එයා මගේ හෙවණැල්ල වගේ හැමදේකදීම ළඟ ඉන්නවා-දමිත්‍රි සුබසිංහ



බොහෝ දෙනෙක් විහාරා නමින් හඳුන්වන ඇය නමින් දමිත්‍රි සුබසිංහයි. තෙවසරකට ආසන්න කාලයක් දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ විහාරා ටීචර් ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි. වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාගේත් ආදරය නොඅඩුව ඇයට ලබාදුන්නේ විහාරා යි.


‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා‘


ටෙලි නිර්මාණයේ ද්විත්ව රංගනයක යෙදුණු ඇය මෙතෙක් දායක වුණු ටෙලි නිර්මාණ ප්‍රමාණය අතළොස්සක් වුවද සමාජයේ බොහෝ කතාබහට ලක්වන චරිතයකි. දක්ෂ නර්තන ශිල්පිනියක් වන ඇය ගීත කවර් ඩාන්ස් හරහා සමාජ මාධ්‍යවල ද ඉතා ජනප්‍රිය චරිතයකි.


පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා ඇය කේසර විකුම් රත්නායක සමඟ විවාහ දිවියට එළැඹුණාය. ඒ මතකය අවදි කරමින් පසුගිය ජනවාරි 9 වැනිදා නැවතත් ඔවුන් මනාල යුවළක් බවට පත්වන්නේ එදා මෙන්ම මංගල ඇඳුමින් සැරසීගෙනය. ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය සැමරෙන්නේ ඒ අයුරිනි. අද ඔවුන් අප හා එක්වන්නේ වසරක යුග දිවියේ රසමුසු තැන් කතා කිරීමේ අදහසිනි.


වෙනදා මෙන්ම සතුට පිරි සිනහවෙන් දමිත්‍රි අප හා කතාවට එක්වූවාය.


විවාහ වෙලා වසරකුත් ගෙවුණා. කොහොමද විවාහ ජීවිතේ?


ජනවාරි 9 වැනිදාට කේසරයි මායි විවාහ වෙලා හරියටම වසරයි. අපි දෙන්න එකතු වෙලා ගෙවන ලස්සනම කාලය මේක කියලයි මට හිතෙන්නෙ. සතුටින්, අවබෝධයෙන්, ආදරෙන් අපි ජීවිතේ ගෙවනවා.


පළවෙනි විවාහ සංවත්සරයට එදා වගේම ලස්සනට හැඩවුණේ ඒ මතකය අලුත් කරන්නද?


ඔව්. එදා වගේම උඩරට ඇඳුමින් සැරසිලා ලස්සන ෆොටෝ ෂූට් එකක් කළා. විවාහ උත්සවය දවසෙ වගේම ලස්සනට මාව හැඩ ක‍ළේ සුබාෂ් අබේවික්‍රම අයියා. මගේ ඇඳුම් සැපයුවේ නයෝමා විජේසිංහ. කේසරගේ ඇඳුම් ගෘෘම් ආර්ට්. එයාගෙ හෙයාර් ස්ටයිල් කළේ සැලෝන් ලියෝ. පාවහන් සැපයීම වෝර්ක් ටු ග්ලෝව්. ෆොටෝ ෂූට් එක වගේම ලස්සන වීඩියෝ එකක් කරල දුන්නේ ධනුෂ්ක සේනාධීර අයියා. එයාල හැමෝම එකතු වෙලා අපි දෙන්නව ආයෙමත් එදා මතකයට අරන් ගියා. පහුගිය දවස්වල මට කැන්ඩියන් එකෙන් ෆොටෝ ෂූට්වලට ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් මගේ ඔළුවෙ තියෙන්නෙ අවුරුද්දකට එක වතාවක් ඇන්දම ඇති කියලා. ඒක මට විශේෂ වුණාහම ඇති කියලයි මට හිතෙන්නෙ. වෙඩින් එක දවසෙ මං හිතුවා ආයෙ කැන්ඩියන් එක අඳින්නෙ සංවත්සරය දවසටම විතරයි කියලා. සංවත්සරය දවසෙ ඇන්දෙ එදාට වැඩිය ටිකක් වෙනස් විදිහට. මාල හත දැම්මා. විවාහය දවසෙ මං මාල හත දැම්මෙ නෑ. ‍


