ජීවිතේ මට වෙන්න තියෙන නරකම දේටත් මම ලෑස්තියි - අනුරාධා එදිරිසිංහ




අනුරාධා.... මුලින්ම ඔයාට ලැබුණ අලුත් සම්මානයට අපෙන් සුබපැතුම්... මේ කීවෙනි සම්මානයද...?


ගොඩක් ස්තූතියි මේ සුබපැතුමට. මට මේ ලැබුණේ දෙවැනි සම්මානයයි. සම්මාන උළෙලවල් දෙකක මගේ නම නිර්දේශ වුණා. ඒ නිර්දේශ වුණ සම්මාන උළෙලවල් දෙකේදීම මට සම්මානයක් ලැබුණා. 2021 අවුරුද්දේ ටෙලිනාට්‍ය සහය නිළියට හිමි සම්මානය ලෙසින් මගේ පළමු සම්මානය මම දිනාගත්තා. ඒ ප්‍රියන්ත ප්‍රනාන්දු අයියා අධ්‍යක්ෂණය කළ ''සකර්ම'' ටෙලිනාට්‍යයේ ''දෙවැනිගේ'' චරිතය වෙනුවෙනුයි. ඒ වගේම සිග්නීස් සම්මාන උළෙලේදී 2021 අවුරුද්දේ වසරේ නිර්මාණශීලී හොඳම නිළිය සම්මානය මට ලැබුණා. ඒ ප්‍රියාල් වීරසිංහ අයියා අධ්‍යක්ෂණය කළ ''ගරුඩ මුහුර්තය'' ටෙලිනාට්‍යය වෙනුවෙනුයි. ඒ ටෙලිනාට්‍යයේ මම ''පුසුඹි'' කියන චරිතය රඟපෑවා.


තමන් දායක වුණ නිර්මාණයන් වෙනුවෙන් තමන්ගේ රංගනය වෙනුවෙන් ඇගයීමක් ලැබෙද්දී දැනෙන සතුට ගැන යමක් කිව්වොත්....?


කොවිඩ් කාලයත් එක්ක සම්මාන උළෙලවල් පැවැත්වීම මඟහැරුණා. ඒවගේ කාලයක බොහෝම හිතට එකඟව අවංකව කරපු නිර්මාණයක් ගැන ඇගයීමක් හෝ ඒ ගැන කතාවීමක් ගැන කතා කිරීමට තිබුණ කාලය සීමා වුණා. ඉතින් එවන් කාලයක නැවතත් මෙලෙස සම්මාන උළෙලවල් පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඒ සියලුම සම්මාන උළෙලවල් සංවිධායකවරුන්ට ස්තූති කරන්න ඕනේ. පසුගිය කාලවලදීත් නියෝජනය කළ නිර්මාණවලට නැවතත් ඇගයීම් කරපු එකට ගොඩක් ස්තූතියි. ඉතින් ඇත්තටම සම්මානයක් ලැබීම ගැන හිතට ලොකු සතුටක් දැනෙනවා.


මේ දිනවල දායක වී තිබෙන නිර්මාණ මොනවාද?


මේ දිනවල ප්‍රියන්ත ප්‍රනාන්දු අයියා අධ්‍යක්ෂණය කරන ''සුසුම් රස්තියාදුව'' රූගත කිරීම් සිදුවෙනවා. ඒකට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතය මම හරිම ආසාවෙන් ආදරයෙන් කරන චරිතයක්. ඒ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ ගාමන්ට් එකක සේවය කරන ''එරන්දතී'' කියන ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. සමහරු ගාමන්ට් එකක වැඩකරන එරන්දතීට ඇත්ත අනුරාධාට වඩා කැමැතියි කියලත් ප්‍රතිචාර දක්වනවා. ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් පවා ඒ නිර්මාණය බලනව කියද්දී හිතට ගොඩාක් සතුටක් දැනෙනවා.


 පසුගිය දිනවල අනුරාධා අම්මා එක්ක විදෙස් සංචාරයකට ගියා නේද...?


ඔව්. පසුගිය දිනවලදී අම්මා එක්ක සිංගප්පූරු ගියා. ඒක මට තිබුණු එක හීනයක්. ඊට පෙර මගේ අම්මා කවදාවත් පිටරටකට ගිහින් තිබුණේ නැහැ. ඉතින් කවදාහරි දවසක එයාව රටකට එක්ක ගිහින් පොඩ්ඩක් ඒ රටවල් පෙන්වන්න මගේ හිතේ හීනයක් තිබුණා. ඉතින් ඒ හීනය මේ අවුරුද්දේ හැබෑ කරගන්න පුළුවන් වුණා....


 අනුරාධාගේ හිතේ තවත් හීන තියෙන්න ඇති...? ඒ අතරින් හැබෑවුණ හීනත් ඇති...?


