නෙළුම්ට තිබුණ ශක්තිය සැබෑ ජීවිතයේ මට නෑ -උදාරි වර්ණකුලසූරිය




පුතේ, දිදුලන හඳ එළිය වගේම, ආදරය පරිත්‍යාගය කරුණාව සහ බුද්ධිය කැටිකරගත්ත ආලෝක ධාරාවක් වෙලා මේ ලෝකය ලස්සන තැනක් බවට පත් කරන්න...” මවකගේ උත්තරීතර ප්‍රාර්ථනයක් එකලු කරමින් පසුගියදා සිනමා ශාලාවල තිරගත වූ ‘ආසු’ චිත්‍රපටය, සම්මානනීය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයක්. සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දරගේ නිෂ්පාදනයක්. කරූ ජයසූරිය මහතාගේ දියණිය වන ඉන්දිරා ජයසූරියගේ සත්‍ය කතාව ඇසුරින් නිර්මාණය වූ ආසු චිත්‍රපටය මෑතකදී දුටු අති මානුෂීයම පවුලේ චිත්‍රපටයක් ලෙස බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර වලින් හෙළි වූවා.


පියයුරු පිළිකාවකින් පෙළෙන අතර වෛද්‍යවරුන්ගේ, පවුලේ ඥාතීන්ගේ පමණක් නොව සිය සැමියාගේ ඉල්ලීම් පවා නොතකමින්, සිරුර දූෂණය කරන පිළිකාව දරා ගනිමින්, කුස තුළ දැඩි වන නූපන් පුතුට ඇති අපරිමිත සෙනෙහස වෙනුවෙන් තම ජීවිතය කැප කරන උදාර මාතාවකගේ චරිතයට පණ පොවන ප්‍රකට රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය, ඉන්දිරා ජයසූරියගේ චරිතයට සාධාරණයක් ගෙන ඒමට සමත් වෙනවා. ආසු සහ නෙලුම්ගේ චරිතය පිළිබඳව උදාරි සමග කළ කතා බහකි මේ.


 


උදාරි, ‘ආසු’ චිත්‍රපටයේ නෙලුම්ගේ චරිතය සඳහා නිෂ්පාදන කණ්ඩායම ඔබව සොයාගෙන පැමිණියාද? නැතිනම් ඔබ නළුවරණයකට සහභාගී වී චරිතයට පිවිසුණාද?


ඔව්, පළමුවෙන්ම කියන්න ඕනි ආසු චිත්‍රපටයේ මෙම චරිතයට සංජීව පුෂ්පකුමාර මහත්මා මාව හොයාගෙන ආවා. එතනදි පළමු අවස්ථාවේ එහි තිබූ යම් යම් හේතු නිසා මම script  එක rejected  කළා. පසුව මම විදෙස් ගත වුණා. විදෙස් ගත වෙලා ලංකාවට ආවට පස්සේ නැවතත් සංජීව පුෂ්පකුමාර මහත්මා එහි සිදුවිය යුතු යම් යම් වෙනස්කම් මොනවද කියලා මගෙන් අහලා බලලා තමයි මෙය නැවත සිදු කරන්නට තීරණය කළේ. එතනදී මම ලංකාවේ නැති කාලය තුළ ඔහු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සුදුසු කවුද කියන එක තෝරන්න උත්සාහ කරලා තිබුණා. මං හිතන්නේ ඔහු සෑහීමකට පත් වීමක් නොමැති වූ නිසාවෙන් වෙන්න ඇති මම විදෙස් ගත වෙලා ලංකාවට එනකම් ඉඳලා නැවතත් script  එක මට යොමු කළේ.


පිළිකාවකට ලක්වන රෝගියකුගේ අතිශය අමිහිරි තත්වයන් පිළිබඳ අවබෝධයකින් ද ඔබ නෙලුම්ගේ චරිතය තෝරා ගත්තේ?


