රහස් කියන කඳු අස්සේ කම්පනයක් මට දැනෙනවා - ප්‍රියන්ත සිරිකුමාර





 ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ''රහස් කියන කඳු'' සිනමාපටය මේ දිනවල තිරගත වෙනවා. මෙම නිර්මාණයට දායක වෙන්න ප්‍රියන්ත තුළ තිබුණ විශ්වාසය කොහොමද?


මෙම නිර්මාණය රූගත කිරීම් කරන්නටත් පෙර ජගත්ව මම හඳුනාගෙන හිටියා. ඔහු මේ ක්ෂේත්‍රයට ආ කාලයේ සිටම ඉතා දක්ෂ රංගන ශිලිපියෙක් කියලා මම දැනගෙන හිටියා. වේදිකා නාට්‍ය තුළ යම් ස්ථාවරයන් පවත්වාගෙන යන අතරම කෙටි චිත්‍රපට විෂයට ඔහු තුළ උනන්දුවක් තිබුණා. ඒ හඳුනා ගැනීම තුළ ඔහු කෙරෙහි විශ්වාසයක් තිබුණා. මේ චිත්‍රපටය කරද්දී ජගත් ක්ෂේත්‍රයේ වැඩකරමින් සිටියා. කෙටි චිත්‍රපට කිහිපයක් හරහා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වුණේ. කෙටි චිත්‍රපට තුනකින් තමයි මේ දැවැන්ත සිනමා පටය නිර්මාණය වුණේ. ඒ වගේම පිටපත නිර්මාණය කරද්දී නාමල් ජයසිංහත් සම්බන්ධ වුණා. ඔහුත් හොඳ පිටපත් රචකයෙක්. ඒ හැම විශ්වාසයක් එක්කම අපි මේ නිර්මාණයට සම්බන්ධ වුණා.


Q ''රහස් කියන කඳු'' රටේ පැවැති විවිධ තත්ත්වයන් ප්‍රති නිර්මාණය වුණ සිනමා පටයක් කියලා කියන්න පුළුවන්. මේ නිර්මාණය ඔබට දැනෙන්නේ කොහොමද?


මෙය එක සිදුවීමක් අලලා සත්‍ය සිදුවීම් කියලා කොටු කරන්න බැහැ. නමුත් ඒ සමස්තයක් හැටියට අපේ ජීවිතේ සමාජයක් හැටියට එක එක අවධිවලදී අපිට මුහුණ දෙන්න වෙන අත්දැකීම් පෙන්නුම් කරනවා. මගේ වයසත් එක්ක ගනිද්දී ඒ වගේ යම් යම් සිද්ධීන් සමාජ විපර්යාසයක් දැකලා තියෙනවා. තමන් ජීවත්වන සමාජය තුළ සවිඥානව ජීවත් වන පුද්ගලයෙකුට ඒ අත්දැකීම් තමන්ගේ අත්දැකීම් විදිහට කොහොමත් දැනෙනවා. අනෙකාට සිදුවුණ දෙයක් කියලා අපිට ඒකෙන් අයින් වෙන්න බැහැ. ලාංකීය ජන සමාජය ඇතුළේ අපි ලබන අත්දැකීම් අපි හැමෝටම බෙදිලා යනවා. ඒ නිසා හැම කෙනෙකුටම මෙම චිත්‍රපටය පෞද්ගලික අත්දැකීමක් ලෙස ගන්නවාට මම කැමැතියි. ජගත්ගේ චිත්‍රපටයේ වස්තු විෂයේදී ඔහු තෝරාගත් ස්ථාන දකිද්දී විශාල කම්පනයක් සහිත අත්දැකීම් ධාරාවක් තමයි ඒ තුළ තියෙන්නේ. කලා කෘතියක් අපි රස විඳිද්දී අපි ඒක පෞද්ගලික ජීවිතය ඇතුළෙන් තමයි නිර්වචනය කරන්න, ඒ ගැන හිතන්න, ඒක මවාගන්න පුළුවන් වෙන්නේ.


