඇය දැනටමත් යාපනයේ ප්‍රචලිත සංගීත කණ්ඩායමක් වන “සාරංගා” සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාවක් ලෙස ගී ගයමින් ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කරන්න්නීය. ඇය මේ ගමන ආරම්භ කොට ඇත්තේ වයස අවුරුදු තුනේදීය.


කිල්මිෂා යාපනයේදී මාධ්‍ය සමග කතා කරමින් ඇගේ අතීතය ආවර්ජනය කළාය.


“ මම පුංචි කාලෙම ගීත ගායනා කරන්නට පටන් ගත්තා. මගේ තාත්තා වෘත්තියෙන් රියදුරෙක් වෙනවා. අම්මා තමයි අපේ පවුල බලාගෙන ගෙදර ඉන්නේ. ඉතින් තාත්තා කොහොම හරි එයාගේ වැඩ අස්සේ මාව බයිසිකලේක තියාගෙන සංගීත පන්තියට එක්ක ගෙන ගියා. දවසක් සරස්වතී පූජා කාලෙදි ගමේ කෝවිලේ තිබ්බ සරස්වතී මංගල්ලෙදි මට ගීතයක් ගායනා කරන්න කිව්වා. එහෙම කිව්වේ මගේ මුල්ම සංගීත ගුරුවරිය වන කමලෝජිනී මිස්. ඒ මිස්ම තමයි මට ගීතය හදලා මාව ඒ ගීතයට හුරු කළේ. මගේ අම්මගේ නම වුන්නි. ඉතින් අම්මගේ නමත් දාලා ඒ ගීතය හදලා තිබ්බේ මව්ගුණ ගීතයක් විදිහටයි. ඉතින් මම එදා තමයි මහා සෙනඟක් ඉස්සරහා ගීතයක් සංගීතයට ගායනා කළේ. බලන්න ආව අය අත්පොලසන් දීලා මහා හයියෙන් කෑ ගහලා මාව දිරිමත් කළා. වයස අවුරුදු පහක් වගේ වුණු මට එදා හරිම සතුටුයි


ඊට පස්සේ මම පාරේ යනකොට ගමේ අයත් මාව අඳුන ගත්තු අයත් මට කිව්වේ සින්දු කියන කෙල්ල කියලයි. මම සින්දු කියන එක නතර කළේම නැහැ. ගමේ කෝවිලේ උත්සවවලදී ගමේ අනිත් උත්සවවලදී මම සින්දු කිව්වා. යාපනයේ “සාරංගා” සංගීත කණ්ඩායමට මම සින්දු කියන්න ගත්තෙත් ඔය කාලේදිමයි. මම ඉතින් දිගටම සිංදු කිව්වා. පස්සේ මගෙ නම වෙනස් වුණා. යාපනයේ අය මට කිව්වේ සින්දු කියන කිල්මිෂා කියලයි. මෙහෙම සින්දු කියන අතරේ තමයි යාපනයේ මහා සංගීත සංදර්ශනේක මට සිදු කියන්න අවස්ථාවක් ආවේ. මම සින්දු කිව්වා. එදා ඒ සංගීත සංදර්ශනේ බලන්න ZEE Tamil රූපවාහිනියේ වැඩ සටහන් කරන කීප දෙනෙක්ම ඇවිත් හිටියා. මම ඒ ගැන දන්නේ නෑ ඒත් මම සින්දු කිව්වා.


මගේ ගීත ගායනය අවසන් වුණාට පස්සේ අර්ජනා මැඩම් එක්ක සරිගමප වැඩසටහනේ අධ්‍යක්ෂකතුමා ඇවිල්ලා කිව්වා ZEE Tamil රූපවාහිනි නාලිකාවේ සරිගමපා වැඩසටහනේ ගීත ගායනා කරන්න එන්න කියලා. ඒක මගේ ජීවිතේ අමතක කරන්න බැරි අවස්ථාවක්. ඒ වෙලාවේ මට ඇති වුණ සතුට කියලා නිම කරන්න බෑ.