විවාහය දවසෙ දමිත්‍රි ගීතයකින් කේසරව සප්‍රයිස් කළානෙ. පළවෙනි සංවත්සරයට විශේෂයෙන් මොනවද කළේ?


ඔව්, ඒක නම් අමතක වෙන්නෙ නෑ. මට ඕන වුණේ එයාව සප්‍රයිස් කරන්න. ඇත්තටම ඒක එහෙම වුණා. විවාහ සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන්ම කළේ විවාහය දවසෙ වගේම සැරසිලා අපි දෙන්නගෙ ෆොටෝ ෂූට් එකක් කළ එක. එදා වගේම හැමෝගෙම සහයෝගය ලැබුණා. විවාහ සංවත්සරය වෙනුවෙන් අපි මෙහෙණින් වහන්සේලා හත් දෙනෙක් ගෙදරට වඩම්මලා දානමය පින්කමක් කළා. ඊට අමතරව ගැබිනි මාතාවන් සිය දෙනෙකුට ආහාර පාන ලබා දුන්නා. අපි දෙන්නත් ඉතින් පුංචියට සෙලිබ්‍රේට් කළා. පාර්ටියක් නම් ගන්න බැරි වුණා. යාළුවොන්ගෙන් බේරෙන්න බෑ පාර්ටි ඉල්ලලා.


දමිත්‍රි කේසරට කැමැති වුණේ ඇස් දෙක නිසා කියන්නෙ?


අපි දෙන්න ආදරය කරන්න කලින් ඉඳලම හොඳම යාළුවො. ඒ නිසා අපි දෙන්නට දෙන්න ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම එයාට ලස්සන හදවතක් තියෙනවා. එදා කිවුවා වගේ හැමදාම කියනවා වගේ මේ ලෝකෙ ලස්සනම ඇස් දෙක තියෙන්නෙ කේසරට. ඒ ඇස් දෙක දිහා මට ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්.


විවාහ වෙද්දි කේසර හිටියෙ විදෙස්ගත වෙලා. විවාහයෙන් පස්සෙ ඔබත් විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් හිටිය නේද?


විවාහයට කලින් කේසර රැකියාව කළේ විදෙස් රටක. විවාහයෙන් පස්සෙ නැවත විදෙස්ගත වෙන්න ප්ලෑන් එක තිබුණත් පස්සෙ ඒක වෙනස් වුණා. දැන් එයා ලංකාවෙම ඩිජිටල් මාකටින් සයිඩ් එකේ රැකියාවක් කරනවා. ඒ නිසා අපි ලංකාවෙම ඉන්න තීරණය කළා.


විවාහයෙන් පස්සෙ වගකීම් දැනෙන්න නම් දෙන්න තනියම ඉන්න ඕන කියන කතාව ගැන මොකද හිතෙන්නෙ?


ඒකෙත් ඇත්තක් ඇති. වගකීම් කියන එක අපිට තාම දැනිල නෑ. හේතුව අපි දැනට ගෙවල් දෙකේම ඉන්නවා. උයන පිහින දේවල් තාම ලොකුවට කරන්න අවස්ථාවක් ලැබිල නෑ. කේසරලගෙ ගෙදර ඉද්දි කේසරගෙ අම්ම ඒ වැඩ කරනවා. අපේ ගෙදර ඉද්දි අපේ අම්මා. ඒ නිසා තාම ඒ දේවල් බරපතළ විදිහට දැනිල නෑ.