පසුගියදා පැවැති සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා සම්මානය හිමිවුණේ ප්‍රියන්තටයි. සැර වගේම ගුරු වෘත්තියට නිගාකරන කළු චරිතයක ගුරුවරයකු චරිතයක් රඟපෑ ඔබට මේ නිර්මාණය තිරගත වන කාලයේදී විශේෂයෙන් දරුවන්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා?


ඔව්. පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ තාල චිත්‍රපටයේ ''ඔසුකුල'' කියන ගුරුවරයාගේ චරිතය තමයි මම රඟපෑවේ. ඒ පිටපත ඇතුළේ ඒ චරිතය හඳුනාගන්නට අවස්ථා ලැබෙද්දීත් අධ්‍යක්ෂණවරයා ඒ චරිතය ගමන් කළයුතු දිශාව ගැන සඳහන් කරද්දීත් මට ඒ චරිතය පිළිබඳව තේරුණා. ඒ අනුව ඒ හැමදේම එකතු කරගෙන මම ඒ චරිතය ඔස්සේ ගමන් කළා. ඒක කළු චරිතයක්. ඒක සමාජයේ යම්කිසි අවැඩක් ඇතිවෙන්නට මූලික වෙන ගොඩේ තිබෙන චරිතයක්. අද සමාජය ඇතුළේ මෙවැනි චරිතය ඕනෑතරම් ඉන්නවා. අපිම හදාගත්තු අද සමාජයේ යහපත් මනුස්සයෙක් වෙන්න පුළුවන් සමාජයක් නැහැ. ඒ නිසා තමන් යෙදෙන වෘත්තියේ ඉන්නා අතරතුරේ ඔහු තුළ තිබෙන හිස්තැන පුරවාගන්න උත්සාහ කරනවා. ඔහුට තිබෙන අඩුපාඩු, නැතිබැරිකම පුරවා ගන්න සිදුවෙනවා. ඒ නිසා ඔහු සමාජයේ හොරෙක්, වංචනිකයෙක් බවටත් පත්වෙනවා. සමස්තයක් විදිහට මේකෙන් ගැලවෙන්න බොහෝ අයට හරි අමාරුයි. ඒ තරමට අපි ජරාජීර්න වෙච්චි සිතුවිලි තිබෙන ආත්මාර්ථකාමී වෙච්චි, ලෝබකම, තණ්හාව පිරිච්ච අනිත් මනුස්සයා රුස්සන්නේ නැති, බලලෝභී මනුස්සයෝ. පුළු පුළුවන් විදිහට බලය පාවිච්චි කරමින් ජීවත් වෙන්න තමයි අද බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඔසුතුළ තිබෙන්නේත් ඒ වගේ චරිතයක්. රංගන ශිල්පියෙක් හැටියට ළමා චිත්‍රපටයක් ඇතුළේ ළමයාගේ මනස තුළට අපූර්වත්වයකින් ඒ චරිතය ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ අපි හිතුවා. යම්කිසි විදිහකින් ප්‍රිය උපදවන ලක්ෂණ, ඒත් එක්කම ඔහු සමාජයට කරන හානිය මතුවන විදිහට ඒ චරිතය පෙන්නන්නට මම උත්සාහ කළා. ඒක සාර්ථක වුණා කියලා මම හිතනවා. ඒ චරිතය කළු චරිතයක් වුණාට හොඳ ප්‍රතිචාර ලැබුණා.


Q ප්‍රියන්ත තුළින් මුලින් බිහිවුණේ රංගන ශිල්පියාද...? වේෂ නිරූපණ ශිල්පියාද...?