ඇත්තටම ඒ චරිතය මම භාර ගත්තට පස්සෙ මුලින්ම මට ඕනි වුණේ ඒ චරිතය පිළිබඳ යම් හැදෑරීමක් කරන්න. ඒ නිසා සැබෑ චරිතය කොයි වගේද යන්න කරූ ජයසූරිය මහත්මා සහ ඉන්දිරා ජයසූරිය මහත්මියගෙ අක්කා වන ලංකා ජයසූරිය මහත්මිය යන දෙපළගෙන්ම කරුණු විමසලා ඊට අදාළ අනු දැනුම ලබා ගත්තා. එහිදී ඇය ජීවත්ව සිටි කාලය තුළ රෝගාතුර වීමට පෙර ඇගේ ජීවන චර්යාව කොහොමද කියන එකත්, රෝගීව සිටියදී ඇගේ හැසිරීම මොන වගේද කියන එකත්, ඔවුන්ගෙන් විමසුවා. ඊට අමතරව මම පිළිකා රෝහලට ගිහිල්ලා සැබෑ පිළිකා රෝගීන් සමඟ කතාබහ කළා, සහ ඔවුන්ට ආවතේව කළා. එතනදි ඔවුන්ගේ චර්යාව මොන වගේද කියන එක මම අධ්‍යයනය කළා. එය කොතෙක්ද කිව්වොත් ඒ රෝගීන් ආහාර පාන ගන්න විදිය පවා මම අධ්‍යයනය කළා. ඒ වගේම මෙම රෝගීන්ට ‘කිමෝ තෙරපි’ දෙද්දී ඔවුන්ගේ හැසිරීම කොහොමද, දුන්නට පස්සෙ ඒගොල්ලො හැසිරෙන්නේ මොනවගේ ආකාරයකටද, ඊට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, සහ තම පවුලේ අයට ඒ වේදනාව දැනෙන විදිය කොහොමද, ඔවුන්ට ඒ වේදනාව නොදැනෙන්න ඒ දේ හංගගෙන රෝගියා හැසිරෙන්නේ කොහොමද කියන්නා වූ සියළුම දේ පිළිබඳ මම හැදෑරුවා.


පිළිකා රෝගයට මුහුණ දුන්නත් නෙලුම්ගේ චරිතය දියණියකගේ සහ පුතෙකුගේ මවක්. චිත්‍රපටයේ යම් කාල සීමාවක් ඔබ ගැබ්බර මවක්. තමාගේ ජීවිතය පරදුවට තබා කුසේ දරාගෙන සිටින දරුවා වෙනුවෙන් නෙලු ම් කරන කැපකිරීම නිරූපණය කිරීම ඔබට අභියෝගයක් වුණාද?


ඇත්තටම ඔව්, මොකද සැබෑ ජීවිතයේදී මමත් මවක්. ඒ අත්දැකීම සැබෑ ජිවිතයේදි මට අත්විඳීන්න වුණෝතින් මම එතරම් ශක්තිමත් කාන්තාවක් කියලා මම හිතන්නේ නැහැ. ඇය මවක්, බිරිඳක් සහ දියණියක් හැටියට ඒ ගත්ත තීරණය ඒ ශක්තිමත්කම, මම හිතන්නේ නැහැ පෞද්ගලික ජීවිතයේ මට සැබවින්ම අත්දකින්නට වුණොත් එහෙම මම ඊට ශක්තිමත් ලෙස මුහුණ දෙයි කියලා.


ආසු චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?