කොහොමද කේසරගෙන් ලැබෙන සහාය?


ඒක නම් කියන්නම ඕන. එයා මගේ හෙවණැල්ල වගේ හැමදේකදීම ළඟ ඉන්නවා. අම්මල දෙන්නත් ගොඩක් උදවු කරනවා. ඒත් එයා තමයි මට ඉන්න ලොකුම සපෝටර්. මානසික පීඩනයක් නැතුව කිසිම බලපෑමක් නැතුව මේ වැඩ ටික කරගෙන යන්න එයා පුදුම සහායක් දෙනවා.


නැන්දම්ම ලේළිට ගොඩක් ආදරෙයි කියලත් ආරංචියි?


ඇත්තම කියනව නම් ඒත් මගේ අම්මා. නැන්දම්ම කියන වචනෙ පාවිච්චි කරන්න මං කැමැති නෑ. මගේ අම්මා හා සමානව කිසිම වෙනසක් නොකර මට ආදරේ දෙනවා. මම හිතෙනවා එයා කේසරටත් වඩා මට ආදරෙයි කියලා.


රටේ තත්ත්වෙත් එක්ක ගොඩක් දෙනා උත්සාහ කරන්නෙ කොහොමහරි වෙන රටකට පැනගන්න. ඒත් ඔබ දෙදෙනාට ලැබුණු අවස්ථාව මගහැරියා?


මට හිතෙන්නෙ ඒක තම තමන්ගෙ අවශ්‍යතාව මත තමයි තීරණය වෙන්නෙ. රට යන්නම ඕන කියන ඔප්ෂන් එකේ ඉන්න අය එහෙම යයි. මෙහේ ඉන්න ඔප්ෂන් එකක් හදාගත්තොත් එහෙම යන්න ඕනෙත් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.


දමිත්‍රි කතා කරගෙන යද්දි කේසරත් ඇවිත් අපේ කතාවට සම්බන්ධ වුණා.


දමිත්‍රි එක්ක එක වහලක් යට ගෙවපු මේ අවුරුද්ද ගැන මොකද හිතෙන්නෙ?


ඒක නම් හිතාගන්නත් බෑ. අවුරුද්දක් ගෙවුණ ද කියල දැනුණෙත් නෑ.


දමිත්‍රිගෙන් ඔබට ලැබෙන සහාය ගැන කිවුවොත්?


හැමදේටම සහයෝගය ලැබෙනවා. අපි දෙන්නම අපි දෙන්නගෙ දේවල් තේරුම් අරගෙන, අවබෝධයෙන්, සතුටින් ඉස්සරහට යනවා.


විවාහයට පෙර වගේ නෙවෙයි විවාහයෙන් පස්සෙත් රංගන ශිල්පිනියක් විදිහට දමිත්‍රි කාර්යබහුල වෙද්දි මොකද හිතෙන්නෙ?


විදෙස්ගත වෙලා ඉද්දි නම් ඒක ලොකුවට දැනුණා. ඒත් මෙහේදි ලොකුවට ඈත්වීමක් වෙන්නෙ නෑනෙ. කොහොමත් රැකියා නිසා දවල්වරුව දෙන්නම කාර්යබහුල වෙනවා. ඒ නිසා ලොකු වෙනසක් නෑ. සාමාන්‍ය විදිහට ගෙවෙනවා.


විදෙස් රැකියාව අතහැරියෙ දමිත්‍රිව දාල යන්න බැරි නිසාද?


ඔව්. ඒකත් එක හේතුවක්. අනිත් එක තමයි දෙන්නෙක් විවාහ වුණාට පස්සෙ දෙතැනක ඉන්න එකේ තේරුමක් නෑනෙ. මං විදෙස්ගතව හිටියේ රැකියාව නිසා. විවාහයෙන් පස්සෙ යන්න ප්ලෑන් කරල තිබුණත් ලංකාවෙම මට ඒ වගේ ඔපර් එකක් ආවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.