ZEE Tamil රූපවාහිනි නාලිකාවේ සරිගමප වැඩසටහනේ පුහුණු සැසිවලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. කෙලින්ම තරගයට සහභාගිවෙන්න එන්න කියලා සරිගමපා වැඩසටහනේ අධ්‍යක්ෂකතුමා මට ඒ වෙලාවේ කිව්වා. ඒක මට අදහාගන්නත් බැරිවුණා.


මෙන්න මේ විදිහට තමයි මම ඒ තරගයට එක් වුණේ. ඔක්කොම අය මුල් කාලේ ඉඳලා තුන් දාහක් විතර මේ තරගෙට සහභාගි වෙලා තිබුණා. අවසාන හතළිස් පහටත් මාව තේරුණා. එදා ඉඳලා තමයි විශාල තරගයක් තිබුණේ. ඉතින් මට හැමෝම උදව් කළා. ඒත් මට තරගය මැදදි හිතුණා ඉන්දියාව කියන්නේ විශාල රටක් ඒ රටේ මිනිස්සු ඒ රටේ අයට උදව් කරනවා මිසක් මට උදව් කරන්නේ නැති වෙයි කියලා. නැහැ. ඒත් ඒක එහෙම වුණේ නෑ. අවසානයේ මට ජය ලබනකල්ම ඒ අය මා එක්ක හිටියා. ඉතින් මම ඒ අයට ගොඩාක් ස්තූතියි කියලා කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා.


ඒ වගේම තමයි මම මේ ජයග්‍රහණය ලැබූ සැණින් අපේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මට දුරකථනය ඔස්සේ කතා කරමින් මට සුබ පැතුවා. මට අදහා ගන්නත් බැරි වුණා ඒ වෙලාවේ රටේ නායකයා මට සුබ පැතීම ගැන ඇති වුණේ විශාල සතුටක්.


ඉන්දියාවේ අයට වගේම ලංකාවේ අයට මගේ යාළුවන්ට ගමේ අයට ඉස්කෝලේ අයට ඒ හැමෝටම මම ස්තූතියි කියලා කියනවා.”


මුළුමහත් භාරතයේම ප්‍රාන්ත කීපයකින් මේ තරගයට සහභාගී වූ තරගකරුවන් සියල්ල අභිබවා ගොස් තරගයේ කිරුළ හිමි කර ගන්නට කිල්මිසාට හැකිවුණි. ඒ නිමිත්තෙන් ඇයට ඉන්දීය රුපියල් මිලියනයක මුදලක් සමග ත්‍යාග රැසක්ම හිමිවුණි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හතලිස් පහකට ආසන්න මුදලට වඩා ඇය ශ්‍රී ලංකාවට ලබා දුන් කීර්තිය අපමණය.


කිල්මිෂා දිනූ මේ මුදලට වඩා සිය දහස් ගුණයකින් ඇය ජනතාව දිනාගෙන තිබේ.


චෙන්නායි නුවරින් ඇය ගුවන් යානයට ගොඩ වූ ආරංචිය ලද සැණින් යාපනයේ ජනතාව ඇය ගොඩ බැසීමට නියමිත යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා තමන්ට හැකි වාහනයකින් පිටත්ව ගියහ. ගුවන් තොටුපළ බලධාරීන් මෙවැනි ජන ගඟක් කිසිදා බලාපොරොත්තු නොවීය. මේ නිසා එදින ආරක්ෂක නිලධාරීන්ට මේ ජන ගඟ මෙල්ල කිරීමට කිසිසේත්ම හැකියාවක් නොවූයෙන් ඔවුන්ට කළ හැකි එකම දේ වූයේ ගේට්ටු සියල්ල වසා දැමීම පමණකි.