ඔහු ගොඩක් හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහු සමඟ වැඩ කරද්දී සමහර අයට ඔහු පිළිබඳ නොරිස්සුම් ගති එන්න පුළුවන්. ඒකට හේතුව ඔහු හරියට ඒ වැඩේ ඉඳගෙන ඒ ගැන හිතලා වැඩ කරන කෙනෙක්. චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන හදාරපු කෙනෙක්. ඔහුගේ ඒ දැනුම් සම්භාරයත් එක්ක ඔහු සමඟ වැඩ කරන්න ලැබුණු එකම ඇත්තටම මම ලබපු භාග්‍යයක්. ඉතින් මම ස්තූතිවන්ත විය යුතුයි ඔහුට, මාව විශ්වාස කරලා ඒ චරිතයට තෝරගත්තාට. මේ රංගන ජීවිතය අත්දැකීම් වලින් පූර්ණ කරගෙන ඉදිරියට යන්න මට ඔහුගෙන් ලොකු රුකුලක් ලැබුණා, සහ මා තුළ මම නොදැකපු capacity එකක් ඔහු මගෙන් ගත්තා කියන එක මම විශ්වාස කරනවා.


චිත්‍රපටය තුළ ඔබගේ චරිතයට සහයකයා එහෙමත් නැතිනම් සැමියා ලෙස නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු. ඔබගේ මෙම විශිෂ්ට රංගනයට ඔහුගෙන් ලැබුණු සහය මොන වගේද?


ඔබ එවැනි ප්‍රශ්යක් මගෙන් අහපු එකත් මම අගය කරනවා. මොකද විශේෂයෙන්ම මම ශ්‍යාම් අයියා ගැන මතක් කරන්න ඕනි. ලංකාවේ අති දක්ෂ රංගන ශිල්පීන් හරි අල්පයයි ඉන්නේ. ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නෙත් ඒ චරිත වලින් එක්කෙනෙක්. ඉතින් මම ඔහුට ස්තූතිවන්ත වෙනවා මොකද නෙළුම්ගේ චරිතය තුළ යම් සාර්ථකත්වයක් ප්‍රේක්ෂකයා දකිනව නම් ඒක මම තනියම කරපු දෙයක් නෙමෙයි. සංජීව අයියගෙ අධ්‍යක්ෂණය යටතේ සහ ශ්‍යාම් අයියා, ඩිනාරා වගේම මගේ වටා හිටපු සියලු දෙනාගේම සහයෝගය ඇතුව තමයි ඒ චරිතය ඒ විදියට අවසන් වෙන්නේ.


ඉතින් ශ්‍යාම් අයියා ගත්තහම පොඩි කාලේ ඉඳන් තමයි මම ඔහුව අඳුරන්නේ. ඒ කියන්නේ ඔහුයි මමයි එක ගමේ එකට ජීවත් වුන අය. ඒක නිසා මම නිළියක් වෙන්න කලින් ඉඳලම ශ්‍යාම් අයියව අඳුරනවා. ඒ හිතවත්කම වගේම ඒ හැඳුනුම්කම මේ චරිතය සාර්ථක ලෙස ගොඩනැගෙන්න බලපෑවා. ඒ වගේම චිත්‍රපටය තුළ අඹුසැමි සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ඒ චරිත වලට සාධාරණයක් කරන්න අපි අපිටම ආගන්තුකයින් නොවීම කියන කාරණාව ගොඩක්ම බලපෑවා. ඉතින් මම හිතනවා චිත්‍රපටය තුළ මට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා කියලා.


නෙලුම්ගේ චරිතය චිත්‍රපටයේ ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වා බොහෝ වෙනස්වීම්වලට ලක් වෙනවා. එහිදී වේශ නිරූපණ ශිල්පීන් සහ කෘත්‍රිම හැඩගැසීම් ශිල්පීන් විශාල කාර්යභාරයක් කර තිබෙනවා. ඒ අත්දැකීම පිළිබඳ කතා කළොත්?