ඔව්. පුංචි කාලේ ඉඳන්ම පොඩි පොඩි හීන ටිකක් මගේ හිතේ තිබුණා. හැබැයි ඒවා ගොඩක් පොඩි කාලේ ඇතිවුණ හීන. මුලින්ම මම චූටි කාර් එකක් පදින්න ආසා කළා. ඇත්තම කිව්වොත් ඒකේ පාටත් මගේ හිතේ තිබුණා. ඒ රතු පාටයි. ඊටපස්සේ මට ගුවන් යානයක යන්න ආසාවක් තිබුණා. ඒ වගේම චූටි ඉඩමක තියෙන ලස්සන පුංචි ගෙදරක් මගේම කරගන්න ආසා කළා. තාම මටම කියලා ගෙයක් නැහැ. ඒ හීන අතරේ ඔය අම්මටත් මම වගේම ගුවන් යානයක එක්කගෙන යන්න ආසා කළා. ඒ වගේම මගේ අයියවත්, අයියගේ බිරිඳවත් එයාලගේ බබාවත් වෙනත් රටක් බලන්න එක්කගෙන යන හීනයක් මගේ හිතේ තිබෙනවා.


 අනුරාධාගේ චූටි කාර් එකේ හීනය හැබෑ කරගත්තේ කොයි කාලේදීද?


මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු අටක් වෙනවා. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරකින් මම මගේ පුංචි කාර් එකේ හීනය හැබෑ කරගත්තා. ආසාවෙන් හිටියේ රතුපාට කාර් එකකට වුණත් වෙන පාට එකක් තමයි ගත්තේ. මමම මහන්සි වෙලා රඟපාලා හම්බ කරගත්තු මුදල් ඉතිරි කරගෙන ලීසිං එකක් දාලා මම ඒ කාර් එක ගත්තා. තාමත් ඒ ලීසිං එක ගෙවනවා. එදා ඒ වාහනය ගන්න දවසේ මම ගොඩක් සතුටු වුණා. පුංචි කාලේ මම දැකපු හීනයක් හැබෑ වුණා.


 හීනවලට යද්දී ජීවිතේ කඩාවැටීම්, බාධාවල්, හිත් රිදීම් බොහෝමයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ හැමදේම දරාගන්න අනුරාධාට ශක්තිය වෙන්නේ මොකක්ද?


පුංචි කාලේ හීන ටිකක් දැක්කට මගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. පුංචි කාලේ දැකපු හීන මම හැබෑ කරගන්න බැරිවුණොත් කවදාවත් මම කඩා වැටුණේ නැහැ. ඕනෑම සිදුවීමක වෙන්න පුළුවන් නරකම දේ මට වෙන්න පුළුවන් කියලා මම හැමවෙලේම හිතලා ඒ දේට මම ලෑස්ති වුණා. කඩා වැටෙන්නේවත්, දුක හිතෙන්නේවත් නැහැ කියලා මම කියන්නේ නැහැ. හිත රිදුණ තැන් තිබුණා... හැබැයි ඒ හැමදේටම මුහුණ දෙන්න මම ලෑස්තියි කියලා මම හිත හදාගෙන ඉවරයි. හදිසියේවත් ඒ සිදුවීම්වලින් හොඳ දේ මට ලැබුණොත් බෝනස් එකක් කියලා හිතලා මම සතුටු වෙනවා. නරකම දේ ලැබුණොත් මම ඒකට කොහොම හරි මුහුණ දෙනවා.


 අනුරාධා... කලාකාරියක් නොවුණා නම් මොන ක්ෂේත්‍රයට අනුරාධා යොමුවේවිද?


මම ඉගෙන ගත්තේ නීති ක්ෂේත්‍රය සම්බන්ධවයි. උසස් පෙළට කලා විෂයන් හදාරලා නීතිය පැත්තෙන් රුකියාවක් කරන්න බලාපොරොත්තු වුණා. මගේ තාත්තාත් පොලිස් නිලධාරියෙක්. ඒ නිසා ඒ දේවල් පොඩි කාලේ ඉඳන් දැක්කා. නීතිය හදාරපු නිසා ඒ පැත්තට අදාළ රුකියාවක් කරන්නට ඉඩ තිබුණා. ඒ අතරේ මට අහම්බෙන් රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් පස්සේ මට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ මම අනෝජා වීරසිංහ මහත්මියගේ ''අභින'' වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ හරහා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ නිසාම  මට දිගටම රංගනයට සම්බන්ධ වෙන්න ආශාව ඇතිවුණා.


 ඊළඟට තිබෙන බලාපොරොත්තු මොනවාද...?


ජීවිතේ මට වෙන්න තියෙන නරකම දේටත් මම ලෑස්තියි. හොඳ දෙයක් වුණෙත් ඒ දේවල් මම සතුටින් බාරගන්නවා. මට ලොකු බලාපොරොත්තු නැහැ. මගේ තාත්තාගේ හදිසි අනතුරින් ජීවිතය එක මොහොතකින් වෙනස් වෙනවා කියල මට දැනුණා. ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙලා ඒවා කඩා බිඳෙන තැන්වලදී අපි කැඩෙන, බිඳෙන, වැටෙන, හිත් රිදෙන තැන් වැඩියි. මගේ තාත්තා නැති නිසා එක මොහොතකින් තාත්තාගේ වගකීම් ටික මට පැවැරෙන වෙලාවල් ගොඩාක් වැඩියි. ඉතින් මගේ පවුලේ අයගේ සතුට ගැන මම හැම මොහොතකම හිතනවා.


I දිශානි ජයමාලි




Previous Post Next Post