වසා දැමූ ගේට්ටුවලින් අවසර ලබාගෙන සිටි මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් වැන්නවුන් ගුවන් තොටුපළට ඇතුල් වූයේ දැඩි අසීරුවකිනි.


ගුවන් තොටුපළ තුළට යෑමට සූදානම් වූ විශාල පිරිසට ඊට අවසර නොලද නිසා ඔවුන් ගුවන් තොටුපලේ ආරක්ෂිත වැට වටා එල්ලී මුව අයාගෙන ගුවන් යානය දෙස බලා සිටියේ පුංචි කිල්මිෂා මතුවන්නේ කොතැනකින්ද යන්න සියැසින් දැක බලා ගැනීමටය.


ගුවන් යානය ධාවන පථය සිප ගනිද්දීම යාපනයේ ජනතව පටන් ගත් ඔල්වරසන් දීමේ මහා හඬ පලාලි ගුවන් තොට වටේ වූ මහා තල් රුප්පාවේ අතුපතර ගැටී විසිරී කන්කසන්තුරේ මහ මුහුදේ සැඟවුණත් එහි දෝංකාර ශබ්දය තවමත් අපේ දෙසවන් තුළ ගැඹුරටම වැදී තිබේ. පුංචි කිල්මිෂා යාපනයට නිරුපද්‍රිතව රැගෙන එන ලද ගුවන් නියමුවෝ දෙදෙනාද ගුවන් යානයෙන් එළියට පැමිණ කිල්මිෂා බදාගෙන ඇයට සුබ පැතුවේ ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළාට වඩා කිල්මිෂාගේ ජයග්‍රහණයෙන් ඔවුන් ඉන්දීය ජාතිකයින් වූවත් දඩි උද්දාමයට පත්ව සිටීම නිසාවෙන්මය.


වයස අටක් වූ පුංචි කිල්මිෂාට මේ මහා කිරුළ හිසට මහා බරක් විය හැකිය. නමුත් දැන් මුළු ලෝකයාම ඇය පසුපස හඹා එමින් සිටියි. දකුණු ඉන්දිය චිත්‍රපටයක ගීතයක් ගායනා කිරීමට ඇයව තෝරා ගෙන තිබුණේ ඇය ඉන්දියාවෙන් යාපනයට ඒමට ගුවන් යානයට නැගීමට මොහොතකට පෙරදීය. එම ආරංචිය රැගෙන එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා චෙන්නායි ගුවන් තොටුපළට පැමිණ පුංචි කිල්මිෂා සිපගෙන ඒ ආරංචිය ඇගේ කණ තබා තිබුණි.


ඇයට මේ ආරංචිය කොතරම් වැදගත් වූවත් කොලිවුඩ් සිනමාවට පෙර ඇමරිකාව වැනි මහා දැවැන්ත රටක සංගීත නිකේතනයකින් කිල්මිෂා ගේ ගායන හැකියාව දැක ඇයට “පුංචි සංගීත තාරකාවිය” යන ගෞරව නාමය පුද කොට තිබුණේ මීට වසර දෙකකට ඉහතදීය.


සංගීත ගමනේ පරතෙරක් නොපෙනෙන කිල්මිෂාට ඉන්දියාවේ සන්තෝෂ් නාරායනන්ගේ ප්‍රසංගයට සහභාගි වීමට මේ වන විට ආරාධනා ලැබී තිබේ. ඇය කියා සිටින්නේ තමන් වෛද්‍යවරියක වීමට සිහින මවන නමුත් අනාගතයේදී කිසියම් දිනක හොඳම ගායිකාව වශයෙනුත් හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව වශයෙනුත් කිරුළු පැළඳීමේ සියුම් අහිංසක ආශාවක් ඈ තුළ ඇති බවය.


ඇගේ එම සියලු සිහිනයන් ඉතා ඉක්මනින්ම සැබෑ වන ලෙසට අපි අවංකවම සුබ පතමු.


දිනසේන රතුගමගේ




Previous Post Next Post