චිත්‍රපටයේ වේශ නිරූපණය ගැන කතා කරද්දී නාරද දනංජය තොටගමුව මහත්තයා තමයි අපේ Makeup artist විදියට කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි ඔහුගේ Team  එකම අපි එක්ක හිටියා. ඔවුන්ගේ ඒ චිත්‍රපටයට සහ ඒ චරිතයට තිබුණු පෙර සූදානම ඉතාමත් අගය කරන්න ඕනි. එහිදී චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු ආරම්භ කරන්න පෙරදි පවා අපි Makeup test කිහිපයක්ම කළා. ඒ Makeup test එකට කලින් මගේ බෙල්ල සහ මූණ ඒ කියන්නේ උරහිසින් උඩ ශරීරයම molt කීරීමක් සිද්ධ කළා. එහිදී molt එකක් හදලා ඒ molt  එකට හරියන විදියට prosthetic makeup  එකක් ඒගොල්ලො හැදුවා. ඒක අති දැවැන්ත කර්තව්‍යයක්.


මගේ රංගනය කොච්චර හොඳට තිබුණත් ඒ රංගනයට පසුබිමින් පෙනෙන ස්වරූපය චරිතය තුළින් ගේන්න හදන දේ සාර්ථක විදියට නිර්මාණය කරන්න ලොකු පිටිවහලක් වෙනවා. ඉතින් ඒ නිර්මාණය තුළදි චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න වගේම චරිතය තාත්වික ලෙස ප්‍රතිනිර්මාණය කරන්න ඔවුන්ගෙන් ලොකු සහයක් මට ලැබුණා. ඔවුන්ගේ ඒ කැපවීම මහන්සිය සහ ඒ දක්ෂකම ගොඩක් අගය කරන්න ඕනි. මොකද සාමාන්‍ය චිත්‍රපටයකට වඩා මේ චිත්‍රපටය තුළ ඔවුන්ගේ හැකියාව පිළිබිඹු වන අවස්ථා වැඩි නිසා.


නෙලුම්ගේ චරිතයේ සැබෑ කාන්තාව ඉන්දිරා ජයසූරිය. ඔබ ඇගේ චරිතය පිළිබඳ අධ්‍යයනයක් කළාද? ඒ වගේම ඒ චරිතය නිරූපණය කරද්දී ඔබට පැමිණි අභියෝග මොනවද?


සාමාන්‍ය චිත්‍රපටයක් තුළ රඟදැක්වීමකට වඩා මේ චිත්‍රපටය තුළ මට ලැබුණුු චරිතය මට ලොකු අභියෝගයක් වුණා. මොකද මට කැමති විදියට මට හිතෙන විදියට ඒ චරිතය හසුරුවන්න මට බැහැ. ඒක නිසා ඒ චරිතය මට මවාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. එය සැබෑ මනුස්සයෙකුගෙ ජීවිත කතාවක්. ඉතින් ඒ චරිතයට හානියක් නොවෙන්න එය ඉදිරිපත් කරන්න ඕනි කියන කාරණාව තුළදි මට ඒක අභියෝගයක් වුණා. ඉන්දිරා ජයසූරිය කියන්නේ අපි ගොඩක් ආදරය කරන කෙනෙක් සහ ආදර්ශවත් ගැහැනියක්. අනික ඇගේ මේ කතාව බොහෝ දෙනෙක් දන්න සිදුවීමක්. ඇගේ ඒ ජනප්‍රිය බව මට ලොකු අභියෝගක් වුණා, මේ චරිතය ඉදිරිපත් කරන්න.


විශේෂයෙන්ම කරූ ජයසූරිය මහත්මාට සහ ලංකා ජයසූරිය මහත්මියට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා, ඔවුන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කළාට. එය කොතෙක්ද කිව්වොත් කරූ ජයසූරිය මහත්මාගේ නිවස පවා රූගත කිරීම් වලට පාවිච්චි කරන්න කියලා කිව්වා. එහිදී රූගත කිරීම් වලට අප ඒ නිවස පාවිච්චි නොකළත් ඒ තරම් සහයෝගයක් ඔවුන් අපට ලබා දුන්නා. ඉතින් අවසාන වශයෙනුත් මම කියන්නේ මම රඟ දක්වපු චරිතය බොහෝ දෙනා දන්න හඳුනන චරිතයක් වුණ නිසා ඒ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම මට ලොකු අභියෝගයක් වුණා.


සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය තුළ කලාත්මක අතින් සැබෑ කතාවට වඩා යම් යම් වෙනස්වීම් වලට ලක් වුණාද?


ඔව් යම් යම් ආකාරයේ සංශෝධනයන් වලට ලක් වුණා. හේතුව මෙය කලා නිර්මාණයක්. එහිදී ප්‍රේක්ෂකයා හසුකර ගත හැකි ආකාරයට සැබෑ කතාවට හානියක් නොවෙන්න යම් යම් සංශෝධනයන් සිදු කළා. එහිදී එක් උදාහරණයක් ගතහොත් සැබෑ ජීවිතයේ ඇය painter කෙනෙක් නෙමෙයි. නමුත් චිත්‍රපටය තුළ ඉන්දිරා ජයසූරිය මහත්මිය කියන්නේ චිත්‍ර ශිල්පිනියක් ලෙස අපි ගෙන එනවා. සැබෑ ජීවිතය තුළ ඇය  accountant  කෙනෙක්.


එවැනිම අවස්ථාවක් තමයි චිත්‍රපටය තුළ ඉන්දිරා ජයසූරිය, අක්කගේ භූමිකාව නිරූපණය කරනවා වගේම ලංකා ජයසූරිය ගේ චරිතය නිරූපණය කරන්න ඉන්න ඩිනාරා, ඇය මගේ නංගීගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. නමුත් සැබෑ ජීවිතයේ ලංකා ජයසූරිය කියන්නේ අක්කා ඉන්දිරා ජයසූරිය කියන්නේ නංගි. ඒ වගේ සත්‍ය කතාවට හානියක් නොවෙන්න චිත්‍රපටය තුළ යම් යම් වෙනස්වීම් සිදු කළා.


සාමාන්‍යයෙන් ඔබ රංගනයෙන් දායක වූ චරිත හා සසඳා බලද්දී මෙවැනි සැබෑ චරිතයක් නිරූපණය කිරීම ගැන ඔබේ අදහස මොකක්ද?


ඇත්තටම මම භාග්‍යවන්තයි. මොකද අපි ඕනම කෙනෙක් කැමති තමන්ගේ වෘත්තියේ අඩියෙන් අඩිය ඉදිරියට යන්න වගේම ඇගයීමට පාත්‍ර වෙන්න. ඉතින් මගේ අරමුණට මම ගමන් කරද්දී මේ චිත්‍රපටය මට අභියෝගයක් වුණා. ඒ වගේම මම හිතනවා මගේ යම් සාර්ථකත්වයක් මේ චිත්‍රපටය තුළින් ලැබුවා කියලා.


ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ අප වෘත්තියේ වැඩිහිටියන්ගේ අවවාදයන් සහ ඒ ප්‍රතිචාරයන් බැලු වම මම හිතනවා මේතාක් මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට අතර මෙය හොඳම චිත්‍රපටයක් වේවි කියලා.


ඒ කියන්නේ රඟපෑම තුළ මගේ ඇති දක්ෂතාවය මේ චිත්‍රපටය තුළ හොඳීන් නිරූපණය කරලා තියෙනව කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වටිනා අවස්ථාව මා හට ලබා දුන්නාට සංජීව අයියට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. අපි ඕනිම කලාකරුවෙක්ට රංගන ශිල්පියෙක්ට ශිල්පිනියක්ට කොයිතරම් හොඳීන් රඟපාන්න පුළුවන් capacity එකක් තමන් තුළ තිබුණත්, ඒක එළියට ගන්න හොඳ නිර්මාණ ලේසියකින් හම්බ වෙන්නෙ නැහැ. ඒකාකාරී චරිත තමයි ගොඩක්ම ලැබෙන්නේ. ඒත් මම හිතනවා මම භාග්‍යවන්ත වුණා, මේ වගේ විවිධාකාර චරිත නිරූපණය කරන්න. ඉතින් මම ඔවුන්ට නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා මං ගැන විශ්වාස කරලා ඒ චරිතය මට ලබා දුන්නට.