මම පාසැල් කිහිපයකින් අධ්‍යාපනය ලැබුවා. මගේ තාත්තා වතු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළේ. ඒ නිසා මම මුලින්ම හැටන් ශාන්ත ජෝන් බොස්කෝ විදුහලේ ඉගෙන ගත්තා. තාත්තා නැවත කොළඹට මාරුවෙද්දී නෑබඩ කනිෂ්ඨ විදුහලේත් මම අධ්‍යාපනය හැදෑරුවා. ඊටපස්සේ ඉඹුල්ගොඩ රාජසිංහ මහ විදුහලට ඇතුළත් වුණා. පාසැල් අවදියේත්, ගමේදීත් ප්‍රාදේශීය නාට්‍යවල, සමිති සමාගම්වලදී මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මගේ පවුලේ අයත් කලාවට හරි උනන්දුයි. ඒකත් මට බලපෑවා. අධ්‍යාපනයෙන් පසුව ඒකට පූර්ණකාලීනව යොමුවෙන්න ආස කළා. මගේ සහෝදරයොත් ඒකට මට උදව් කළා. ඒකෙන් තමයි රංගනයට මම මුලින්ම සම්බන්ධ වුණේ.


රංගන ශිල්පියා තුළ සිටි වේශ නිරූපණ ශිල්පියා ඉස්මතු වුණේ කොහොමද?


මුලින්ම වේදිකා නාට්‍ය කලාවට මම සම්බන්ධ වුණා. නළුවෙක් වෙන්නට තිබෙන සරල ආසාවට වඩා ගැඹුරු විෂයක් මේක ඇතුළේ තිබෙනවා කියලා මට තේරුණා. ඒ නිසා තනි ආසාවට වඩා විෂය ක්ෂේත්‍රය හඳුනා ගන්න නාට්‍ය කලාවේ කාලයක් හිටියා. ඒ කාලේ මම ඉතා කෙසඟ, දත් ටික විතරක් ඉස්සරහට පෙනෙන සාමාන්‍ය පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඇතුළේ නළුවෙක් කියන ප්‍රතිරූපය තිබුණේ නැහැ. හැබැයි විෂය තුළ තිබුණ උනන්දුව උවමනාව මත ඒ බාහිර පෙනුම බලපාන්නේ නැහැ කියලා විශ්වාසය ගොඩනැගුණා. විෂය තුළ එකදිගට රුඳීලා ඉන්න ඕන නිසා වේෂ නිරූපණ ශිල්පීයෙක් විදිහට මම පුහුණුවෙන්න පටන් ගත්තා. මගේ වාසනාවට මට හොඳ අධ්‍යක්ෂවරුන්ගේ වැඩ ඇතුළේ මුලින්ම සහය වේශ නිරූපණ ශිල්පියෙක් ලෙසින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. කාලයක් එහෙම ඉඳිද්දී වේශ නිරූපණ ශිල්පි ලෙසින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ මට ඉහළ ගණයේ රංගන ශිල්පීන් මුණගැසුණා. ඔවුන් වැඩකරන විදිහ බලාගෙන හිටියා. ඔවුන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට ක්ෂේත්‍රයේ යම් විදිහකින් හැසිරෙන්න, ගමන් කරන්න පුළුවන් වුණා. අවසානයේදී කාලයක් එක්ක ඒකට වෘත්තීමය අවස්ථාව ලැබුණා. හොඳ නිර්මාණ ලැබුණා. ඔය අතරේ අතරින් පතර රඟපෑවා. නිර්මාණ කිහිපයකට පස්සේ රංගන ශිල්පියෙක් විදිහට මාව බොහෝ දෙනා හඳුනාගත්තා.


Q අද දරුවන් දෙන්නෙක්ගේ පියෙක්...?


ඔව්. මගේ බිරිඳ ශිරෝමි පීරිස්. ඇය දැනට ගෘහණියක් විදිහට දරුවන්ගේ වැඩකටයුතු මගේ වැඩකටයුතු බොහෝමයක් කරනවා. මේ විෂය පිළිබඳ අවබෝධයකින් එයා මාත් එක්ක ජීවිතේ ගත කරනවා. ඇය බොහෝ කැපකිරීම් කරපු කෙනෙක්. එයාගේ වෘත්තියන් අතහැරලා මගේ වෘත්තිය නිදහසේ කරගෙන යන්න උපරිමයෙන්ම මට නිදහස ලබලා දීලා දරුවන්ගේ, මගේ වැඩකටයුතු අඩුවක් නොකර කරන බිරිඳක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව කොළඹ විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ සිසුවියක්. පොඩි දුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා.


I දිශානි ජයමාලි\



Previous Post Next Post