පෙම්වතියට වඩා බිරියක් වුණාට පස්සෙ දමිත්‍රිගෙ ඔබ දකින වෙනස්කම් මොනවද ?


තාම දෙන්නගෙම ලොකු වෙනසක් නෑ. ගෙවල් දෙකෙන් ලැබෙන සහයෝගයත් එක්ක සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. එදා වගේම කපල් එක විදිහට සැහැල්ලුවෙන් ඉන්නවා.


දෙන්න තුන්දෙනා වෙන්න අදහසක් නැද්ද ?


තාම නම් ඒ අදහස නෑ. ඉදිරියට බලමුකෝ.


අම්මලත් එක්කම ඉන්න නිසා තාම දමිත්‍රිගෙ අතින් හදන කෑමක් කන්නත් අවස්ථාවක් නෑ නේද?


අම්මල නැති දවස්වලට අපි දෙන්න එකතු වෙලා උයනවා. එයාට පුළුවන් රසට පැස්ටා හදන්න. අපි දෙන්න එකතුවෙලා අලුත් අලුත් කෑම වර්ග හදලා අත්හදා බැලීම් කරනවා. වැරදුණහම ඒකට වෙනම නමක් දානවා. එතකොට ෂේප්නෙ.


කේසරටත් රංගනයට ආරාධනා ලැබුණ කියන්නෙ ඇත්තද?


ඔව්. එක ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. ඒත් දෙන්නම එකම ෆීල්ඩ් එකේ යන එක අමාරුයි. එතකොට එයත් බිසී වෙනවා. මමත් බීසී වෙනවා. ඒකෙන් අපේ ෆැමිලි ලයිෆ් එකට බලපෑමක් වෙනවා. ඒක තේරුමක් නෑ. එයා බිසී වෙද්දි මං ප්‍රී වුණහම ප්‍රශ්නයක් නොවී බැලන්ස් කරගන්න පුළුවන්. දෙන්නම කාර්යබහුල වෙන්න ගත්තොත් අමාරුයි.


ඔබත් අවුරුදු කුමරා තරගයෙන් ඉදිරියට ආපු කෙනෙක්. විනෝදාංශයක් විදිහටවත් රංගනයේ යෙදෙන්න කැමැත්තක් නැද්ද?


දැනට මට ආරාධනා ලැබුණෙ දීර්ඝ කාලීන වැඩවලට. ලොකු කැමැත්තක් නෑ ඒ සයිඩ් එකට. ඒකාංගික එකක් වගේ ලැබුණොත් බලනවා. ගොඩක් දුරට රංගනය පැත්තට වඩා ඩිරෙක්ෂන් පැත්තට තමයි වැඩිපුර කැමැති.


ඒ කියන්නෙ ඉදිරියෙදි ඩිරෙක්ටර් කෙනෙක් විදිහට දකින්න ලැබේවිද?


මොකක් හරි කරන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. දැනට දමිත්‍රිගෙ ඩාන්ස් කවර්වල ක්‍රියේටිව් සයිඩ් එක වගේ පොඩි පොඩි දේවල් කරනවා. ඉදිරියට බලමුකෝ.


දමිත්‍රි කියන්නෙ දක්ෂ නර්තන ශිල්පිනියක්. එයා ඒ පැත්තෙන් ඉදිරියට යනවට කැමැති නැද්ද?


ඇත්තම කතාව කිවුවොත් මං වැඩිපුරම ආස ඒ පැත්තට. එයා ඒ පැත්තෙන් යනවට තමා වැඩිය කැමැති. එයාගෙ ටැලන්ට් එකට ලොකු ඉඩක් තියෙන පැත්තක්. එයා ඩාන්සින් පැත්තෙන් කරන දේවල්වලට මං ආසයි.


නාමලී ගමගේ





Previous Post Next Post