‘ආසු’ චිත්‍රපටය තිරගත වූවාට පසුව ඔබට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේද?


ප්‍රතිචාර ගත්තහම නම් අති විශිෂ්ටයි. චිත්‍රපටය නරඹන්න පැමිණි බොහෝ ප්‍රේක්ෂක ජනතාව හැඩූ කඳුළින් චිත්‍රපටය නරඹන ආකාරය මම දැක්කා. එතනදි මම කියන්නේ ප්‍රේක්ෂකයා අඬනවා දකින්න මම කැමති කියන කාරණය නෙමෙයි. චිත්‍රපටයේ තියෙන සංවේදීත්වය ප්‍රේක්ෂකයාට ගිහින් තියෙනවා කියන දේ තහවුරු වන හොඳම අවස්ථාවක් තමයි ඒක. ඒ හින්දා මට හරි සතුටුයි. අපි මහන්සියෙන් හදපු නිර්මාණය ප්‍රේක්ෂකයාට දැනෙන්න නිර්මාණය වෙලා තියනවා කියන හැඟීම තමයි මට එතනදි දැනුණේ.


අවසාන වශයෙන් චිත්‍රපටය නරඹන්නට සිටින ප්‍රේක්ෂකයාට ඔබට කියන්න තියෙන දේ මොකක්ද?


මේ චිත්‍රපටය කාලෝචිත කතාවක් කොව්වොත් නිවැරදි. ඊට හේතුව තමයි අද වෙද්දී ළමයි වදනවා ඇතැම් විට ඉපදෙන්න කලින් මරනවා, ඉපදුණාට පස්සේ විකුණනවා, ළමයින්ව පාරේ දාලා යනවා නැතිනම් අනාථ කරනවා. එවැනි කාලයක් තුළදි මාතෘත්වය කියන දෙය දේවත්වයකින් යුතුව සැලකිය හැකියි කියන චිත්‍රපටයක් තමයි ” ආසු” කියලා කියන්නේ. අසීමිත මව් සෙනෙහස කියන ගුණය මවක් තුළ තිබිය යුතුමයි.


මෙතනදි මම කියන්නේ නෑ දැන් කාලේ ඉන්න අම්මලා ළඟ ඒ ගුණය නෑ කියන කාරණාව. නමුත් එදා සමාජයට වඩා අද සමාජය තුළින් ඒ මව් ගුණය කියන දේ අහන්න ලැබෙනවා අඩුයි. මවක් උනහම තමන්ගේ ජීවිතය වුණත් දරුවෙක් වෙනුවෙන් කැප කරන්න තරම් මව් ගුණයක් අම්මා කෙනෙක් තුළ තිබිය යුතුමයි. මමත් අම්මා කෙනෙක් විදියට ඒ හැඟීම මටත් හොඳීන් දැනෙනවා. ඉතින් මම හිතනවා මව් සෙනෙහස කියන දේ උපරිමෙන්ම මේ චිත්‍රපටය තුළ තියෙනවා, සහ මොන දේ වුණත් කොහොමද අපි ධනාත්මකව හිතන්න ඕනි කියන දේ ඉන්දිරා මහත්මිය තුළින් අපි දකිනවා. කාන්තාවන් හැටියට අපිට එය හොඳ ආදර්ශයක් කියල මම හිතනවා. ඉතින් ආසු චිත්‍රපටය නරඹන්න, උත්තරීතර මාතාවකගේ ඒ අපරිමිත දාරක සෙනෙහස විඳගන්න කියල මම ආරාධනා කරනවා.




Previous Post Next Post